SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

 

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ හට බන්ධනාගාරය තුළ පහසුකම් සැලසීම සහ ඔහු සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා ගැනීම සඳහා රුපියල් කෝටි දොළහක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ලබන ජූලි මස තුන්වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද නියෝග කළේය.

 

 

 

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත වසන්ත කුමාර අබේසිංහ, නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ සහ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ ශ්‍රී චතුරංග යන අයයි.

 

 

අල්ලස් කොමිසමේ කරුණු දැක්වීම


අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීති අනුෂා සම්බන්ධප්පෙරුම සිද්ධිය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දැක්වූවාය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ සිටින හරක් කටා ඉන් මුදාගෙන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් ලබා දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම මෙම ගනුදෙනුවේ අරමුණ වී ඇති බව ඇය අධිකරණයට දැනුම් දුන්නාය. මාකඳුරේ මධුෂ්ට අත්වූ ඉරණම අත්වේයැයි යන බිය හේතුවෙන් මෙම මාරුවීම සිදුකර ගැනීමට උත්සාහ කර තිබේ.

 

 

මේ සඳහා හරක් කටාගේ බිරිඳ වන මදුශානිගෙන් පළමුව රුපියල් ලක්ෂ පන්දහසක් ඉල්ලා ඇති අතර, පසුව එය ලක්ෂ දෙදහස දක්වා අඩු කරගෙන ඇත. ඉන් ලක්ෂ දොළොස්සීයක් අත්තිකාරම් ලෙස ඉල්ලා ඇති බවත්, එම මුල් අත්තිකාරම් මුදලින් රුපියල් ලක්ෂ දහසක් දෙවන සැකකරු වන රඛිත රාජපක්ෂටත්, ඉතිරි ලක්ෂ දෙසීය පළමු සැකකරු වන චරිත අබේසිංහටත් ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දුන්නේය.

 

 

ඩුබායි ගමන සහ මුදල් හුවමාරුව


මෙම ගනුදෙනුව සාකච්ඡා කිරීම සඳහා සැකකරුවන් තිදෙනා ගෙවීගිය වසරේ මාර්තු මස විසිපස් වැනි දින ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බව ආගමන විගමන දත්ත හරහා තහවුරු වී ඇත. එහිදී හරක් කටාගේ සමීපතමයෙකු වන ඩුබායිහි වෙසෙන හබී නොහොත් නිර්මල බණ්ඩාරගේ නිවසේදී හරක් කටාගේ බිරිඳ හමුවී මෙම සාකච්ඡා පවත්වා තිබේ.

 

 

අපේක්ෂිත කාර්යය ඉටු නොවීම සහ රැඳවුම් නියෝග තවදුරටත් දික්වීම හේතුවෙන් හරක් කටාගේ බිරිඳ එම මුදල් යළි ඉල්ලා ඇවටිලි කර ඇත. පසුව උණ්ඩියල් ක්‍රමයට කොට්ටාව ප්‍රදේශයේ අයෙකු ලවා මෑතකදී ඝාතනයට ලක්වූ මීදිගම ලසන්ත වික්‍රමසේකර හරහා ඇයට ලක්ෂ දෙසීයක මුදලක් ආපසු ලබා දී තිබේ. හරක් කටාගේ බිරිඳ විසින් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇති අතර, හරක් කටාගෙන් ලබාගත් ප්‍රකාශවලින්ද ඔහුගෙන් මෙලෙස මුදල් ඉල්ලා ඇති බව තහවුරු වී තිබේ.

 

 

විත්තියේ නීතීඥවරුන්ගේ තර්ක විතර්ක


සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඇප ලබා ගැනීම සඳහා ප්‍රබල විරෝධතා සහ සුවිශේෂී කරුණු අධිකරණය හමුවේ ගොනු කරන ලදී. දෙවන සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා ප්‍රකාශ කළේ, අල්ලස් කොමිසම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයක් ඉදිරිපත් කර ඇති නමුත් මෙය අදාළ වැටලීමක් සිදුකර අත්අඩංගුවට ගත් සිද්ධියක් නොවන බැවින් එම සහතිකය නඩුවට අදාළ නොවන බවයි. තම සේවාදායකයා නීතීඥවරයෙකු බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත වුවහොත් ඔහුගේ සේවාදායකයන්ට දැඩි අගතියක් සිදුවන බවද, ඔහු ස්ලීප් ඇප්නියා රෝගයෙන් පෙළෙන බැවින් බන්ධනාගාරගත කළහොත් ජීවිතයට අවදානමක් ඇති බවද ඒ  පෙන්වා දුන්නේය.

 

පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පෙන්වා දුන්නේ, රැඳවුම් භාරයේ සිටින අපරාධකරුවන්ගේ සාක්ෂි මත මෙලෙස අහිංසක පුද්ගලයින්ට චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බවයි. තම සේවාදායකයාට පෙර වැරදි කිසිවක් නොමැති බවත්, ඔහුට දරුණු හෘදයාබාධ තත්ත්වයක් පවතින බැවින් මේ වනවිටත් ස්ටෙන්ට් තුනක් දමා ඇති අතර තවත් පහක් දැමීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළේය.

 

තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගීත් කරුණාරත්න සඳහන් කළේ තම සේවාදායකයා අල්ලස් මුදල් ලබාගැනීමට කිසිසේත් හවුල්කරුවෙකු නොවන බවත්, ඔහු එදින ඩුබායි රාජ්‍යයට ගියේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තක් සඳහා බවත්ය. ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගුණරත්න වන්නිනායක ප්‍රකාශ කළේ පොලීසිය කිසිදු දැනුම්දීමකින් තොරව නීතීඥවරයෙකු වන දෙවන සැකකරුව රැගෙන ගොස් ඇති බවයි.

 

 

අල්ලස් කොමිසමේ දැඩි ස්ථාවරය


නීතීඥවරුන්ගේ තර්කවලට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂකවරිය දැඩි ස්ථාවරයක සිටිමින් කියා සිටියේ, නව අල්ලස් පනත මෑතකදී නිකුත් කළද ඊට පෙර සිදුවූ වැරදි සම්බන්ධයෙන් වුවද ආපස්සට ගොස් විමර්ශනය කිරීමට ව්‍යවස්ථාදායකය මගින් බලය ලබා දී ඇති බවයි. අපරාධකරුවෙකුට වුවද වෙනත් පාර්ශවයකින් සිදුවන අල්ලස් ඉල්ලීමක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අයිතිවාසිකමක් පවතින බව ඇය අවධාරණය කළාය.

 

 

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව


දෙපාර්ශවයේම කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය. අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ සහතිකය අධිකරණය විසින් පිළිගන්නා බවත්, සැකකරුවන් සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු ලෙස ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා වර්තමානයට කිසිදු ගැළපීමක් නොමැති ඒවා බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

 

 

 

එම වාර්තා මගින් කිසිවිටෙක සැකකරුවන්ගේ ජීවිතයට හානි වන අයුරින් ඒවා බලපාන බව සඳහන් නොවන බවත්, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ මේ වන විට විශ්වාසනීයද යන්න පිළිබඳව බැලීමට අධිකරණයට බලයක් නොමැති බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව, ඇප ලබාදීමට තරම් ප්‍රමාණවත් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම මත සැකකරුවන් තිදෙනාගේම ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, ඔවුන් ලබන ජූලි මස තුන්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

 

 

නවතම ලිපි