ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් ස්ථිර ත්‍රිපුද්ගල
මහාධිකරණය හමුවේ විභාග වන නඩුව, හුදෙක් පුද්ගලයන් කිහිපදෙනෙකුගේ අක්‍රමිකතාවක් ඉක්මවා ගිය, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේම පවතින බරපතළ ව්‍යුහාත්මක දුර්වලතා සහ නිලධාරිවාදයේ වගවීම් විරහිතභාවය මනාව ප්‍රදර්ශනය කරන කැඩපතක් බවට පත්ව තිබේ. ජූනි 12 වැනිදා පැවති නඩු විභාගයේදී විත්තියේ නීතිඥවරුන් විසින් මතු කරන ලද හරස් ප්‍රශ්න සහ ඊට ලැබුණු පිළිතුරු හරහා මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ හදවත බඳු වූ වෛද්‍ය සැපයුම් අංශය (MSD) ක්‍රියාත්මක වන ආකාරයේ ඇති ඛේදනීය තත්ත්වය මනාව විවරණය විය.
මෙම නඩු වාර්තාව ගැඹුරින් විශ්ලේෂණය කිරීමේදී ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ රාජ්‍ය යාන්ත්‍රණයේ බිඳවැටීම නිරීක්ෂණය කළ හැකිය.

වගකීමෙන් පලා යාම සහ පද්ධතිමය අක්‍රියතාව (Systemic Inefficiency)
සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි තීරණාත්මක ආයතනයක තොරතුරු කළමනාකරණය කොතරම් ප්‍රාථමික සහ අකාර්යක්ෂම මට්ටමක පවතින්නේද යන්න විත්තියේ නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා සහ සාක්ෂිකරු අතර ඇති වූ පහත සංවාදයෙන් මනාව තහවුරු වේ.
නීතිඥ:
කොපමණ කාලයක් යම් තොගයක් ලැබෙන්න තියෙනවද කියලා බලන්න පුළුවන්ද?
සාක්ෂිකරු:
ප්‍රොන්ටෝ පද්ධතිය අප්ඩේට් නැහැ. SPC හරහා දත්ත ලබා ගත හැකියි.
නීතිඥ:
රැස්වීමකදී ප්‍රොන්ටෝ පද්ධතියට ඇතුළු වී ඒ ගැන තොරතුරු බලා ගන්න වුණත් පුළුවන්ද?
සාක්ෂිකරු:
බැහැ ස්වාමීනි.
නීතිඥ:
MSD එකේදි පුළුවන්ද?
සාක්ෂිකරු:
පුළුවන් ස්වාමීනී. ආයතනයේ ඇති ලැප්ටොප් පරිගණකය මඟින් පුළුවන්.
ජීවිතාරක්ෂක ඖෂධ 1540ක් සහ ශල්‍ය වෛද්‍ය උපකරණ 8000ක් පමණ කළමනාකරණය කරන ජාතික මට්ටමේ ආයතනයක, දත්ත පද්ධතිය යාවත්කාලීන නොවීම සහ තොරතුරු ලබාගැනීමට "ආයතනයේ ඇති ලැප්ටොප් පරිගණකය" මත යැපීමට සිදුවීම විහිළුවකි. මෙය හුදු තාක්ෂණික දෝෂයක් නොව, වංචාවන්ට සහ දූෂණයන්ට රිසි සේ ඉඩ සලසා දීම සඳහාම පද්ධතිය "අන්ධව" තබා ගැනීමේ උපායමාර්ගික දුර්වලතාවක් (Strategic loophole) ද යන්න පිළිබඳව බරපතළ සැකයක් මතු කරයි.

මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම සහ චක්‍රලේඛ අවභාවිතය
රාජ්‍ය ප්‍රතිපත්ති සහ සම්මත මෙහෙයුම් පටිපාටි (SOPs) පවතින්නේ මහජන සුබසිද්ධිය උදෙසා වුවද, නිලධාරීන් සහ දේශපාලන අධිකාරිය ඒවා තමන්ට අවශ්‍ය පරිදි නම්‍යශීලී කරගන්නා ආකාරය මෙම නඩු විභාගයේදී පැහැදිලි විය.
