"යක්ෂයාගේ දරුවන් එක්සත් ජාතික පක්ෂ (UNP) කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගා ඇති අතර,
පක්ෂයේ සැබෑ ජ්‍යෙෂ්ඨයින් ඉන් ඉවත් කර ඇතැයි" පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අද (18) මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය මේ වන විට දැඩි දේශපාලන කතාබහකට ලක්ව තිබේ. දේශපාලනිකව බේරීම සඳහා එජාපය සහ සමගි ජන බලවේගය (SJB) එක්විය යුතු බව ඔහු එහිදී අවධාරණය කළේය.
එහෙත්, රවී කරුණානායක මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශය තුළ සැඟවී ඇති යථාර්ථය ඊට වඩා බෙහෙවින් කටුකය. අද වන විට එක්සත් ජාතික පක්ෂය කිසිදා යළි පණ නොනැගෙන අගාධයකට ඇද වැටී අවසන් බව විචාරක මතය වී තිබේ. ඔවුන් පවසන්නේ පක්ෂයට මෙම ඉරණම අත්වීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අත් නොහරින පක්ෂ නායකත්වයත් ඒවටා වටා රොක් වී සිටින, කිසිදු ජන පදනමක් නොමැති අතළොස්සක් වූ වන්දිභට්ටයින්ගේ ක්‍රියාකලාපය බවය. ඒ අනුව මෙම වන්දිභට්ටයින්ගේ එකම දේශපාලන න්‍යාය පත්‍රය වී ඇත්තේ පක්ෂය ගොඩනැගීම නොව, නායකයාව නිරන්තරයෙන් උසිගන්වමින් හුදෙක් 'සජිත් විරෝධී' කටයුතු වල පමණක් නිරත වීමය. රවී කරුණානායක වැනි ජ්‍යෙෂ්ඨයින්ට පවා පක්ෂය තුළ කලකිරීම් ඇතිවීමටත්, අවසානයේ පක්ෂ යාන්ත්‍රණයෙන් ඉවත්ව යාමටත් සිදුවූයේ දේශපාලන දැක්මක් වෙනුවට පෞද්ගලික වෛරය වපුරන මෙම වටපිටාව නිසාවෙන් බව ඔවුන්ගේ මතය වී තිබේ.
කෙසේ වුවද අතීතයේ මෙරට දේශපාලනයේ දැවැන්තම බලවේගය වූ එජාපය අද වන විට මෙම කුඩා වන්දිභට්ට කල්ලියේ අතකොලුවක් බවට පත්ව ඇත. මොවුන්ගේ පටු උපදෙස් මත යැපෙන නායකත්වයක් යටතේ එජාපයට අනාගතයක් නොමැති බව සාමාන්‍ය පාක්ෂිකයාද මේ වන විට තේරුම් ගෙන සිටී.
අනෙක් අතට, තිරය පිටුපස සිදුවන දේශපාලන ක්‍රීඩාව දෙස විමසිලිමත්ව බලන විට තවත් එක් කාරණයක් මනාව පැහැදිලි වේ. එනම්, පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සැබෑ ලෙසම කොන්ත්‍රාත්තුව ඉටු කළේ රනිල් වික්‍රමසිංහ බවට වන කාරණයයි. මෙය හුදෙක් කටකතාවක් පමණක් නොවන බවත් එජාපයේ බහුතරයක් මෙන්ම අනෙකුත් විපක්ෂයේ දේශපාලන පක්ෂ පවා මේ වන විට මෙම තිත්ත ඇත්ත ව්‍යංගයෙන් හෝ පිළිගෙන අවසන් බවත් පෙනේ.
විපක්ෂය බෙදා වෙන් කරමින්, වත්මන් ජනාධිපතිවරයාට වාසිදායක වන අයුරින් ඉත්තන් මෙහෙයවීමේ ප්‍රතිඵලයක් ලෙස අද එජාපය මුළුමනින්ම විනාශ වී ඇත.
අවසාන වශයෙන් කිව හැක්කේ, යක්ෂයාගේ දරුවන් යැයි රවී කරුණානායක හඳුන්වන මෙම වන්දිභට්ටයින්ට පක්ෂය සම්පූර්ණයෙන්ම පාවා දී ඇති පසුබිමක, එක්සත් ජාතික පක්ෂය යනු තවදුරටත් මෙරට දේශපාලනය තුළ නැගිටීමක් අපේක්ෂා කළ නොහැකි නාමපුවරුවක් පමණක් බවයි.
#නිරෝමි

