SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ජාතික මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරීම සහ පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීමේ

පරම අධිකාරී බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. යම් ආයතනයක් මහජන තැන්පතු ලබාගනිමින් මූල්‍ය අවදානමක් නිර්මාණය කරන්නේ නම්, ඊට එරෙහිව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම මහ බැංකුවේ වගකීමකි.

 

 

 

එහෙත්, 2026 ජූනි මාසයේදී කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම (KGPL) සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ දැඩි නිවේදනයට එළිපිටම අභියෝග කරමින්, "ෆැක්ට්ක්‍රෙසෙන්ඩෝ" (FactCrescendo) නම් තොරතුරු සත්‍යාපන ආයතනය විසින් සිදුකළ මාධ්‍ය මැදිහත්වීම හරහා රාජ්‍ය නීතිය සූක්ෂ්ම ලෙස දියකර හැර තිබේ. මෙය බරපතළ සමාජ-දේශපාලනික සහ නෛතික අර්බුදයක්  නිර්මාණය කරන්නකි.

 

 

 

මෙම ලිපිය මඟින් විචාරාත්මකව විශ්ලේෂණය කරනු ලබන්නේ, රාජ්‍ය මූල්‍ය නියාමකයාගේ නිල අනතුරු ඇඟවීමක් අවතක්සේරු කරමින්, සැකකටයුතු සමාගමකට පාරිභෝගික විශ්වාසය දිනාගැනීමට ඉඩ සලසා දීමට ෆැක්ට්ක්‍රෙසෙන්ඩෝ වැනි තෙවන පාර්ශවීය ආයතනයකට ඇති අයිතිය කුමක්ද යන්නයි.

 

 

සන්නිවේදන ගැටුමේ පසුබිම: මහ බැංකුවේ අනතුරු ඇඟවීම

මෙම අර්බුදය නිර්මාණය වන්නේ 2026 ජූනි 08 වන දින රූපවාහිනී වැඩසටහනකදී කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙනයි. තම සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන බවත්, මූල්‍ය දත්ත මහ බැංකුවට ලබාදෙන බවත් ඔහු එහිදී පැවසීය.

 

මෙම අසත්‍ය ප්‍රකාශයෙන් මහජනතාව නොමඟ යාම වැළැක්වීම සඳහා මහ බැංකුව 2026 ජූනි 12 දින විශේෂ නිවේදනයක් නිකුත් කළේය. අදාළ සමාගම තම නියාමනය යටතේ නොමැති බවත්, මුදල් ව්‍යාපාර පනතේ 2 වැනි වගන්තිය උල්ලංඝනය කරමින් ඔවුන් අනවසර මූල්‍ය කටයුතු සිදුකරන්නේද යන්න පිළිබඳව දැඩි විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මහ බැංකුව එහිදී අවධාරණය කළේය.

 

 

 

 

FactCrescendo හරහා රාජ්‍ය නීතිය දියකර හැරීම සහ අනියම් ප්‍රචාරණය

මහ බැංකුවේ මෙම දැඩි තීරණය මධ්‍යයේ, ෆැක්ට්ක්‍රෙසෙන්ඩෝ ආයතනය විසින් කසාගල සමාගම සහ මහ බැංකු නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නමින් ලිපියක් පළ කරන ලදී. "සත්‍ය තොරතුරු" වෙනුවෙන් පෙනී සිටින බව පවසන මෙම ආයතනය, ප්‍රායෝගිකව සිදුකර ඇත්තේ මහ බැංකුව විසින් මහජනතාව ආරක්ෂා කිරීමට නිකුත් කළ අනතුරු ඇඟවීම සාමාන්‍යකරණය කිරීමයි.

 

වඩාත් බරපතළ කාරණය වන්නේ, කසාගල ආයතනය විසින් රූපවාහිනියේ පළකරන ලද අදාළ අසත්‍ය ප්‍රකාශය සහිත වීඩියෝව යළිත් වරක් ෆැක්ට්ක්‍රෙසෙන්ඩෝ පිටුව මත සම්පූර්ණයෙන්ම පළකිරීමයි. මහ බැංකුව විසින් වංචනික බවට අනතුරු අඟවා ඇති ආයතනයක වීඩියෝවක් මෙලෙස ප්‍රති-ප්‍රචාරණය (Re-advertisement) කිරීම ජනතා විරෝධී ක්‍රියාවකි. එමෙන්ම එය ලංකාවේ ප්‍රධාන මූල්‍ය ආයතනයේ තීරණයක් විකෘති කිරීමේ බරපතළ වරදකි.

 

 

ව්‍යූහාත්මක සහ නෛතික ප්‍රතිවිරෝධතා

මහ බැංකුවේ දැඩි නියාමන ස්ථාවරය සහ ෆැක්ට්ක්‍රෙසෙන්ඩෝ ආයතනයේ මාධ්‍ය මැදිහත්වීම අතර පවතින ගැටුම මූලික කරුණු කිහිපයක් ඔස්සේ පැහැදිලි වේ.