මාස තුනක ස්වාරක්ෂක තොගයක් (Buffer stock) පවත්වාගෙන යාම ඖෂධ කළමනාකරණ අත්පොතේ (Drug Manual) පැහැදිලිව සඳහන්ව තිබියදීත්, අඛණ්ඩව ඖෂධ තොග ශූන්‍ය වීම වළක්වා ගැනීමට නිලධාරීන් අපොහොසත් වී ඇත. එසේම, ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ (WOR) සහතිකවල පිටපත් භාරගැනීමේ සම්ප්‍රදාය වෙනස් කරමින්, මුල් පිටපත්ම අවශ්‍ය බවට සෞඛ්‍ය ලේකම්වරයා විසින් හදිසියේ චක්‍රලේඛ නිකුත් කිරීම හරහා සැපයුම් ජාලය තුළ හිතාමතාම ව්‍යාකූලත්වයක් නිර්මාණය කළේද යන්න විමර්ශනයට ලක් විය යුතු කරුණකි.
විත්තියේ තර්කනය සහ පැමිණිල්ලේ මැදිහත්වීම
සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ගේ නොසැලකිල්ල ඔප්පු කිරීමට විත්තියේ නීතිඥ අසේල සේරසිංහ මහතා දැඩි උත්සාහයක් ගත්තේය. භාණ්ඩ තොග භාරගැනීමේදී සාම්පල් සහ ලේබල් පරීක්ෂාව නිසි පරිදි සිදු නොවීම සහ අදාළ හිඟ පෝරම (2v 24) ලිපිගොනුවල නොමැති වීම ඔහු අධිකරණයට පෙන්වා දුන්නේය.
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මැදිහත්වීම් සහ ඊට නීතිඥවරයා දැක්වූ ප්‍රතිචාරය අධිකරණයේ උණුසුම් මුහුණුවරක් ගත්තේය.
නීතිඥ:
එම මිනිට් ෂීට් එක අනුව තොග පාලක විසින් සහකාර අධ්‍යක්ෂගේ අවධානය යොමු කර ඇත්තේ ප්‍රමාදය ගැන නේද මහත්මයා?
(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විරෝධය පළ කරයි)
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:
ප්‍රමාදය ගැන පමණයි නේද කියලා ඇසුව එකටම විරුද්ධයි.
නීතිඥ:
බලහත්කාරකම් කරන්නේ නැතිව නිදහසේ සාක්ෂි දෙන්න ඉඩ දෙන්න.
තවද, ස්වාරක්ෂක තොග පිළිබඳ ප්‍රශ්න කිරීමේදී පැමිණිල්ලෙන් සාක්ෂිකරුට තර්ජනයක් එල්ල වන බවට විත්තියේ නීතිඥවරයා කළ ප්‍රකාශය හරහා, සත්‍යය මතුකර ගැනීමේ ක්‍රියාවලියට ඇති විය හැකි බලපෑම් පිළිබඳව ද ඉඟි කෙරේ.
ආයතනික වගකීම සහ නිලධාරීන්ගේ "නිද්‍රාශීලීභාවය"
දෙවන විත්තිකරු විදේශගතව සිටියදී පවා ඖෂධ තොග ලැබී තිබීම සහ ඒවා භාරගැනීමට අදාළ ක්‍රියාපටිපාටි සිදුවී ඇති ආකාරය මඟින් පෙනී යන්නේ, ආයතනික වගකීම (Institutional responsibility) කිසිදු නිශ්චිත පුද්ගලයෙකුට පවරාගත නොහැකි වන පරිදි විසිරී ඇති බවයි. "ඒ වගකීම සියලු දෙනාට පැවරෙනවා" යනුවෙන් සාක්ෂිකරු දෙන පිළිතුරම, අවසානයේ කිසිවෙකුත් වගනොකියන සංස්කෘතියක ප්‍රතිමූර්තියකි.
