SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළ මේ වන විට ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ බරපතල

ව්‍යුහාත්මක අර්බුදයකට මුහුණ දෙමින් සිටී. වසර කිහිපයක් පුරා පනවා තිබූ වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ වෙළඳපොළට විශාල වශයෙන් වාහන ගලා ආවද, මේ වන විට පාරිභෝගික ඉල්ලුම සම්පූර්ණයෙන්ම පාහේ සංතෘප්ත වී ඇත. මේ හේතුවෙන් වාහන ආනයනකරුවන් සහ කාර් සේල් හිමියන් තම ප්‍රදර්ශනාගාර තුළ ගොඩගැසී ඇති අලෙවි කරගත නොහැකි වූ දැවැන්ත වාහන තොග හේතුවෙන් දැඩි ද්‍රවශීලතා අර්බුදයකට මැදිව සිටිති.

 

 

 

මෙම වෙළඳපොළ පසුබෑම හමුවේ වාහන හිමියන් සහ ආනයනකරුවන් පාරිභෝගිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ උපායමාර්ග අනුගමනය කරති. එක් පසෙකින් නව බදු ප්‍රතිපත්ති නිසා ඉදිරියේදී වාහන මිල ඉහළ යන බව පවසමින් පාරිභෝගිකයින් බිය ගන්වා කඩිනම් මිලදී ගැනීම් සඳහා පොළඹවා ගැනීමට ඔවුන් උත්සාහ කරයි. එහෙත් සැබෑ වෙළඳපොළ තත්ත්වය තුළ තම තොග පවත්වා ගැනීමේ පිරිවැය දරාගත නොහැකිව ඔවුන් රහසිගතව සහ ප්‍රසිද්ධියේ දැවැන්ත මිල අඩු කිරීම් සහ වට්ටම් ලබා දීමට පියවර ගෙන ඇත. ටොයෝටා ලංකා වැනි ප්‍රධාන සමාගම් පවා පවතින තොග සහ නව ඇණවුම් සඳහා මිල ගණන් සැලකිය යුතු ලෙස කප්පාදු කර තිබේ.

 

 

විශේෂයෙන්ම විද්‍යුත් වාහන (EV) ක්ෂේත්‍රය මුහුණ දී ඇත්තේ අතිශය දරුණු විකුණා ගැනීමේ අර්බුදයකටය. මුල් කාලයේදී ඉන්ධන අර්බුදය නිසා විද්‍යුත් වාහන සඳහා ඉහළ ආකර්ෂණයක් පැවතුනද, මේ වන විට ද්විතියික වෙළඳපොළ තුළ ඒවායේ නැවත විකිණීමේ වටිනාකම ශුන්‍ය මට්ටමකට කඩා වැටී ඇත. විද්‍යුත් වාහන වල ප්‍රායෝගික ආයු කාලය බැටරියේ සෞඛ්‍යය මත තීරණය වන අතර, ලංකාව වැනි රටක බැටරියක් ප්‍රතිස්ථාපනය කිරීම අතිශය වියදම්කාරී ක්‍රියාවලියකි. මෙම අධික බැටරි පිරිවැය සහ නැවත විකිණීමේ අවදානම පිළිබඳ පාරිභෝගිකයින් දැනුවත් වීමත් සමඟ ඔවුන් විද්‍යුත් වාහන මිලදී ගැනීමෙන් පැහැදිලිවම ඈත් වෙමින් සිටිති.

 

 

මෙම බැටරි භීතිකාව සහ පාරිභෝගික අවිශ්වාසය දුරු කරමින් විද්‍යුත් වාහන කෙසේ හෝ විකුණා ගැනීම සඳහා ආනයනකරුවන් රුපියල් මිලියන 2.0 ක් දක්වා වූ අතිවිශාල මිල අඩු කිරීම් සහ වට්ටම් ලබා දීමේ මංමුලා සහගත උත්සාහයක නිරත වේ. දැන් පාරිභෝගිකයින් විද්‍යුත් වාහන සලකනු ලබන්නේ වටිනාකම රැකෙන වත්කමකට වඩා, කාලයත් සමඟ වටිනාකම ක්ෂය වී යන සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික උපාංගයක් ලෙසටය.

 

 

මෙම අර්බුදය තවදුරටත් උග්‍ර වීමට සහ ආනයනකරුවන් මෙලෙස භීතිකාමය අලෙවියක නිරත වීමට සෘජුවම බලපා ඇත්තේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් පනවා ඇති දැඩි නියාමන රීති වේ.

 

 

රජයේ නීති වලට අනුව, ලංකාවට ආනයනය කරනු ලබන ඕනෑම මෝටර් රථයක් රේගුවෙන් නිදහස් කර දින 90 ක් එනම් මාස 3 ක් ඇතුළත අනිවාර්යයෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය. යම් හෙයකින් වාහන අලෙවිකරුවෙකුට මෙම දින 90 ඇතුළත වාහනය විකුණා ලියාපදිංචි කිරීමට නොහැකි වුවහොත්, එම වාහනයේ වටිනාකමෙන් සියයට 3 ක දැවැන්ත මාසික දඩයක් පැනවීමට රජය කටයුතු කරයි.

