SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඖෂධ අර්බුදයේ නඩු විභාගය: ජනතා අධිකරණයේ තීන්දු සහ නීතිය හමුවේ නිරාවරණය වන පද්ධතිමය ඛේදවාචකය

 

 

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මහත් ආන්දෝලනයකට ලක් කළ 'ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ නඩුව'

මේ දිනවල ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී. කෙසේ වුවත්, මෙවැනි සංවේදී සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ජනතා වේදිකාවේදී දෙනු ලබන තීන්දු, සැබෑ නඩු විභාගයක් හමුවේදී බොහෝ විට වෙනස් වන බව මෙම නඩුවේ මෙතෙක් ගෙවී ගිය ක්‍රියාවලියෙන් මනාව පැහැදිලි වේ.

 

 

පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට කැඳවා ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) ප්‍රධාන තොග පාලක එච්. එම්. ඩී. එන්. බණ්ඩාර ගේ සාක්ෂිය සහ ඊට එල්ල වූ හරස් ප්‍රශ්න මගින් පෙන්වා දෙන්නේ, හුදෙක් පුද්ගලයන් කිහිපදෙනෙකුගේ වංචාවකට වඩා ආයතන පද්ධතියේ ඇති දුර්වලතා, වගකීම් විරහිතභාවය සහ අකාර්යක්ෂමතාව මෙවැනි සිදුවීම්වලට මූලිකවම බලපා ඇති බවයි. ආයතන පද්ධතිය සක්‍රීයව සහ විධිමත්ව ක්‍රියාත්මක වන්නේ නම් සහ නීතිමය රාමුව ශක්තිමත් නම්, කිසිදු බාහිර පාර්ශ්වයකට ක්‍රමවේදයට පිටින් කටයුතු කළ නොහැකි බව මෙම නඩු විභාගය මගින් මේ වන විටත් තහවුරු කරමින් සිටී.

 

Medical Supplies Division, SriLanka | Colombo

 

පැමිණිල්ලේ විමර්ශනය: ක්‍රියාපටිපාටියේ අපගමනයන් සහ ලේඛනගත හිඩැස්


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම ගේ මෙහෙයවීම යටතේ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ක්‍රමවේදයෙන් බැහැරව වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) වෙනම කාණ්ඩයක් යටතේ ඖෂධ ගෙන්වීම පිළිබඳව ප්‍රශ්න කෙරිණි. එමෙන්ම Waiver of Registration (WR) හෙවත් ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ සහතිකවල නිරවද්‍යතාවය සහ වලංගු කාලය පිළිබඳව නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇති මට්ටම එහිදී විමර්ශනයට ලක් විය.

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : "WR සහතිකයක වලංගු කාලය පරීක්ෂා කරන්නේ කොතැනින්ද?"
සාක්ෂිකරු : "WR කියා දිනයක් දමා තිබෙනවා. ඒ අනුව කටයුතු කරනවා."
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : "අදාළ ලිපිය නිකුත් කළ දින සිට සති දොළහකට වලංගු යැයි කියා තිබෙනවා. එය ප්‍රමාද වුනොත් මොකද වෙන්නේ?"
සාක්ෂිකරු : "භාර නොගෙන සිටිය හැකියි."

 

මෙහිදී තොග පාලන අංශය සහ ඉහළ කළමනාකාරීත්වය අතර පැවති සන්නිවේදන දුර්වලතා ද මතු කෙරිණි.

 

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : "spc v කැටගරිය දාපු ඔක්කොම MSD V කැටගරිය දැම්මද?"
සාක්ෂිකරු : "නැහැ"
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය : "7 චූදිත උපදෙස් දුන්නේ. spc V කැටගරිය හරි EO1 අනුව තෝර ගන්නයි."
සාක්ෂිකරු : "spc V වලට සමාන්තරව හැම එකටම MSD V දැම්මේ නැහැ... මට තාම පැටලිලා තියෙන්නේ ස්වාමීනී"

 

 

 

විනිසුරු මඩුල්ලේ මැදිහත්වීම: ව්‍යාකූලතා ලිහා ගැනීම

 

Magistrate/Probate Court | Elbert County Board of Commissioners

 


සාක්ෂිකරු විසින් ලිඛිත උපදෙස් සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ දේ අතර ඇති පරස්පරතා සම්බන්ධයෙන් අපහසුතාවයට පත්වන විට, විනිසුරුවරයා සෘජුවම කරුණු විමසා සිටියේය.

 

විනිසුරු : "ඔබ වැඩ කළේ 305 ලිපියට අනුවද?"
සාක්ෂිකරු : "මට පැටලුනා ස්වාමීනී, ලිපියට අනුව තමයි කටයුතු කළේ."
විනිසුරු : "තමන් තොග පාලන නිලධාරියෙක් නේද කොහෙද පැටලුණේ?"

 

 

මෙම මැදිහත්වීම මගින් අධිකරණය අපේක්ෂා කරනු ඇත්තේ රාජ්‍ය ආයතනයක තීරණාත්මක තනතුරු දරන නිලධාරීන් තම වගකීම් සහ ක්‍රියාපටිපාටීන් සම්බන්ධයෙන් සිටින ව්‍යාකූල තත්ත්වය හඳුනා ගැනීම විය යුතුය.