ජූනි 12 වැනිදා මහාධිකරණයේදී දිගහැරුණු මෙම සාක්ෂි විභාගය, හුදෙක් ඖෂධ වංචාවක අපරාධමය පැතිකඩ පමණක් නොව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින ගැඹුරු ඛේදවාචකය නිරාවරණය කරයි. යාවත්කාලීන නොවන දත්ත පද්ධති, අවශ්‍යතාවයට අනුව වෙනස් කෙරෙන චක්‍රලේඛ, සහ තම මූලික වගකීම් පිළිබඳව පවා නිසි අවබෝධයක් නොමැති තීරණාත්මක නිලධාරීන් මත මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ පැවැත්ම තීරණය වෙමින් තිබේ. මෙම නඩුව හරහා අපේක්ෂා කළ යුත්තේ හුදෙක් පුද්ගලයින් කිහිපදෙනෙකුට දඬුවම් දීම පමණක් නොව, මෙවැනි මහා පරිමාණ දූෂණයන්ට තෝතැන්නක් වූ වගවීමෙන් තොර රාජ්‍ය පරිපාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමය.
නඩු වාර්තාව
2026/06/12
බාල බෙහෙත් ගෙන්වීම පිළිබඳ නඩු විභාගය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ (12) විභාගයට ගත් අවස්ථාවේ පෙර දින 11 විත්තියේ හරස් ප්‍රශ්න නගමින් සිටි, නීතිඥ අසේල සේරසිංහ තවදුරටත් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
නීතිඥ: පැ 306 හි සඳහන් පෙන්ඩින් ඕඩරය පෙර මා පෙන්වූ ලියවිල්ලේ තියෙන ඕඩරයම නේද?
සාක්ෂිකරු: එකම ඇනවුම ස්වාමීනි.
නීතිඥ: ඒකක 75000 ඉදිරියේ "Request delivery plan please" යනුවෙන් සඳහන්.
සාක්ෂිකරු: ඔව්, ජනවාරි 23 දා 40000 කුත් ජූනි මස 23 වැනිදා 35000 කුත් ලබා දෙන පරිදි ඉල්ලා තිබෙනවා.
නීතිඥ: එසේ ලබාගන්න බලාපොරොත්තු වෙන බව නේද කියන්නේ?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: 2 v 36 B ලේඛනයට අවධානය යොමු කරන්න. එයට අනුව පැ 300 ඩිලිවරි ප්ලෑන් එක අනුව නෙවෙයි ඩිලිවරි ලැබිලා තියෙන්නේ.
සාක්ෂිකරු: මේ පරිගණක සටහන අනුව එහෙම නෙවෙයි ලැබිලා තියෙන්නේ.
නීතිඥ: අනුකූලව නෙවෙයි ලැබිලා තියෙන්නේ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: 2023 මැයි 23 මිනිට් සටහන බලන්න. අපි ඉන්වොයිස් පත්‍රය පරීක්ෂා කළා. පැ 300 මිනිට් එකට අදාලව 92 ගොනුවේ 2v 34 හි 191 ලෙස රවුම්කර ඇති ඉන්වොයිස් පත්‍රයක් එහි තියෙන්නේ. එම ලේඛනයේ පිටුපස පිටුව බලන්න. එම මුද්‍රාව අනුව සාම්පල් පරීක්ෂාව හා ලේබල් පරීක්ෂාව මතින් භාර ගත හැකි බව කියා තියෙනවා. මේ භාණ්ඩ තොගය භාර ගැනීම ගැන තොග පාලක නිලධාරී විසින් සාම්පල් පරීක්ෂාවේදි හා ලේබල් පරීක්ෂාවේදී ප්‍රශ්නගත වුණා කියලා 71 ගොනුවේ 2v 24 පෝරමය පුරවලා නැහැ.
සාක්ෂිකරු: 2v 24 හිඟ පෝරමයක් ලිපිගොනුවේ නැහැ.
(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විරුද්ධ වෙති)
සාක්ෂිකරු: ලේඛන හා සාම්පල්වල වරදක් නොමැති හා ලිපිගොනුවේ ප්‍රශ්නයක් නැහැ.
නීතිඥ: එම මිනිට් ෂීට් එක අනුව තොග පාලක විසින් සහකාර අධ්‍යක්ෂගේ අවධානය යොමු කර ඇත්තේ ප්‍රමාදය ගැන නේද මහත්මයා?
(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විරෝධය පළ කරයි)
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ප්‍රමාදය ගැන පමණයි නේද කියලා ඇසුව එකටම විරුද්ධයි.
නීතිඥ: බලහත්කාරකම් කරන්නේ නැතිව නිදහසේ සාක්ෂි දෙන්න ඉඩ දෙන්න.
සාක්ෂිකරු: ස්වාමීනි, මේ ප්‍රමාදය ගැන නොවෙයි.