 

 

මෙම පිරිවැය පාරිභෝගිකයා පිට පැටවිය නොහැකි අතර ආනයනකරුවා විසින්ම දැරිය යුතුය. එමෙන්ම මාස 6 ක් ඇතුළත තම තොගයෙන් නිශ්චිත ප්‍රමාණයක් ලියාපදිංචි නොකළහොත් ආනයන බලපත්‍රය පවා අහෝසි වීමේ අවදානමක් පවතී.

 

 

මෙම දින 90 කාල සීමාව සහ පැනවෙන දැඩි දඩ මුදල් නිසා වාහන කාර් සේල් හිමියන්ගේ සාම්ප්‍රදායික ව්‍යාපාරික රටාව සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති අතර, දඩයෙන් බේරීම සඳහා තමන්ට ලැබෙන ලාභය සම්පූර්ණයෙන්ම කැප කරමින් හෝ පාඩුවට වාහන විකුණා දැමීමට ඔවුන්ට සිදුවී ඇත. මෙයට අමතරව මහ බැංකුව විසින් වාහන ණය සඳහා ලබා දෙන ණය-වටිනාකම් අනුපාත සීමා කිරීම නිසා පාරිභෝගිකයාට ගෙවීමට සිදුවන මූලික ගෙවීම ඉහළ යාම සහ වැට් බදු, TIN අංකය අනිවාර්ය කිරීම වැනි කරුණු ද වෙළඳපොළ තවදුරටත් මන්දගාමී වීමට හේතු වී තිබේ.

 

 

මෙම දැඩි නියාමන පීඩනය සහ විකුණා ගැනීමේ අර්බුදය හමුවේ ආනයනකරුවන් මේ වන විට රූපවාහිනී මාධ්‍ය සහ මහා පරිමාණ ප්‍රදර්ශන මුල් කරගත් ආක්‍රමණශීලී අලෙවිකරණ ව්‍යාපාර වෙත යොමු වී ඇත. එමගින් මෝටර් රථ වැඩසටහන් හරහා පාරිභෝගිකයින් තුළ පවතින බැටරි අවදානම සහ තාක්ෂණික බිය දුරු කිරීමට අඛණ්ඩව උත්සාහ කෙරේ.

 

 

එමෙන්ම කඩිනමින් වාහන අලෙවි කර ලියාපදිංචි කරගැනීමේ අරමුණින් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී 'Colombo EV Motor Show' වැනි දැවැන්ත ප්‍රදර්ශන සංවිධානය කර ඇත. මෙවැනි ප්‍රදර්ශන හරහා වාහන ප්‍රදර්ශනයට අමතරව බැංකු, ලීසිං සහ රක්ෂණ පහසුකම් සියල්ල එකම වහලක් යටට ගෙන එමින්, තීරණ ගැනීමට පසුබට වන පාරිභෝගිකයින් ලවා කඩිනමින් වාහන මිලදී ගැනීමට සැලැස්වීම ආනයනකරුවන්ගේ මූලික අරමුණ වී තිබේ.

 

 

ශ්‍රී ලංකාව යනු දැනටමත් මුළු ආසියාවෙන්ම වාහන ඝනත්වය අතින් ඉහළම මට්ටමක පවතින රටකි. සැබවින්ම ශ්‍රී ලංකාවට මේ මොහොතේ තව තවත් අවශ්‍ය වන්නේ පෞද්ගලික මෝටර් රථ නොවෙයි. රට තුළ දැනටමත් පවතින වාහන ප්‍රමාණය අධික වී තිබියදී, තවදුරටත් වාහන මිලදී ගැනීම සඳහා ආනයන ප්‍රතිපත්ති ලිහිල් කිරීමට කටයුතු කිරීමම වත්මන් රජය විසින් සිදුකළ අතිශය අනුවණ සහ අදූර්දර්ශී ක්‍රියාවකි. මෙම තීරණය නිසා එක් පැත්තකින් රට සතු සීමිත ඩොලර් සංචිත බාහිර ලෝකයට ඇදී යන අතරම, අනෙක් පසින් වාහන ප්‍රමාණය ඉහළ යාමත් සමඟ ඉන්ධන දහනය ද ශීඝ්‍රයෙන් වර්ධනය වේ. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ එම අතිරේක ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා යළි යළිත් රටේ වටිනා ඩොලර් සංචිත විනාශ කිරීමට රජයට සිදුවීමයි.

 

 

නූතන විද්‍යාත්මක සූත්‍ර සහ සැලසුම් උපයෝගී කරගනිමින් රටේ පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරනවා වෙනුවට, වත්මන් ප්‍රවාහන ඇමතිවරයා ද සිතන්නේ තව තවත් බස් රථ පිටරටින් ගෙන්වා පොදු ප්‍රවාහනය හැදීමටය. පාලකයින්ගේ මෙම සමස්ත අනුවණ සහ වැරදි ආර්ථික ප්‍රතිපත්ති මත මේ වන විටත් විශාල වාහන තොගයක් රට තුළට ගෙන්වා අවසන්ය. එබැවින්, දැන්වත් මේ සිදුව ඇති විනාශය කළමනාකරණය කරමින්, මෙරට ව්‍යාපාරිකයින් සතු එම වාහන තොග කඩිනමින් විකුණා දැමීම සඳහා අවශ්‍ය වන ලිහිල් සහනදායී වටපිටාව සකසා දීමේ සෘජු වගකීම රජය විසින්ම භාරගත යුතුව ඇත.

 

නවතම ලිපි