 

 

විත්තියේ ප්‍රතිතර්කය: මානව වරද ද? පද්ධතියේ බිඳවැටීම ද?

 

What is a Buffer Stock? Check Answers, Features & FAQs Here!

 


විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක සේරසිංහ ගේ හරස් ප්‍රශ්න ඇසීම මගින්, මෙම සමස්ත ක්‍රියාවලියම කෙතරම් යාන්ත්‍රිකව සහ අකාර්යක්ෂමව සිදුවී ඇත්ද යන්න අධිකරණය හමුවට ගෙන ආවේය. විශේෂයෙන්ම පද්ධතියේ දත්ත වෙනස් කිරීමට පහළ නිලධාරීන්ට ඇති සීමාවන් සහ වගකීමෙන් මගහැර ගිය නිලධාරීන් පිළිබඳව එහිදී අනාවරණය විය.

 

නීතිඥ : "ඕඩර් ලිස්ට් එකක් කියා එකක් තියෙනවා එය සැකසෙන්නේ කෙසේද?"
සාක්ෂිකරු : "පද්ධතියේ තොරතුරු මත"
නීතිඥ : "ඔබට හැකිද ඒවා වෙනස් කරන්න"
සාක්ෂිකරු : "බැහැ. ගොනුව වෙනස් කළ නොහැකියි. අපට සීමිත ප්‍රවේශයක් පමණයි ඇත්තේ."

 

 

එමෙන්ම ඖෂධ භාරගැනීමට සෘජුවම අදාළ නිලධාරියා නීතිය හමුවෙන් පලාගොස් ඇති බවද විත්තියේ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි විය.

 

 

නීතිඥ : "ප්‍රධාන තොග පාලන නිලධාරියා හැටියට මෙම ඖෂධ තොගය භාර ගැනීමට අදාළ නිලධාරියා කවුද කියන්න"
සාක්ෂිකරු : "මේකට අදාළ කස්තුරිසිංහ"
නීතිඥ : "ඔහු කොහෙද ඉන්නේ??"
සාක්ෂිකරු : "ඉන්න තැනක් දන්නෙ නෑ... සේවයට වාර්තා කළේ නැහැ"

 

ඊට අමතරව නිලධාරීන්ගේ පුහුණුව සම්බන්ධයෙන් වූ ඛේදනීය තත්ත්වයද මතු කෙරිණි.

 

නීතිඥ : "අලුතින් එන අයට රාජකාරී ගැන වෙනම පුහුණුවක් දෙනවද?"
සාක්ෂිකරු : "නැහැ අදාල ක්‍රියාවලිය කියාදෙනවා"
නීතිඥ : "ඔබේ අංශයේ ඇති සැපයීම හා බෙදා හැරීම ගැන පරිචය රෝහලකින් මාරුවී එන කෙනෙක් ළඟ තියෙනවද?"
සාක්ෂිකරු : "තාක්ෂණිකව නැහැ ස්වාමීනි. වෙනස්ම රාජකාරියක් නේ තියෙන්නේ. ඒකට හැඩ ගැහෙන්න ඕන. විශේෂිත පුහුණුවක් නැහැ."

 

 

ආයතනික අක්‍රමිකතාව සහ ප්‍රතිපත්තිමය රික්තය

 

Mandatory 'eight-week buffer stock' requirement not met by medicine  suppliers, reveals audit - The Pharmaceutical Journal

 


නව වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක යොමු කළ ප්‍රශ්න හරහා, ඖෂධ ගෙන්වීමේදී ස්වාරක්ෂක තොග (Buffer Stocks) පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කිසිදු ලිඛිත මාර්ගෝපදේශයක් නොතිබූ බව තහවුරු විය. 

 

නීතිඥ : "විවිධ නීති ලේඛන නිසා හදිසි ප්‍රසම්පාදනයක් මගින් ස්වාරක්ෂක තොග තබා ගැනීමට නොහැකි යැයි ඔබ හිතනවද?"
සාක්ෂිකරු : "ගැප් පුරවන්න නෙවෙයි හදිසි ප්‍රසම්පාදන කරන්නේ. සාමාන්‍ය ඇනවුම් හා අතිරේක ඇනවුම් ගන්න බැහැ."
නීතිඥ : "ලිඛිතව තැනක නැහැ නේද ස්වාරක්ෂක ක්‍රම වලට යන්න ක්‍රියාවලියක් ගැන?"
සාක්ෂිකරු : "ඒක ඉහළ පරිපාලනය ගතයුතු තීන්දුවක්."
නීතිඥ : "පුරුද්දක් ලෙස කරගෙන ආ එකක් මිස ලේඛන තබා කළ එකක් නොවෙයි."
සාක්ෂිකරු : "සෞඛ්‍ය සේවයේ කිසිම ගැටලුවක් වත් නැතිව පවත්වාගෙන ගිය ක්‍රමයක්."
නීතිඥ : "ලිඛිතව නැද්ද?"
සාක්‍ෂිකරු : "නැහැ"

 

 

මෙම දෙබස් ඛණ්ඩ මගින් මනාව ධ්වනිත වන්නේ, වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ තීරණ ගෙන ඇත්තේ විධිමත් ලිඛිත ප්‍රතිපත්ති රාමුවක් තුළ නොව, පුද්ගල අභිමතය සහ 'පුරුද්ද' මත බවයි.

