සමාජ මාධ්‍යයේ වගකීම් විරහිත තීන්දු සහ අහිංසක ළමා මනසක ඛේදවාචකය
කිසිදු සොයාබැලීමකින් තොරව, හුදෙක් සමාජ මාධ්‍යවල සංසරණය වන දර්ශනයක් හෝ
හඬපටයක් මත පදනම් වී මිනිසුන්ගේ ජීවිත පිළිබඳව තීන්දු තීරණ දීමට වර්තමාන සමාජය දක්වන්නේ දැඩි උනන්දුවකි. කුරුණෑගල ප්‍රදේශයේ පාසලක සිදුවූ මෝටර් රථ ගිනි ගැනීමේ සිදුවීම හරහා මේ සමාජය සිය 'සමාජ මාධ්‍ය නඩු ඇසීම' මෙවර දියත් කර ඇත්තේ යෞවනයටවත් පා තබා නැති අවුරුදු අටක කුඩා දරුවෙකුට එරෙහිව වීම අතිශය කනගාටුදායකය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිල නිවේදනවලට අනුව, 2026 ජූලි 03 වන දින කුරුණෑගල නගරයේ විදුහල් භූමියක නවතා තිබූ රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී ඇත. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වීඩියෝවක දැක්වෙන්නේ ගින්න හටගන්නා අවස්ථාවේ ඒ අසලින් කුඩා දරුවෙකු ගමන් කරන ආකාරයයි. ඊට එකතු කර ඇති ව්‍යාජ හඬපටයක් මගින් මේ අහිංසක දරුවා විසින් රථයට ගිනි තැබූ බවට සමාජයට ඒත්තු ගැන්වීමට කිසියම් පිරිසක් උත්සාහ කර තිබේ.
මෙම චෝදනාව මත කුරුණෑගල පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ වීඩියෝවේ පෙනී සිටින්නේ එම විදුහලේම අධ්‍යාපනය ලබන අට හැවිරිදි සිසුවෙකු බවය. එහෙත්, මෙම දරුවා මෝටර් රථයට ගිනි තැබූ බව තහවුරු කිරීමට කිසිදු ඇසින් දුටු සාක්ෂියක් හෝ විද්‍යාත්මක සාක්ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය තරයේ අවධාරණය කරයි.
සමාජ මාධ්‍ය පරිශීලකයින් මේ කිසිදු නිල තොරතුරක් හෝ පරීක්ෂණ වාර්තාවක් එනතෙක් ඉවසා සිටියේ නැත. රජයේ රස පරීක්ෂක කාර්යාලය මඟින් ගිනි ගැනීමට හේතුව සම්බන්ධයෙන් විශේෂඥ සාක්ෂි ලබා ගැනීමට කටයුතු කරමින් පවතින පසුබිමක, සමාජය විසින්ම තමන්ගේ කතාවක් ගොතා මේ කුඩා දරුවා අපරාධකරුවෙකු බවට මුළු ලෝකයටම ප්‍රකාශ කර අවසන්ය. සැබෑ විමර්ශන අවසන් වීමට පෙර මෙලෙස සාවද්‍ය ප්‍රචාර පැතිරවීම කෙතරම් අමානුෂිකද යන්න මෙහිදී මනාව පැහැදිලි වේ.
මේ පදනම් විරහිත සමාජ මාධ්‍ය තීන්දුව නිසා ඒ දරුවාගේ මනසට සිදුවන බලපෑම සුළුපටු නැත. අවසානයේදී රථය ගිනි ගැනීමට හේතුව යන්ත්‍රික දෝෂයක් හෝ වෙනත් බාහිර කරුණක් බව රස පරීක්ෂක වාර්තා මගින් ඔප්පු වුවහොත්, ඒ වන විටත් සමාජ මාධ්‍ය මගින් මේ දරුවාට කර ඇති ඝාතනය නිවැරදි කිරීමට කිසිවෙකුටත් නොහැකි වනු ඇත. ඔහුට නැවතත් සාමාන්‍ය පරිදි පාසල් යාමට හෝ සමාජයට මුහුණ දීමට ඇති අයිතිය මේ වන විටත් මෙම වගකීම් විරහිත ප්‍රචාරයන් මගින් උදුරාගෙන අවසන් ය.
තමන් දකින පළමු පුවත හෝ වීඩියෝව සත්‍යයැයි පිළිගෙන, ඊට තමන්ගේද විනිශ්චය එක්කර සමාජගත කිරීමට පෙර දෙවරක් සිතීමට අප පුරුදු විය යුතුය. නීතිය සහ විශේෂඥයින් තම රාජකාරිය කරන තෙක් ඉවසීමට තරම් බුද්ධියක් නොමැති සමාජයක්, අනාගත පරපුරට හිමිකර දෙන්නේ අතිශය අනාරක්ෂිත පරිසරයකි. නිල විමර්ශන අවසන් වීමට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන මෙවැනි සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසට පොලීසිය කරන ඉල්ලීම සැබැවින්ම සමස්ත සමාජයේම අවධානයට ලක්විය යුතු දැඩි කාලීන අවශ්‍යතාවයකි.