නීතිඥ: භාරදීම් කාලය ගැන පමණද?
සාක්ෂිකරු: තොග භාර ගැනීම ගැන තවත් විස්තර අහලා තියෙනවා.
නීතිඥ: ඖෂධයක ආයු කාලය ගැන නේද අහලා තියෙන්නේ?
සාක්ෂිකරු: මේ ඩිලිවරි දිනය ගැන අහලා තියෙන්නේ.
නීතිඥ: තොගය ලැබෙන්න ප්‍රමාද බවට පැ 299 ලේඛනය අනුව සැපයුම්කරුට සෞඛ්‍ය අමාත්‍යාංශය ලියුමක් යැව්වා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: මේ පැ 299 ලේඛනයට අදාළ තොග පාලකත් අනුගමනය කරනවා. 7 වන ඡේදයේ තිබෙන බෝල, නැත්නම් point වශයෙන් 1 සිට 11 දක්වනවා. මේ ලේඛනයේ 7 වන ඡේදයේ 11 වන point එක ඊළඟ පිටුව දක්වාත් යනවා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: මේ සම්පූර්ණ කොටසම බලාපොරොත්තු වෙලා ලැබුණේ MSD කටයුතු කරන ආකාරය ගැන නේද?
සාක්ෂිකරු: ප්‍රමාදය මඟ හරවන්න ක්‍රියාමාර්ග ගත්තා. 2V 37 සටහන් සෞඛ්‍ය ලේකම් මඟින් නිකුත් කර තිබෙනවා.
නීතිඥ: 2 V 37 සඳහන් පැනල් එකට ඖෂධ ප්‍රමාද වී ලැබෙන ඖෂධ තොග ලබාගත හැකි වෙනවද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: පැ 309 ට අදාළව පැ 310 හි 12 ඡේදයේ සඳහන් කළාද?
සාක්ෂිකරු: ඇතුළත් කර ඇත.
නීතිඥ: පැ 299 ඇණවුම් ලැයිස්තුවේ ඖෂධ 180 න් දෙකක් පමණයි මේ නඩුවට අදාළ වන්නේ.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: ඔබ දන්නවා ඇති මේ ඖෂධ ගැන විශේෂකර පරීක්ෂණ පවත්වද්දී ඔක්කොම ඖෂධ ගැන වන ලේඛන විමර්ශන නිලධාරීන්ට භාරදෙන්න කියලා තිබුණා.
සාක්ෂිකරු: විවිධ අවස්ථාවල එසේ සිදු වුණා.
නීතිඥ: වැඩබලන අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා ඔබ දන්නවද?
සාක්ෂිකරු: දන්නවා ස්වාමීනී.
නීතිඥ: ඔබ හා සේවය කර ඇත්ද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: ඔහුගේ නිල මුද්‍රාව සහ අත්සන හඳුනාගත හැකිද?
සාක්ෂිකරු: පුළුවන්, ඔහු දැන් විශ්‍රාම ගිහින්.
නීතිඥ: ඔහු හා වැඩ කර තිබෙනවා?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: විජේසූරිය මහතා විසින් කළ E01 ප්‍රසම්පාදනයට අදාළව තිබුණු ලේඛනයක් පෙන්නුවොත් හඳුනාගත හැකිද?
සාක්ෂිකරු: ඔව් පුළුවන් ස්වාමීනී.
නීතිඥ: ගොනු අංක 64 හි අංක 1 සිට 9 දක්වා පරීක්ෂා කර බලන්න.
සාක්ෂිකරු: හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සන හා මුද්‍රාව හැම පිටුවකම තියෙනවා.
නීතිඥ: 9 පිටුවේ ලැයිස්තු සකස් කළ බවටත්?
සාක්ෂිකරු: සඳහන් කර තිබෙනවා ස්වාමීනී.
(එම ලේඛන සහතික කරන ලද අයගෙන් ඔප්පු කිරීමේ භාරයට යටත්ව සලකුණු තබන ලදී)
නීතිඥ: පිටු අංක 1 සිට 9 දක්වා ඖෂධ වර්ග 45 ක් ලැයිස්තු ගතකර තිබෙනවා නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: 44 හා 45 පමණයි නඩුවට අදාළ වන්නේ?