 

 

අවසාන වශයෙන්, මෙම නඩු විභාගය අපට ලබාදෙන බරපතළම පණිවිඩය වන්නේ, බාහිර පාර්ශ්වයන්ට රිංගා යා හැකි තරමටම අපේ රාජ්‍ය යාන්ත්‍රණයේ දොරටු විවෘතව පැවති බවයි. ආයතනික පද්ධතිය ශක්තිමත්, විනිවිදභාවයෙන් යුක්ත සහ වගකීම් සහගතව ක්‍රියාත්මක වූවා නම්, හදිසි ආර්ථික අර්බුදයක මුවාවෙන් හෝ මෙවැනි ඛේදවාචකයක් නිර්මාණය වීමට කිසිදු ඉඩක් නොතිබූ බව නීතිය හමුවේ දැන් සනාථ වෙමින් පවතී.

 

ඉමියුනෝග්ලොබියුලින් නඩුව: අධිචෝදනා පත්‍රය අමතක කර පැමිණිල්ල වෙනත් මාවතක  යනවද?

නඩු වාර්තාව
2026/06/10

 

බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ නඩුවේ සාක්ෂි දීම සඳහා පැමිණිල්ල විසින් කැඳවූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ප්‍රධාන තොග පාලක එච්. එම්. ඩී. එන්. බණ්ඩාර පස් වැනි දිනටත් ඊයේ (10) කැඳවා තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ප්‍රධාන තොගපාලකවරයා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙසේ පැවසීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ප්‍රධාන තොග පාලක ඖෂධ තොග භාර ගැනීම කරනවද? සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: තොග භාර ගැනීම් කරන්නේ කවුද? සාක්ෂිකරු: තොග පාලන නිලධාරි. ඔහු නිර්දේශය සහකාර අධ්‍යක්‍ෂ වෙත යොමු කළාම, සහකාර අධ්‍යක්‍ෂ උපදෙස් මත භාරගන්නවා. නැත්නම් සහකාර අධ්‍යක්ෂ අත්සන් කළ පසු අදාළ අංශ වෙත ඉදිරි කටයුතු සඳහා යොමු කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ භාණ්ඩ භාර ගැනීමට නොයන්නේ ඇයිද? සාක්ෂිකරු: රාජකාරිමය වශයෙන් මට පැවරෙන එකක් නොවෙයි. ඒකයි සහභාගී නොවන්නේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: කවුරුවත් නොමැති ඇණවුමක් සක්‍රීය ඇණවුමක්ද? සාක්ෂිකරු: එම ඇණවුමේ තත්ත්වය ඖෂධ සංස්ථාවෙන් විමසා දැනගත හැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: පැ. 291 පිටු අංක 188 'V' කැටගරියේ ඇණවුමක් 2022 සැප්තැම්බර් 24 දා 00 603 205 අයිතමයට අදාළව දමා තිබෙනවා. මෙවැනි ඇනවුමක් ප්‍රොන්ටෝ පද්ධතිය තුළට මුදාහළ පසු ඉවත් කළ හැකිද? සාක්ෂිකරු: බැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එම ඇණවුම සක්‍රීය ද නැද්ද තීරණය කරන්නේ ඖෂධ සංස්ථාවෙන් අසා දැනගෙනද? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඔවුන් මොන අදියර වලින්ද එය තහවුරු කරන්නේ? සාක්ෂිකරු: ප්‍රසම්පාදිතද, තාක්ෂණිකද, ණයවර ලිපි විවෘත කරලද, ආදී පියවර වලින් තහවුරු කරගත හැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: එවැනි පියවරක නැත්නම් අක්‍රීයද? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පෙන්ඩින් (Pending) යටතේත් අයිතමයට අදාළ තොග සමග තැබීමක් අවශ්‍යද මේ තහවුරුවට? සාක්ෂිකරු: ඔව්, එය ඖෂධ සංස්ථාවෙන් ලබාගත හැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ පෙර කී වාර්ෂික ඇනවුම හා අතිරේක ඇනවුම අතර ගැප් එකක් දුටු විට එය සම්පූර්ණ කර ගැනීමට හදිසි ප්‍රසම්පාදන සිදු කරන බව ඔබ කීවා. පැ. 310 ගැනුම් ඇණවුම නිකුත් කරලා තියෙන්නේ ඔබ හඳුනාගත් ඇනවුමට අනුවද කියලා කියන්න. සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එය 2023 ජනවාරි 13 දා නිකුත් කර තිබෙනවා. සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 2023 ජනවාරි 23 වන විට 2500ක් ලබාදිය යුතු බවට සඳහන් යැයි ඔබ කීවා. ජනවාරි 23 වන විට එය සම්පූර්ණ විය යුතුයි. සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: පැ. 309 ට අනුව මෙම අයිතමය සැපයීම අංශයට ලැබුණු බවට සටහන දමා ඇත්තේ කවදාද? සාක්ෂිකරු: 5/16 දින.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: 309-1 සටහනට යටින් තව සටහනක් දාලා තියෙනවා. 'Reference above, priority, availability one month' යනුවෙන් ලියා ඇත්තේ කාටද? සාක්ෂිකරු: වෛද්‍ය කපිල වික්‍රමනායක විසින්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එහි නිල මුද්‍රාවක් තිබේද? සාක්ෂිකරු: ඔව්, අධ්‍යක්ෂ කාර්යාලයේ නිල මුද්‍රාවෙන් SPC 'V' orders ලැබෙන්නේ නැහැ කියා තහවුරුවක් තිබුණා. ඒ නිසා MSD 'V' කැටගරියෙන් දාන්න කිව්වා. තොග පාලන අංශයට ඇවිත් වාචිකව ප්‍රකාශ කළේ සහකාර අධ්‍යක්ෂකවරයායි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: 'V' කැටගරියෙන් දාපු ඖෂධ කීයක් තියෙනවද? සාක්ෂිකරු: 182 ක්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: MSD 'V' කැටගරියේ කීයක් තියේද? සාක්ෂිකරු: 158 ක් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: SPC 'V' කැටගරිය දාපු ඔක්කොම MSD 'V' කැටගරිය දැම්මද? සාක්ෂිකරු: නැහැ.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: දින තුනකදී ඇනවුම් කරන්න කියා ලිඛිතව උපදෙස් දුන්නා. දාන්න කියපු ඒවා දැම්මා. සාක්ෂිකරු: අනෙක් ඒවාට උපදෙස් දුන්නේ නැහැ ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ. 305 - 307 දක්වා ලිපිවල ඔබ අධිකරණයට කීවේ E06 ක්‍රමවේදය යටතේ තෝරා ගත් සැපයුම්කරුවන්ට ඕඩර්ස් දාන්න පුළුවන් කියලයි. සාක්ෂිකරු: SPC 'V' හැමතිස්සේම දාන්න කිව්වම, MSD 'V' එකට දාන්න කියා 7 වන චූදිත උපදෙස් දුන්නා. SPC 'V' දාපු 182 ම MSD තිබුණේ නැහැ. SPC 'V' එකෙන් දාපු අලුත් ඒවාට MSD 'V' දැම්මේ කොහොමද ඇහුවම උපදෙස් ලැබුණා කිව්වා. SPC 'V' ඕඩර්ස් වලට පැරලල් (Parallel) සහ EO1 ලිපියට අදාළවයි ඇනවූම ඉදිරිපත් කළේ.

