SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගේ

වේගයෙන් පිරිහෙමින් පවතින සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මානුෂීය හේතූන් මත වහාම මැදිහත් වන ලෙස ගෝලීය ශ්‍රී ලාංකික සංසදය (GSLF) ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

 

 

 

ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින් එම සංසදය ඉල්ලා සිටියේ, මේජර් ජෙනරාල් සලේ දීර්ඝ කාලීන පරිපාලනමය රඳවා තබා ගැනීමක් යටතේ නොතබා, විනිවිදභාවයෙන් යුත් අධිකරණ ක්‍රියාවලියක් හරහා ඔහු සම්බන්ධ විමර්ශන කඩිනම් කරන ලෙසයි. ඔහුගේ වත්මන් රැඳවුම් කොන්දේසි සහ පිරිහෙමින් පවතින ශාරීරික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කඩිනම් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය ද GSLF විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

 

 

ඉහළ පෙළේ හමුදා නිලධාරියෙකු ලෙස, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව සුරැකීම වෙනුවෙන් මේජර් ජෙනරාල් සලේ දශක ගණනාවක් තිස්සේ ජාතියට කළ සේවය ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් විශේෂයෙන් පෙන්වා දී තිබේ.

 

 

විධිමත් අධිචෝදනා ගොනු කිරීමකින් තොරව කිසිදු පුද්ගලයෙකු දිගුකාලීන රැඳවුම් භාරයේ තබා නොගත යුතු බව එම සංවිධානය තරයේ ප්‍රකාශ කර සිටී.

 

 

මේජර් ජෙනරාල් සලේ දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා තබා ඇති බව සංසදය තවදුරටත් පැවසීය. රඳවා තබාගෙන සිටින කාලය තුළ ඔහුට යම් අවාසනාවන්ත සිදුවීමක් හෝ සෞඛ්‍යමය සංකූලතාවක් ඇති වුවහොත්, එහි වගකීම අනිවාර්යයෙන්ම රැඳවුම් නියෝගය නිකුත් කළ අධිකාරිය ලෙස ජනාධිපති කාර්යාලය භාරගත යුතු බවට අදාළ ලිපිය මගින් අනතුරු අඟවා ඇත.

 

 

මේජර් ජෙනරාල් සලේ ට ඉහළම මට්ටමේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා බාධාවකින් තොරව ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දෙන ලෙසත්, ඔහුගේ පුද්ගලික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැඩි පියවර ගන්නා ලෙසත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපතිවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.

 

නවතම ලිපි