විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පේරු රාජ්‍යයේ පැවති තියුණු ජනාධිපතිවරණයෙන්
දක්ෂිණාංශික අපේක්ෂිකා කයිකෝ ෆුජිමෝරි (Keiko Fujimori) ජයග්‍රහණය කර ඇති බවයි. ඡන්ද විමසීම පවත්වා මාසයකට පමණ පසු මෙම නිල නිවේදනය නිකුත් කර තිබේ.
පසුගිය ජුනි 7 වනදා පැවති අවසන් වටයේ ඡන්ද විමසීමේදී 51 හැවිරිදි ෆුජිමෝරි 50.135% ක ප්‍රතිශතයක් ලබා ගත් අතර, ඇගේ ප්‍රතිවාදියා වූ වාමාංශික අපේක්ෂක රොබර්ටෝ සැන්චෙස් (Roberto Sánchez) 49.865% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය. මොවුන් දෙදෙනා අතර ඡන්ද පරතරය 50,000 කටත් වඩා අඩු බව එරට මැතිවරණ බලධාරීහු තහවුරු කරති.
හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරිගේ දියණිය වන ඇය ජනාධිපතිවරණය සඳහා තරග කළ සිව්වන අවස්ථාව මෙයයි. සංවිධානාත්මක අපරාධ දැඩිව මැඩලීම සහ ආර්ථික වර්ධනය සඳහා පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම ඇගේ ප්‍රධාන මැතිවරණ පොරොන්දු විය.
කෙසේ වෙතත්, විදෙස්ගත පේරු ජාතිකයින්ගේ ඡන්දවල අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා කරමින් පරාජිත අපේක්ෂක රොබර්ටෝ සැන්චෙස් විසින් මෙම මැතිවරණ ප්‍රතිඵලයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවද වැඩිදුරටත් වාර්තා වේ.
පේරු රාජ්‍යය තුළ පසුගිය දශකය තුළ පත්වන නවවන ජනාධිපතිවරයා ඇය වන අතර, දිවුරුම් දීමේ උත්සවය ජූලි 28 වනදා සිදු වීමට නියමිතය. ලතින් ඇමෙරිකානු කලාපයේ, විශේෂයෙන් කොලොම්බියාවේ නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟම සිදුවූ ෆුජිමෝරිගේ මෙම ජයග්‍රහණය, කලාපයේ දේශපාලනය දක්ෂිණාංශික නැඹුරුවක් කරා ගමන් කිරීමක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