විනිසුරු: ඔබ වැඩ කළේ 305 ලිපියට අනුවද? සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: එහෙම කියනවනම් කොතැනද එය සඳහන් කර තියෙන්නේ? සාක්ෂිකරු: SPC 'V' වලට පැරලල් දාන්න කිව්වම අමතරව ලිපියකින්ද දන්වා තිබුණු පරිදි කටයුතු කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ලිපියට අනුව කටයුතු කළා නම් කොහෙද තියෙන්නේ 'SPC V සමානයි MSD V' කියලා? සාක්ෂිකරු: මට පැටලුනා ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 305 - 307 දක්වා ලිපියෙන් ලිඛිතව එහෙම දැනුම් දී නැහැ. සාක්ෂිකරු: මට පැටලුණා. ලිපියට අනුව තමයි කටයුතු කළේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 7 වන චූදිත උපදෙස් දුන්නේ, SPC 'V' කැටගරිය හරි EO1 අනුව හරි තෝර ගන්නයි. සාක්ෂිකරු: SPC 'V' වලට සමාන්තරව හැම එකටම MSD 'V' දැම්මේ නැහැ. මට තාම පැටලිලා තියෙන්නේ ස්වාමීනි.

විනිසුරු: තමන් තොග පාලන නිලධාරියෙක් නේද? කොහෙද පැටලුණේ? නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: 7 චූදිත උපදෙස් දුන්නේ SPC 'V' ට සමාන්තරව දාන්න. නැත්නම් EO1 සමාන්තරව දාන්න. ඒ නිසයි EO1 දැම්මේ කිව්වා. සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 134 ලේඛනයේ 190 පිටු අංකය... මෙම ලේඛනය කුමක්ද? සාක්ෂිකරු: WR (Waiver of Registration) එකක්.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබට ඡායාස්ථ පිටපත් එනවා කියලා ඔබ කීවා. EO1 ප්‍රසම්පාදන යටතේ තිබියදී ඔබ එසේ භාර ගත්තද? සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ලියාපදිංචි කාලය තුළ තොග සැපයීම පරීක්ෂා කරනවද? සාක්ෂිකරු: ලියාපදිංචි කාලය තුළ තොගය ආනයනය කළාද කියා තහවුරු කර ගන්නවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: WR සහතිකයක වලංගු කාලය පරීක්ෂා කරන්නේ කොතැනින්ද? සාක්ෂිකරු: WR එකේ දිනයක් දමා තිබෙනවා. ඒ අනුව කටයුතු කරනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒ 134 ලේඛනයේ කොතැනද? සාක්ෂිකරු: පහළට MB කියා තිබෙන තැන.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: අදාළ ලිපිය නිකුත් කළ දින සිට සති දොළහකට වලංගු යැයි කියා තිබෙනවා. එය ප්‍රමාද වුණොත් මොකද වෙන්නේ? සාක්ෂිකරු: භාර නොගෙන සිටිය හැකියි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ හැදූ ලේඛනයක් මේ '229 E' කියා ලකුණු කර තියෙනවා. එය 2022/9/24 හදලා තියෙන්නේ. ඔබ එදින ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුල් කළේ අයිතම ලැයිස්තුවේ මසකට අඩු ඒවාද? සාක්ෂිකරු: ඒ ඒ දිනයන්හි ප්‍රමුඛතා ලැයිස්තුවේ 1 හා 2 ඒවායි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: පැ. 