පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ සිරකර තැබීම අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම, මේ වන විට මෙරට ප්‍රමුඛතම බෞද්ධ සහ කතෝලික ආගමික නායකයන් අතර පවතින බරපතළ මතවාදී නීතිමය සටනක් බවට පරිවර්තනය වෙමින් පවතී.
පාස්කු කුමන්ත්‍රණ කතාවෙන් සිංහල බෞද්ධ බුද්ධි අංශ නිලධාරීන් කොටු කිරීම ජාතික සමගියට තර්ජනයක් බව කියමින් පස්යොදුන්රට බෞද්ධ සම්මේලනයෙන් මීට පෙර පෙත්සමක් ඉදිරිපත් විය. කිසිදු නිල පරීක්ෂණයකින් සලේ වැරදිකරු කර නැතැයි මහා සංඝරත්නය එහිදී පෙන්වා දෙද්දී, වින්දිතයන්ගේ පාර්ශවය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ද මැදිහත්කරුවෙකු ලෙස නඩුවට එක්වීමෙන් අධිකරණය තුළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇත.
මෙම රිට් පෙත්සමට මැදිහත් වීම සඳහා පස්යොදුන්රට බෞද්ධ සම්මේලනයේ සභාපති, ඓතිහාසික කන්දේ විහාර මහා පිරිවෙනේ පරිවේණාධිපති පූජ්‍ය රාජකීය පණ්ඩිත දාපනේ ශ්‍රී මහින්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම, කාදිනල් හිමියන් ද වෙන වෙනම මැදිහත්කාර පෙත්සම් (Intervention Papers) අධිකරණයට ඉදිරිපත් කිරීම මෙයට ප්‍රධාන හේතුවයි.
කාදිනල්තුමාගේ පෙත්සම හුදු 'එකට එක කිරීමක්' ද?
මෙහිදී සමස්ත සමාජයම හමුවේ මතුවන බරපතළම ප්‍රශ්නය වන්නේ මෙයයි. හෙට (17) දිනයේදී අධිකරණය හමුවේ සලකා බැලීමට නියමිත කාදිනල් හිමිපාණන්ගේ මෙම මැදිහත්කාර පෙත්සම, පසුගියදා නායක හිමිවරුන් කිහිප දෙනෙකු විසින් සලේ නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන ලද පෙත්සම්වලට එරෙහිව කරන ලද හුදු "එකට එක කිරීමක්" ද? යුක්තිය සෙවීමේ පූජනීය ක්‍රියාවලිය, ආගමික නායකයින් අතර එකිනෙකා පරයා යන නෛතික සටනක් හෝ පෞද්ගලික පළිගැනීමක් බවට පත්වෙමින් තිබේද යන්න මෙහිදී පැහැදිලිවම විමසා බැලිය යුතුව ඇත.
හැන්සාඩ් සටහනින් හෙළිවන දේශපාලන යථාර්ථය සහ විමර්ශන
මෙම ඛේදවාචකය අද ආගමික මුහුණුවරක් ගත්තද, එහි යථාර්ථය සම්පූර්ණයෙන්ම දේශපාලනික සහ පරිපාලනමය එකක් බව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා ඉදිරිපත් කරන එක් පාර්ශ්වයක මතයයි.
ඉහත වාර්තාවට අනුව ලේඛනයට අනුව, බිමල් රත්නායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ 2015 න් පසුව බලයට පැමිණීම සඳහා කෘතිමව මුස්ලිම් විරෝධයක් සහ අන්තවාදී මානසිකත්වයක් සමාජය තුළ නිර්මාණය කළ බවයි. එසේම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සහ බුද්ධි අංශවල පූර්ව අනතුරු ඇඟවීම් තිබියදීත් ජාතික ආරක්ෂාව බිඳ වැටීමට එවකට නායකයින් ඉඩ හැරිය බවට ඔහු එහිදී චෝදනා කර ඇත.


මෙහිදී වැදගත්ම තර්කය වන්නේ, විමර්ශන යටපත් කිරීම සඳහා CID නිලධාරීන් 700ක් පමණ ස්ථානමාරු කළ බවත්, එම තත්ත්වය හමුවේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න වැනි නිලධාරීන් නැවත එම තනතුරුවලට පත් කරන ලෙස කතෝලික ප්‍රජාව සහ කාදිනල්තුමා විසින් ඉල්ලීම් කළ බවත් බිමල් අමාත්‍යවරයාගේ හැන්සාඩ් ප්‍රකාශයේ දැක්වේ.
මෙයින් ගම්‍ය වන්නේ පාස්කු ප්‍රහාරය යනු දේශපාලන බලය අරමුණු කරගත් අපරාධයක් බවය.