සාක්ෂිකරු: එසේය ස්වාමීනී.
නීතිඥ: 1 සිට 43 දක්වා තිබෙන්නේ MSD එකට ලැබුණු ඖෂධ බව ඔබට පෙනෙනවද?
සාක්ෂිකරු: GRN දිනයකුත් එක්ක දාලා තියෙනවා.
නීතිඥ: පැ 293 හි සඳහන් MSD එකට ලැබුණු ඖෂධ, එම තොග පිළිබඳ ලේඛනත් 2V 34 හි සඳහන් බව මම කියනවා.
සාක්ෂිකරු: එසේ සැලකිය හැකියි.
නීතිඥ: 15 කොළමේ භාණ්ඩ භාර ගනිද්දී GR කියන්නේ ලැබීමක් සඳහන් වීමක්ද?
සාක්ෂිකරු: එසේය ස්වාමීනී.
නීතිඥ: වවුචරයේ හා එහි වටිනාකමත් ප්‍රමාද ගාස්තුත් සඳහන් කර තිබෙනවා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: අවසාන කොළමේ NMRA ලියාපදිංචි එකක්ද, WOR සහිතව ආපු එකක්ද කියලා සඳහන් වෙනවා. 2V 39 ලේඛනයේ 44, 45 ඇතත් 3, 4, 5, 10, 13, 14, 15, 18, 20, 21, 23, 25, 27, 29, 30, 31, 33, 35 යනාදී ලෙස WOR මත ගෙන්වූ ඒවා බව සඳහන් කර නැත. මේ 45 ක් බැලුවම දෙකයි නඩු කටයුත්ත වුණේ. තව 17 ක් සඳහන් කර තිබෙනවා WOR කියලා.
සාක්ෂිකරු: මෙම ලේඛන අනුව ඔව් ස්වාමීනි.
නීතිඥ: අංක 1 බලන්න. GRN දිනය පරීක්ෂා කරන්න.
සාක්ෂිකරු: 12-6 දි.
නීතිඥ: දෙවන විත්තිකරු විදේශගතව සිටියදී තොගයක් ඒ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: 9 අයිතමය බලන්න.
සාක්ෂිකරු: 2022/11/12 ලැබිලා.
නීතිඥ: 2 විත්තිකරු විදේශගතව සිටියදී ආ එකක් නේද?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: දොළොස්වන අයිතමය ලැබුණේ කවදද?
සාක්ෂිකරු: නොවැම්බර් 12.
නීතිඥ: ඒ කියන්නේ දෙවන විත්තිකරු විදේශගතව සිටියදී?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: මේවා 2023 නොවැම්බරයේ සිට ලැබුණු තොග?
සාක්ෂිකරු: ඔව්, මේ සටහන අනුව නම් එහෙමයි.
නීතිඥ: MSD එක අයිතම කීයක් කරනවද?
සාක්ෂිකරු: ඖෂධ 1540 ක්, සර්ජිකල් අයිතම 8000 ක් පමණ.
නීතිඥ: මේ ස්ථානය තොරතුරු රාශියක් ලැබෙන තැනක්.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: 2023 සැප්තැම්බර් වන තුරු තිබුණ ප්‍රසම්පාදන ක්‍රමවේදය තමයි ඔබ සඳහන් කළේ. 2024 ඒ වන විටත් මෙහෙමද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: 2023 ඔක්තෝම්බර් වෙනකොට ගැටලු මතු වෙන්න ගත්තා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් චක්‍රලේඛ නිකුත් කළා.
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: අලුත් නියෝග හඳුන්වා දෙන්න චක්‍රලේඛ නිකුත් කරනවා. චක්‍රලේඛ නිකුත් කළ විට ඒ අනුව වැඩ කරනවා. සෞඛ්‍ය ලේකම්ගේ චක්‍රලේඛය අනුව භාණ්ඩ භාරදීමේ කටයුතු කරන්න කියලා තිබුණා නේද? බලන්න මේ අත්සන හඳුනගන්න පුළුවන්ද කියලා.
(ඔප්පු කිරීමේ භාරයට යටත්ව එම ලේඛනය ද සටහන් කෙරේ)
නීතිඥ: මෙම ලේඛනයේ මුල් පිටපත නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ගොනුවේ තිබිය හැකියි. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා නේද? 2V 40 ලේඛනය අනුව WOR සහතිකයේ මුල් පිටපත භාණ්ඩ සමඟ අවශ්‍යයි කියා.