260 හි අයිතම 182 ට සමානද 2022 සැප්තැම්බර් 22 ට හැදූ ලැයිස්තුව? සාක්ෂිකරු: තොග ලැයිස්තුවල ප්‍රමුඛතා සහ කාණ්ඩවලට අයත් අයිතම 3 කුත් ඒ තුළ තිබෙනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ඊ 61 ලේඛනයේ පිටු අංක 20 - 28 පිටු හඳුනා ගත හැකිද? සාක්ෂිකරු: පුළුවන්. මේ ලේඛන සතිපතා දුරකථන ඇමතුම් මගින් ජනාධිපති ලේකම් කාර්යාලය හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා කරනවා. ඊමේල් ද යවනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ප්‍රොන්ටෝ පද්ධතියමද මේකත් කරන්නේ? සාක්ෂිකරු: රිපෝට් (report) එක ඩවුන්ලෝඩ් (download) කරගෙන, එක්සෙල් (Excel) වලට කොපි පේස්ට් කරගෙන අරන් ඇස්තමේන්තු ඇතුළු කරුණු ලබා ගන්නවා. 387 ක් වන තොග ලැයිස්තුවට ගන්නවා.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය: එය මාස තුනකට දාපු ලැයිස්තුවක්. සාක්ෂිකරු: ඔව් ස්වාමීනි. මාස 3කට අඩු MSD ඒවා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: 10/24 දින වන විට 301 සිට 317 දක්වා තිබෙන මාස තුනට අඩු ලැයිස්තු, මේ අයිතම විෂයෙහි ප්‍රසම්පාදන සිදුව ඇද්ද නැද්ද යන්න ගැන අවධානය යොමු කරලා තිබෙනවද නැද්ද කියන එකයි මම අහන්නේ? සාක්ෂිකරු: අයිතම සලකා බැලුවා මිස එහෙම බැලුවේ නැහැ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: තහවුරුවක් නැති පදනම මත සකස් කළේත් එවැනි ලැයිස්තුවක්ද? සාක්ෂිකරු: ඔව්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය: ප්‍රමුඛතා ලැයිස්තුවේ හැම ඖෂධයකටම SR අංකයක් තියෙනවා. ඖෂධ 317 ක් තියෙනවා පේනවද? සාක්ෂිකරු: ඔව්.

සාක්ෂි විමසීම අවසන් කළ අතර 5 වන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අශෝක සේරසිංහ මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

නීතිඥ: ඖෂධවේදීන් ලෙස තොග පාලන නිලධාරීන්ට රාජකාරි ලැයිස්තු දී තිබේද? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: (රාජකාරී ලැයිස්තුවක් පෙන්වයි) ඔබ පස්වන විත්තිකරු හඳුනා ගත්තා. මේ ලැයිස්තුව ඔහුට අදාළද? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: ප්‍රසම්පාදන කටයුතු ගැන ඔහු කටයුතු කළාද? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: ප්‍රසම්පාදන කටයුතු SPC නේද කරන්නේ? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: භාණ්ඩ ලබාගැනීම සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්නවලදී හුදෙකලාව තීන්දු ගන්න තොග පාලක වශයෙන් ඔබට පුළුවන්ද? සාක්ෂිකරු: එවැනි ප්‍රශ්න වලදී ඉහළ නිලධාරීන්ට ගැටලුව ඉදිරිපත් කරනවා.

නීතිඥ: 5 V 1 රාජකාරී ලැයිස්තුව තුළ WR ලේඛන ගැන විශ්ලේෂණය කරන්න අවධානය යොමු වෙලා තියෙනවද? සාක්ෂිකරු: නැහැ.

නීතිඥ: 5 V 2 ලේඛනය නැවත චක්‍රලේඛයක් මගින් තොග පාලක නිලධාරීන්ට දුන් WR ලේඛන ගැන එහි සඳහන්ද? සාක්ෂිකරු: අයිතමය activate කරද්දි සඳහන් කළ යුතුයි කියා තියෙනවා.

නීතිඥ: WR සහතිකය පරීක්ෂා කර බැලිය යුතුය කියන වගකීම තොග පාලන නිලධාරීන්ට තියෙනවද නැද්ද? සාක්ෂිකරු: කලින් දීලා තිබුණේ නැහැ ඒ උපදෙස්.

නීතිඥ: ඇයි විශේෂ කරලා එහෙම උපදෙස් දීල නැත්තේ? සාක්ෂිකරු: පරීක්ෂා කර බලන්න කියලා කියා තිබෙනවා.

නීතිඥ: භාණ්ඩ භාර ගැනීමේදී නිර්වද්‍යතාවය බලනවාද? සාක්ෂිකරු: නිර්වද්‍යතාවය බලන්න කිසිවක් නැහැ.