එදා සිටි කාදිනල්තුමා සහ අද සිටින කාදිනල්තුමා
පාස්කු ප්‍රහාරය සිදුවූ 2019 වසරේ අඳුරු දින කිහිපය අප නැවත සිහිපත් කළ යුතුය. ඇතැමුන් විසින් 'දුර්වලම නායකයෙකු' යැයි හැඳින්වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන සමයේ මෙතරම් ම්ලේච්ඡ ව්‍යසනයක් සිදුවී තිබියදීත්, ආගමික ජාතිකත්වය පදනම් කරගෙන කිසිදු ලේ බිඳක් හෝ සෙලවෙන්නට එදා ඉඩ තැබුවේ නැත. ඊට ප්‍රධානතම හේතුව වූයේ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් එදා කටයුතු කළ ආකාරයයි.
අතිශය සංවේදී සහ කෝපාවිෂ්ට වී සිටි තම ප්‍රජාව ඉතා සංයමයෙන් යුතුව සන්සුන් කරමින්, එතුමා අගය කළ යුතු ආදර්ශවත් නායකත්වයක් ලබා දුන්නේය. සමහර අන්තවාදී පිරිස් ඒ කාලය තුළ කාදිනල් හිමියන්ගේ මෙම මධ්‍යස්ථ සහ සාමකාමී ස්වරූපය දැක "කොන්ද පණ නැති නායකයෙක්" යැයි සමච්චල් කළහ. එහෙත් ඒ කිසිවකින් නොසැලුණු එතුමා, නියම ආගමික නායකයෙකුගේ උදාර ස්වරූපයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දයානුකම්පිත ඉගැන්වීම් ප්‍රායෝගිකව පෙන්වා දෙමින් කිසිදු පළිගැනීමකට නොගියේය.
නමුත් අවාසනාවකට, එදා ඒ දුටු කාදිනල් හිමියන් අද දක්නට නැත. ඉතා කණගාටුවෙන් වුවද මෙහිදී එක් සියුම් යථාර්ථයක් සිහිපත් කළ යුතුව තිබේ.
අද වන විට කාදිනල්තුමන්ව මෙවැනි අන්තවාදී සහ පළිගැනීමේ නෛතික ඝට්ටනයක් කරා තල්ලු කිරීමේ පසුබිම නිර්මාණය කරනු ලැබුවේ රොහාන් සිල්වා සහ ජූඩ් යන පියතුමන්ලාගේ අදෘශ්‍යමාන හැසිරවීම් හරහා බවට සමාජය තුළප්‍රසිද්ධ කතිකාවතක් පවතී. අතීතයේදී කිසිදා කාදිනල් හිමිපාණන්ට එරෙහිව වචනයක් හෝ නොකී මෙරට පොදු සමාජය, මෑතක සිට එතුමන්ට දැඩි ලෙස පරිභව කරමින් දෝෂාරෝපණය කරන්නේ මෙම අදිසි බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙසිනි.
වත්මන් කාදිනල් හිමියන් 'බලය නැමැති සාතන්ගේ වරදකාරී මායාවට' හසුව ඇතැයි කතෝලික ප්‍රජාව අතරින්ම අද චෝදනා නැඟෙන්නේ, තිරය පිටුපස සිටින එම පියතුමන්ලා දෙපළගේ න්‍යායපත්‍රයන් එතුමන්ගේ තීරණ මත පතිත වී ඇති බැවිනි.
වත්මන් රජය සාවදාන විය යුතුයි..
මෙම අතිශය සංවේදී මොහොතේදී, කාදිනල් හිමි ඇතුළු කතෝලික පූජකවරයනුත්, මහානායක හිමිවරුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාත් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුව ඇත. දේශපාලන හෝ පරිපාලනමය විමර්ශනයකට ආගමික මුහුණුවරක් දෙමින්, පූජකවරුන් දෙපිලකට බෙදී අධිකරණය තුළ සහ ඉන් පිටත ගැටීම යනු මෙරට යළිත් වතාවක් මහා ව්‍යසනයක් කරා තල්ලු කිරීමකි. එම අනතුර දැන් අත ළඟය.
මෙම ගිනිපුපුර මහා ගින්නක් බවට පත්වන තෙක් වත්මන් රජය කල් මරමින් නොසිටිය යුතුය. වත්මන් නායකත්වය වහාම මැදිහත් වී, නීතියේ ආධිපත්‍යයට බාධා නොවන අයුරින් මෙම ආගමික ධ්‍රැවීකරණය සමනය කිරීමට පියවර ගත යුතුය. යුක්තිය සෙවීමේ ක්‍රියාවලිය කිසිසේත්ම භේදවාදයකට අනුබල දෙන සාතන්ගේ මෙවලමක් බවට පත්වීමට ඉඩ නොදීම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේම සහ ආගමික නායකයින්ගේ වගකීමයි.
#නිරෝමි සුබ්‍රමනියම්