සාක්ෂිකරු: එහෙම උපදෙස් ලබා දී තිබුණා.
නීතිඥ: මීට පෙර එහෙම එකක් තිබුණේ නැද්ද?
සාක්ෂිකරු: තිබුණේ නැහැ.
නීතිඥ: මීට පෙර ගත්තේ WOR සහතිකයේ පිටපතක්?
සාක්ෂිකරු: අලුත් චක්‍රලේඛයේ සඳහන් වුණේ WOR සහතිකයේ ඔරිජිනල් එක ගේන්න කියලා.
නීතිඥ: මීට පෙර මෙහෙම එකක් වෙලා තිබුණේ නැහැ නේද?
සාක්ෂිකරු: නැහැ.
නීතිඥ: WOR පිටපත් තමයි ගේන්න කියලා තිබුණේ?
සාක්ෂිකරු: අලුත් චක්‍රලේඛයේ අලුත් නියෝගය WOR ඔරිජිනල් ගේන්න කියන එකයි.
නීතිඥ: 2023/11/03 ට පසුව අලුත් ක්‍රමවේදය ක්‍රියාත්මක වුණාද? ඒ අනුව කටයුතු කළාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: 2V 41 ලේඛනයට අනුව MSD අධ්‍යක්ෂ මඟින් ඊට අනුරූපව තොග පාලන නිලධාරීන්ට චක්‍රලේඛයක් නිකුත් කළාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
(දෙවන විත්තිකරු, වෛද්‍ය කපිල වික්‍රමනායකගේ අත්සන සහිත චක්‍රලේඛය සාක්ෂිකරුට පෙන්වයි. එය 2V 42 ලෙස සලකුණු කෙරේ)
නීතිඥ: එහි දෙවන ඡේදය ඉවත් කර තිබෙනවා.
සාක්ෂිකරු: 11/15 ආයෙ වෙන එකක් දීලා තියෙනවා.
නීතිඥ: ඒක ක්‍රියාත්මක කරන ආකාරය සහ පෝරමය හඳුන්වා දී තිබෙනවාද?
සාක්ෂිකරු: පරීක්ෂා කළ යුතුයි කියා තිබෙනවා.
නීතිඥ: පිරික්සුම් ලැයිස්තු දී තිබේද?
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: 2023 නොවැම්බර් මාසයේ අවසානයේදී MSD එකට අධ්‍යක්ෂ කෙනෙක් ආවා. කවුද ඒ?
සාක්ෂිකරු: වෛද්‍ය දේදුණු ඩයස්.
නීතිඥ: නොවැම්බර් 15 චක්‍රලේඛයට අමතරව තව චක්‍රලේඛයක් නොවැම්බර් 23 නිකුත් කළාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: මේ ඖෂධ දෙකට අමතරව තව මසකට වැඩි සෞඛ්‍ය ඇනවුම් කර තිබුණා.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: ඖෂධ 15 ක්ම නිකුත් වුණේ කපිල වික්‍රමනායක මහතා යටතේද?
සාක්ෂිකරු: එකම එක ඕඩර් ලිස්ට් එකක් පමණයි ඔහුට අදාළ.
නීතිඥ: 2023 අග, 2024 මුල WOR යටතේ එන ඖෂධ භාර ගැනීමට නිලධාරීන් බිය වූ අවිනිශ්චිත කාලයක් තිබුණද?
සාක්ෂිකරු: එහෙම එකක් තිබුණා.
නීතිඥ: වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබිය යුතු ඇනවුම් විශේෂ අවසරයක් නැතිව කැන්සල් කරන්න එපා කියා නියෝගයක් ආවද?
සාක්ෂිකරු: ලැබිලා තිබුණා ස්වාමීනී.
නීතිඥ: රිටක්සිමැබ් කියා ඖෂධයක් මේ ලැයිස්තුවේ තිබෙනවා. 2022 නොවැම්බරයේ නිකුත් වුණාද එය?
සාක්ෂිකරු: නිකුත් වෙන්න ඇති.