නීතිඥ: මේ නඩුව ගැන ඔබ දන්නවා නේද? සාක්ෂිකරු: ඔව්, ඖෂධ වර්ග 2 ක්; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටක්සිමැබ්.

නීතිඥ: නඩුවේ චූදිතයින් වැඩිපුර ඉන්නේ ඔබ හා සේවය කළ නිලධාරීන් හා සේවකයන්? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: NMRA තාක්ෂණික ලේඛන ගැන තොග පාලන නිලධාරීන්ට වැඩ මුළුවක් පැවැත්වුවද? සාක්ෂිකරු: ඔව් 2023 දී පැවැත්තුවා.

නීතිඥ: ඇයි ඒක පැවැත්තුවේ? සාක්ෂිකරු: අපට WR එකක් බලන්නෙ කොහොමද කියා දැනුම දෙන්න.

නීතිඥ: වැඩ මුළුව පැවැත්වුණේ 2023 දී. දිනය මතක නැද්ද? සාක්ෂිකරු: එම වැඩ මුළුවට සහභාගී වෙන්න කියා ලියුමක් ආවා.

නීතිඥ: එහි පැමිණීමේ ලේඛනයක් තියෙනවා. ඔබත් ඊට සහභාගී වෙලා, අංක 22 යටතේ නම තිබෙනවා. සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: පැ. 5 V 3 ලේඛනයේ වැඩමුළුවට සහභාගි වූ අය අතර 5 වන චූදිතගේ නමත් තිබේද? සාක්ෂිකරු: තිබෙනවා.

නීතිඥ: ඔහු සහභාගි වුණා කියා අත්සන් කර තිබේද? සාක්ෂිකරු: අංක විසි නමය යටතේ අත්සන් කර තිබෙනවා.

නීතිඥ: දැන් ඔබට WR ගැන අවබෝධයක් තිබෙනවාද? සාක්ෂිකරු: අපට එම අවබෝධය ලබා දුන්නා.

නීතිඥ: පැ. 134 කියන්නේ WR ලේඛනයක්ද? සාක්ෂිකරු: ඔව්, WR ලේඛනයක්.

නීතිඥ: NMRA වෙතින් කාගෙන් කාට යොමු කරන එකක්ද? සාක්ෂිකරු: NMRA වෙතින් ආනයන අපනයන පාලක වෙත යොමු කරන එකක්.

නීතිඥ: පැ. 134 ලේඛනය පුද්ගලික ආයතනයකට නිකුත් කරන එකක්. කාටද මේක නිකුත් කර තියෙන්නේ? සාක්ෂිකරු: අයිසොලෙස් බයෝ ෆාමා.

නීතිඥ: මුල් පිටපත කාටද දෙන්නේ? සාක්ෂිකරු: අදාළ සැපයුම්කරුවාට.

නීතිඥ: සැපයුම්කරුද ආනයන අපනයන පාලකටද දෙන්නේ? සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: රේගුවේදී භාණ්ඩ නිදහස් කළ පසු බලපත්‍රයට මොකක්ද දෙන්නේ? සාක්ෂිකරු: නිෂ්කාශනය වූ පසු ආයතනයට බලපත්‍රය ලබා දෙන්නේ සමාගම මගින්.

නීතිඥ: SPC 'V' කැටගරිය වෙනුවට MSD 'V' කැටගරිය කොයි කාලේ ආපු එකක්ද? සාක්ෂිකරු: විශේෂ අවස්ථාවකදී ආ එකක්.

නීතිඥ: කොයි කාලෙද? සාක්ෂිකරු: 2022 සැප්තැම්බර් අග.

නීතිඥ: ඇයි ඒක ආවේ? සාක්ෂිකරු: ඒ කාල වකවානුවේ පැවැති රැස්වීම් වල ගත් තීරණයක් ලෙස ආ එකක්.

නීතිඥ: එවකට රටේ විශේෂ තත්ත්වයක් තිබුණාද? සාක්ෂිකරු: ඉන්දියානු ණය යෝජනා ක්‍රමය ආ අවස්ථාවේ රටේ ආර්ථික ගැටලුවක් තිබුණා. ඒ අනුව MSD 'V' කැටගරිය ආවා. මෙහිදී ඒ ක්‍රියාවලිය කළේ ICL යටතේ. මුලින් ICL වලට ආවේ 'X' කියලා එකක්. පසුව විශේෂිත ක්‍රමයක් කියලා MSD 'V' ගෙනාවා.

නීතිඥ: ප්‍රසම්පාදනයේ ආස්ථිතිය කවුද? සාක්ෂිකරු: රාජ්‍ය අමාත්‍යාංශය කියලයි අපි දැනුවත් වුණේ.

නීතිඥ: ඒක අහෝසි වුණානේ. තවදුරටත් 'V' කැටගරිය ඔස්සේද භාණ්ඩ ගෙන්නුවේ? සාක්ෂිකරු: සෞඛ්‍ය අමාත්‍යාංශය ඔස්සේ කියලා හිතනවා.

නීතිඥ: ප්‍රධාන තොග නිලධාරී වෙලත් ඔබ දන්නේ නෑ කියලද කියන්නේ? සාක්ෂිකරු: ඔව් දන්නේ නෑ.