 

මූල්‍ය නීත්‍යානුකූල භාවය:

කසාගල සමාගම අනවසරයෙන් තැන්පතු ලබා ගන්නේද යන සැකය මත මහ බැංකුව විමර්ශනයක් අරඹා තිබියදී, ෆැක්ට්ක්‍රෙසෙන්ඩෝ ආයතනය සමාගමේ ලියාපදිංචි සහතික සහ සම්මාන ඉස්මතු කරමින් එය නීත්‍යානුකූල කෘෂි ව්‍යාපාරයක් බවට මතයක් ගොඩනැගීය.

 

ආයෝජන සුරක්ෂිතතාව:

නියාමනයක් නොමැතිව මුදල් රැස්කිරීමේ ඇති නෛතික අනාරක්ෂිතභාවය මහ බැංකුව අවධාරණය කළද, ෆැක්ට්ක්‍රෙසෙන්ඩෝ ලිපිය මඟින් ආයෝජකයින්ට ඉඩම් සහ වැවිලි වත්කම් ඔප්පු මඟින් ලැබෙන සුරක්ෂිතතාවක් ගැන වක්‍රාකාරයෙන් සහතිකයක් ලබා දුන්නේය.

 

මහජන අවදානම සමනය කිරීම:

මහජනතාවට බරපතළ මූල්‍යමය හානියක් සිදුවිය හැකි බවට මහ බැංකුව අනතුරු අඟවා තිබියදී, මෙය හුදෙක් "විමර්ශනයක් පමණක්" බව අවධාරණය කිරීම හරහා ෆැක්ට්ක්‍රෙසෙන්ඩෝ ආයතනය සමාගමට එරෙහිව ඇතිවිය හැකි පාරිභෝගික භීතිය පාලනය කර දුන්නේය.

 

 

අල්ලස් චෝදනා සහ නෛතික ක්‍රියාමාර්ග

සත්‍ය තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව පවසමින්, මෙවැනි සැකකටයුතු සමාගම්වල පෞද්ගලික අභිලාෂයන් ඉටු කිරීම පිටුපස බරපතළ සැකයක් මතු වේ. මෙම ආයතනය අදාළ සමාගමෙන් යම් අල්ලසක් හෝ මූල්‍යමය වාසියක් ලබාගෙන ඇද්ද යන්න පිළිබඳව දැන් සමාජය තුළ කතිකාවතක් නිර්මාණය වී තිබේ.

 

මේ වන විටත්, අදාළ තොරතුරු ලබාදුන් පාර්ශවයන් විසින් ෆැක්ට්ක්‍රෙසෙන්ඩෝ ආයතනයේ මෙම හැසිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බවද වාර්තා වී තිබේ.

 

එපමණක් නොව, රාජ්‍ය නියාමකයාගේ නිල නිවේදන විකෘති කරමින් වංචාකාරී යැයි සැක කෙරෙන ආයතනවලට පලිහක් වන මෙවැනි තොරතුරු සත්‍යාපන ආයතනවලට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ද කරුණු ඉදිරිපත් කිරීමක් මේ වන විටත් සිදුකෙරෙමින් පවතින බවද අදාළ පාර්ශ්වකරුවන් විසින් දැනුම් දී තිබේ.

 

 

විචාරය

පැහැදිලිවම පෙනී යන කරුණක් වන්නේ, මහ බැංකු නිවේදනයෙන් තමන්ට සිදුවූ දැවැන්ත ප්‍රතිරූප හානිය පියවා ගැනීම සඳහා කසාගල ආයතනය විසින් ෆැක්ට්ක්‍රෙසෙන්ඩෝ ආයතනය පාවිච්චි කලාද යන සැකය මතුව තිබේ.

 

 

නෛතික ප්‍රසම්පාදන රාමුවක් තුළ සිට විග්‍රහ කිරීමේදී, පටු මූල්‍ය හෝ වෙනත් ලාභ ප්‍රයෝජන මත රාජ්‍ය නීතිය දියකර හරිමින් ජනතාව නොමඟ යවන මෙවැනි ඊනියා තොරතුරු සත්‍යාපන ආයතන ද, අනවසර මූල්‍ය සමාගම් තරමටම භයානකය. එබැවින් කසාගල වැනි ආයතන මෙන්ම, රාජ්‍ය නියාමනය අභිබවා යාමට උත්සාහ කරන මෙවැනි වංචාකාරී සත්‍යාපන ආයතන ද කඩිනමින් දැඩි නියාමනයකට ලක් විය යුතු බව විචාරක මතයයි.

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

 

පසු සටහන: "සත්‍ය තොරතුරු" යනු කුමක්ද? සහ 'සත්‍ය තොරතුරු මෙන්න මෙයයි' ලෙස පෙන්වා දෙන්නාට/ සත්‍යාපන ආයතනයට ඇති සුදුසුකම කුමක්ද? යන්න ගැන විශ්ලේෂනයක් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

නවතම ලිපි