නීතිඥ: එහෙම ක්‍රියාපිළිවෙතක්ද මේ ඖෂධ භාර ගැනීමේදීත් සිදුවුණේ? මහත්මයා කස්තුරි රත්නගේ ගොනුව පරීක්ෂා කර බැලුවද?
සාක්ෂිකරු: SCO තොග පාලන නිලධාරී විසින් පරීක්ෂා කළා.
නීතිඥ: ඖෂධ භාර ගැනීමට තොග පාලන නිලධාරී සහ සහකාර අධ්‍යක්ෂ සම්බන්ධ වුණා?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: 85 ගොනුවේ බලන්න 870 ක් ලෙස සඳහන් වෙනවා. මාසික අගය 750 ක්.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
(දස වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ප්‍රියන්ත නාවාන සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි)
නීතිඥ: මෙරට සෞඛ්‍ය සේවයේ ජනතාවට ප්‍රධාන තැනක් දෙනවා.
සාක්ෂිකරු: රජයේ රෝහල්වලට ඖෂධ බෙදා දීමට අපි ප්‍රමුඛස්ථානය දෙනවා.
නීතිඥ: සේවාව පවත්වාගෙන යාමට කලට වෙලාවට ඖෂධ ආනයනය කළ යුතුයි.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: එය ඉතා වැදගත් කටයුත්තක් කියා පෙර වර්ෂවලට අදාළව ඇගයීමක් කර අවශ්‍ය ඖෂධ ගෙන්විය යුතුයි.
සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: බෙදා හැරීම කියන කාරණාවත් ඉතා වැදගත්.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: බෙදා හරින විට පවතින ඖෂධ අඩුවෙනවා නේද?
සාක්ෂිකරු: ලැබෙන නිසා අඩු වැඩි වෙමින් පවතිනවා.
නීතිඥ: ප්‍රධාන තොග පාලක වශයෙන් එම කටයුත්තේදී ඔබට ලොකු වගකීමක් පැවිරෙනවා.
සාක්ෂිකරු: ඒ වගකීම සියලු දෙනාට පැවිරෙනවා.
නීතිඥ: තොග ශූන්‍ය නොවන තත්ත්වයක් තබා ගැනීම වගකීමක් නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: මේ තොග කළමනාකරණය කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ දෙපාර්තමේන්තුව පැත්තෙන් අරන් තියෙනවද?
සාක්ෂිකරු: තොග කළමනාකරණය සඳහා ප්‍රධාන වන මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කර තිබෙනවා.
නීතිඥ: ඖෂධ කළමනාකරණය ගැන අත්පොතක් තිබෙනවද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: ඡේද අංක 10, අඛණ්ඩව ඖෂධ තොග ශූන්‍ය වීම වළක්වන්නට නිරන්තර කටයුතු කළ යුතු බව සඳහන්.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: ගැනුම් ඇණවුම් නිසි පරිදි නිකුත් කිරීම, වගේම ඖෂධ නිසි පරිදි නිකුත් කිරීමත් ඔබේ අංශයේ වගකීමක්?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: UN වර්ගීකරණය අනුව ඖෂධ වර්ගීකරණය සිදු කරන්නට පුහුණුවක් ලබා දෙනවාද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: ඖෂධ ගැනීමේ කේන්ද්‍රස්ථානය වෛද්‍ය සැපයීම් අංශයයි.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: තොග ශූන්‍ය නොවන ප්‍රසම්පාදනයක් තිබිය යුතුයි නේද?
සාක්ෂිකරු: යම් අවස්ථාවක් සමඟ උදාහරණ ලෙස කොලිටි ෆේල් වීම වැනි අවස්ථාවක තොග ශූන්‍ය විය හැකියි. එහෙම අවස්ථා තිබෙනවා.
නීතිඥ: මාස තුනක ස්වාරක්ෂක තොග පවත්වාගෙන යාම ගැන ඩ්‍රග් මැනුවල් එකේ කතා කරලා තියෙනවද?
(නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විරෝධය පළ කරයි. සාක්ෂිකරුට තර්ජනය කරනවා)
නීතිඥ: මෙතන බණ්ඩාර මහත්තයා ඔබට මාස තුනක ස්ථාවර තත්ත්වයක් තිබිය යුතුයි කියන්න එපා කියලා කවුරු හරි කිව්වද?
සාක්ෂිකරු: නැහැ.