නීතිඥ: සැපයුම්කරුවන්ගෙන් MSD ඔස්සේ බඩු ගෙන්වන ඔබලා මෙහි කොටස්කාරයෝ නොවෙයිද? ඒවා ප්‍රසම්පාදනය වෙන්නේ කොහෙන්ද? සාක්ෂිකරු: අවශ්‍ය අයිතම වලට අදාළ ඇණවුම දීම අපි කරනවා. එහෙම නැතිව අපි මැදිහත් වෙන්නේ නැහැ.

නීතිඥ: ප්‍රසම්පාදිත භාණ්ඩ ආවාම රාජකාරී කටයුතු කරන්නේ මොන නිලධාරියාද? සාක්ෂිකරු: තොග පාලන නිලධාරි.

නීතිඥ: ප්‍රසම්පාදනයක් කරන්න කලින් ඔබෙන් විමසා භාණ්ඩ ලැයිස්තුවක් හදනවා. ඊට අදාළ තොරතුරු ගන්නේ තොග පාලන නිලධාරී නේද? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: (පැ. 308 ලේඛනය පෙන්වයි) මෙය තොග පාලන නිලධාරී විසින් අයිතමය ගැන දෙන මූලික කරුණු. සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: පැ. 299 කියා ලේඛනයක් තියෙනවා. අදාළ භාණ්ඩ නිකුත් කරන්න හේතු වූ ලිපිය තියෙනවා. සාක්ෂිකරු: ඔව්.

නීතිඥ: පැ. 360 යටතේ සියලු තොරතුරු තොග පාලන නිලධාරී විසින් ඉහළ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඔහු කෙසේද එය කරන්නේ? සාක්ෂිකරු: පරිගණක පද්ධතිය ඔස්සේ.

නීතිඥ: ඕඩර් ලිස්ට් (Order List) එකක් කියා එකක් තියෙනවා එය සැකසෙන්නේ කෙසේද? සාක්ෂිකරු: පද්ධතියේ තොරතුරු මත.

නීතිඥ: ඔබට හැකිද ඒවා වෙනස් කරන්න? සාක්ෂිකරු: බැහැ. ගොනුව වෙනස් කළ නොහැකියි. අපට සීමිත ප්‍රවේශයක් පමණයි ඇත්තේ.

නීතිඥ: පැ. 291 මගින් ඇනවුම් ලැයිස්තුවක් ඉදිරිපත් කරලා. ඒ මොනවද? සාක්ෂිකරු: හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්.

නීතිඥ: පැ. 309 බලන්න. භාණ්ඩ තොගය ඔබට ලැබුණ පසු දෙන ලේඛනයක්ද මේ? සාක්ෂිකරු: භාණ්ඩ ලැබුණ පසු ඉදිරිපත් කරන ලේඛණය.

නීතිඥ: මුලින් එන්නේ ගොනුව. ඖෂධවේදියා ගොනුව පරීක්‍ෂා කර තීරණයක් ගන්නවා. මේ එම ලේඛණයද? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි, පරීක්ෂාවේදී සෑහීමකට පත්විය හැකි නම් ඉහළට යොමු කළ හැකියි.

නීතිඥ: එහෙම නැතිව තොග පාලන නිලධාරීට භාර ගත නොහැකිද? සාක්ෂිකරු: සහකාර අධ්‍යක්ෂ අත්සන් කළාමයි සුදුසු තොගයක් වන්නේ.

නීතිඥ: 309 සටහනේ තොරතුරු ගණන් දීලා තිබෙනවා. ඒකේ එක තැනක 'delivery date has been expired' කියලා තියෙනවා. සාක්ෂිකරු: ඇනවුම් දිනය ප්‍රමාද වීම් සඳහන් කර තිබෙනවා. දින ඉකුත් වීමක් සිදුවුවහොත් ඉහළට දන්වනවා. ඉන් පසු ඉහළ නිලධාරීන්ගෙන් එන තීරණ මත කටයුතු කරනවා.

නීතිඥ: ඉහළ නිලධාරීන් නියෝග දෙනවද? පරිගණක තිරය මත රඳවා ඇති දත්ත සටහන් කරද්දී, සිදු වූ මානව වරදක් වෙන්න බැරිද මේක? සාක්ෂිකරු: එය ඒ පුද්ගලයා පමණයි දන්නේ.

නීතිඥ: මේ කාර්යය පටිපාටියට යම් වරදක් සිදුව ඇත්ද? සාක්ෂිකරු: ක්‍රියා පිළිවෙතට බාධා වෙලා නැහැ. අංකය පමණයි වෙනස්.

නීතිඥ: මේ වැරදි අංකය ඉහළ නිලධාරීන්ට ගියාම, ඉහළ නිලධාරීන්ටත් පරිගණක පද්ධතියට ඇතුල්වී බැලිය හැකියි. සාක්ෂිකරු: මේ රිටක්සිමැබ්.

නීතිඥ: ප්‍රධාන තොග පාලන නිලධාරියා හැටියට මෙම ඖෂධ තොගය භාර ගැනීමට අදාළ නිලධාරියා කවුද කියන්න? සාක්ෂිකරු: මේකට අදාළ කස්තුරිසිංහ.

