SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මුදල් අමාත්‍යාංශය තැපැල් පෙට්ටියක් වෙලා

 

 

රජයේ ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදු වූ රුපියල් බිලියන 13.2ක දැවැන්ත මූල්‍ය වංචාව

සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව සහ එහි ප්‍රධානීන් දක්වන ප්‍රතිචාරය විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. මහබැංකුව තමන්ගේ නියාමන සහ අධීක්ෂණ වගකීම් පැහැර හැර ඇති බවටත්, පාර්ලිමේන්තුවට වැරදි තොරතුරු සපයන බවටත් මන්ත්‍රීවරයා චෝදනා කරයි.

 

 

 

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත විසින් පාර්ලිමේන්තුවේදී ලබා දුන් පිළිතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේ, මහබැංකුව ලබා දෙන පැහැදිලි කිරීම් කිසිසේත් ප්‍රමාණවත් නොවන අතර ඒවා පරස්පර විරෝධී බවයි.

 

"දිනෙන් දින මහබැංකුවෙන් ලැබෙන පිළිතුරුවල ගුණාත්මකභාවය පිරිහෙමින් පවතිනවා. මුදල් අමාත්‍යාංශය දැන් තැපැල් පෙට්ටියක් බවට පත්වෙලා,"

යැයි පවසමින් ඔහු අවධාරණය කළේ රටේ මූල්‍ය පද්ධතියට බලපාන මෙවැනි කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නිවැරදි තොරතුරු ලැබිය යුතු බවයි.

 

 

නියෝජ්‍ය අමාත්‍යවරයා මහබැංකුව උපුටා දක්වමින් ප්‍රකාශ කළේ, බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව (BSD) ක්‍රියාත්මක වන්නේ අවදානම් පාදක කරගත් රාමුවක් මත මිස අධිකරණ වෛද්‍ය (Forensic) හෝ මූල්‍ය විගණන සිදු කිරීමට නොවන බවයි. එමෙන්ම මූල්‍ය බුද්ධි ඒකකය (FIU) සැකකටයුතු ගනුදෙනු වාර්තා (STRs) මත පදනම්ව නීත්‍යානුකූලව ක්‍රියා කර ඇති අතර අදාළ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

 

 

මහබැංකුවේ විමර්ශනවලට අනුව වංචාවේ වටිනාකම රුපියල් බිලියන 13.2ක් වන අතර NDB බැංකුවේ රුපියල් බිලියන 2.7ක ලාභාංශ ගෙවීම් මේ වන විට අත්හිටුවා ඇත. එමෙන්ම Deloitte Tohmatsu India LLP ආයතනය මගින් ස්වාධීන අධිකරණ වෛද්‍ය විගණනයක් (Forensic Audit) ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 

 

කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාලේඛනවල පවතින පරස්පරතාව රවී කරුණානායක ප්‍රශ්න කළේය. Deloitte ආයතනයේ අභ්‍යන්තර වාර්තාවලට අනුව අලාභය රුපියල් බිලියන 13.5ක් ලෙස දැක්වෙද්දී, මහබැංකුව අමාත්‍යවරයා හරහා රුපියල් බිලියන 13.2ක අගයක් වාර්තා කරන්නේ කෙසේදැයි ඔහු විමසා සිටියේය. පාර්ලිමේන්තුවට පවා සත්‍යය වසන් කරන්නේ නම් ජනතාවට සත්‍යය දැනගත හැක්කේ කොහෙන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

 

 

මෙම මූල්‍ය වංචාව හේතුවෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වීමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මහබැංකුව සහ එහි ප්‍රධානීන් තම වගකීම් පැහැර හරිමින් වෙනත් පාර්ශව වෙත ඇඟිල්ල දිගු කරන බවට චෝදනා කළේය.

"ගනුදෙනු 3,000කට වඩා සිදුවෙද්දීත් බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට එහි රටාව හෝ ප්‍රවණතාව හඳුනා ගැනීමට නොහැකි වුණා නම් අපේ මූල්‍ය පද්ධතිය බරපතළ අනතුරක තිබෙන්නේ,"

යැයි ඔහු අනතුරු ඇඟවීය.

 

 

රටේ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටීම වැළැක්වීම සඳහා මහබැංකුව සපයන තොරතුරුවල සත්‍ය අසත්‍යතාව වහාම තහවුරු කර, විනිවිදභාවයකින් යුතු නිවැරදි පැහැදිලි කිරීමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රවී කරුණානායක මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

 

 

නවතම ලිපි