නීතිඥ: ස්වාරක්ෂක තොගයක් ඖෂධ තොගය පවත්වාගෙන යා යුතුයි නේද?
සාක්ෂිකරු: රිප්ලේස් වෙවී ඉදිරියට යන ක්‍රමවේදයක් ගැන මෙහි කතා කර තිබෙනවා. මෙය ආවර්තිතව සිදුකළ යුතු ක්‍රියාවලියක්.
නීතිඥ: ඖෂධ තොගය රෝගීන්ට ලබා ගැනීම සඳහා බෙදාහැරීමට තියන්න ඕන නේද? මාසික අවශ්‍යතාවය කියන අගය ඒ ඒ ඖෂධයන්ට වෙන වෙනම දක්වනවා නේද? ඒ අනුවද ස්වාරක්ෂක තොගය නියම වෙන්නේ?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: MSD එකේ මධ්‍යගතව ඇති ඖෂධ සැපයීම දිවයිනේ සියලු රෝහල්වල තබාගත යුතු බව දක්වා තිබෙනවද?
සාක්ෂිකරු: මාසයක සිට දෙක දක්වා තොගයක් තිබිය යුතුයි.
නීතිඥ: ඒ තොගය ගණනය කරන්නේ මාසික අවශ්‍යතාවයට සාපේක්ෂවද?
සාක්ෂිකරු: ප්‍රශ්නය තේරුණේ නැහැ ස්වාමිනි.
නීතිඥ: ඖෂධවේදියෙක් නේද? සාපේක්ෂ කියන එක තේරෙන්නේ නැද්ද? මෙහෙම අහන්නම්, මාසික අවශ්‍යතාවය සීයක් නම් රෝහල් තුළ සීය සිට දෙසීය දක්වා පවත්වාගෙන යා යුතුයි නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: drug manual එකේ සිංහල අනුවාදයක් තියෙනවද?
සාක්ෂිකරු: නැත ස්වාමීනී.
නීතිඥ: අංක දෙක කියවන්න. "This is essential to maintain butter stock". උදාහරණ ලෙස MSD Stock 3 months ලෙස සඳහන් නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: මේ drug මැනුවල් එකේ අවශ්‍යතාවය හිඟයකින් තොරව ඖෂධ තබා ගැනීම නේද?
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: වෛද්‍ය සැපයුම් ඒකකය ඒ වෙනුවෙන් නිරන්තර කටයුතු කළ යුතුයි.
සාක්ෂිකරු: ඔව් ස්වාමීනී.
නීතිඥ: කොපමණ කාලයක් යම් තොගයක් ලැබෙන්න තියෙනවද කියලා බලන්න පුළුවන්ද?
සාක්ෂිකරු: ප්‍රොන්ටෝ පද්ධතිය අප්ඩේට් නැහැ. SPC හරහා දත්ත ලබා ගත හැකියි.
නීතිඥ: ඔබ කියන පරිදි ප්‍රොන්ටෝ අප්ඩේට් නැහැ. පෙර අවස්ථාවලදී ගත් මිල බලාගන්න පුළුවන්ද?
සාක්ෂිකරු: පරිගණක මඟින් බලාගන්න පුළුවන්.
නීතිඥ: රැස්වීමකදී ප්‍රොන්ටෝ පද්ධතියට ඇතුළු වී ඒ ගැන තොරතුරු බලා ගන්න වුණත් පුළුවන්ද?
සාක්ෂිකරු: බැහැ ස්වාමීනි.
නීතිඥ: MSD එකේදි පුළුවන්ද?
සාක්ෂිකරු: පුළුවන් ස්වාමීනී. ආයතනයේ ඇති ලැප්ටොප් පරිගණකය මඟින් පුළුවන්.
නීතිඥ: ඔබට නැද්ද ලැප්ටොප් එකක්?
සාක්ෂිකරු: තිබෙනවා ස්වාමීනී.
මේ අවස්ථාවේ නඩු විභාගය ඊළඟ සඳුදා (15) ට කල් තැබූ අතර එහිදී 9 වන චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක අධිකරණය වෙත දන්වා සිටියේ ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවේ දී නීතිඥ වෘත්තියේ නියැලෙන්නේ නැති බැවින් මෙම නඩුව සඳහා වෙනත් නීතිඥවරයෙකු නම් කරන බවය.