නීතිඥ: තොග පාලන නිලධාරීන් ලෙස මේ තොගය භාර ගැනීමට අදාළ නිලධාරීන් කවුද? 5 වන විත්තිකරු මේකට සම්බන්ධද? සාක්‍ෂිකරු: මේකට අදාල වන්නේ කස්තුරිසිංහයි.

නීතිඥ: ඔහු කොහෙද ඉන්නේ? සාක්ෂිකරු: ඉන්න තැනක් දන්නෙ නෑ.

නීතිඥ: ඉල්ලා අස්වෙලාද? සාක්ෂිකරු: සේවයට වාර්තා කළේ නැහැ.

නීතිඥ: වෛද්‍ය සැපයුම් අංශයේ අවුරුදු කීයක් වැඩ කළාද? සාක්ෂිකරු: තුන හතරක්.

නීතිඥ: වෛද්‍ය සැපයුම් ඒකකයේ කිහිප දෙනෙකුගෙන් සී.අයි.ඩී. ය (CID) ප්‍රශ්න කළා. කස්තුරිසිංහගෙනුත් ප්‍රශ්න කළාද? සාක්ෂිකරු: ඔහු ලංකාවෙත් නැහැ කියාවි.

නීතිඥ: රිටක්සිමැබ් ප්‍රශ්න ගත ඖෂධ දෙකෙන් එකක්. ඔබ දන්නවද ඒකෙන් වුණ අලාභය? සාක්ෂිකරු: මතක නැහැ.

නීතිඥ: ඔබේ අංශයේ අක්‍රමිකතාවක් වෙලා තියෙනවා. දළ වශයෙන් කියන්න බැරිද පාඩුව කොපමණද කියා? සාක්ෂිකරු: මම සංඛ්‍යාත්මකව දන්නේ නැහැ.

නීතිඥ: මේ ඖෂධ දෙකෙන් වඩා මිල අධික කොයි එකද? සාක්‍ෂිකරු: රිටක්සිමැබ් අඩුයි.

නීතිඥ: මේ නඩුවට අදාළ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වයල් කීයක් බාර දීලද? සාක්ෂිකරු: 3000ක්.

නීතිඥ: රිටක්සිමැබ් කොච්චර දීලද? සාක්ෂිකරු: 2000 ක් පමණ.

නීතිඥ: දැනුවත් නැද්ද සිද්ධවුණ පාඩුව ගැන කියන්න? සාක්ෂිකරු: මට තොරතුරු ඇතුල් කරන්න බැහැ.

නීතිඥ: තොරතුරු ඇතුල් කරන්නේ කවුද? සාක්ෂිකරු: ගබඩා ලිපිකරු.

නීතිඥ: දත්ත උඩුගත වන්නේ ඔබේ දැනුමින් නෙවෙයිද? සාක්ෂිකරු: නැහැ ස්වාමීනි. තොග තත්ත්වයන් GRN හරහා උඩුගත වන්නේ මා හරහා නෙවෙයි. නමුත් මට ඒක බලන්න පුළුවන්.

නීතිඥ: ඔබ විශ්වාස කරනවා ප්‍රොන්ටෝ හරි කියලා. රසායනාගාර දත්ත වලට වඩා සංයුක්ත තැටියක්ද සකස් වෙලා තියෙනවා. සාක්ෂිකරු: පසුගිය දත්ත එක් කරගෙන එයින් ලේඛනයක් හදාගෙන තියෙනවා. ඊට මම සම්බන්ධ නැහැ.

නීතිඥ: ප්‍රශ්න වලට පිළිතුරු ලෙස ඔබ එම දත්ත නැහැ කියාවි. සාක්ෂිකරු: නැහැ ස්වාමීනි. මම ඒ දත්ත දෙස බලා විග්‍රහයක් කළා.

නීතිඥ: ඔබට ප්‍රොන්ටෝ විශ්වාසයි. P 20 7 කියන්නේ රස පරීක්ෂක හැදූ වාර්තාවක්. සාක්ෂිකරු: එයා අධිකරණයට ඉදිරිපත් කළ එකක්. පරිගණක දත්ත මත එය සකසා ඇති.

නීතිඥ: ඔබ කළේ දුටු දේ විග්‍රහ කිරීමයි. ජාතික තොග පද්ධතිය කියන්නේ MSD එක. අඛණ්ඩව සංඛ්‍යාත්මකව පවත්වාගෙන යන එකක්ද? මම යෝජනා කරනවා රෝහල් දත්ත සහ MSD දත්ත එකතු කර එන ඒවා බවට. සාක්ෂිකරු: පරිගණක පද්ධතිය තමයි නිරීක්ෂණය කරන්න ඕන.

නීතිඥ: MSD තොග තත්ත්වය ගැන ඔබට තහවුරුවක් තිබේද? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: බාහිර තැන් ගැන ඔබට පෞද්ගලික තහවුරුවක් නැහැ. සාක්ෂිකරු: එය පරිගණක පද්ධතිය තුළ ඇති එකක්.

නීතිඥ: කලින් ඔබ කිව්වා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාවක් බව. සාක්ෂිකරු: මම අධිකරණයට ඉදිරිපත් කළා. නිවැරදිතාව දන්නේ නැහැ.

නීතිඥ: ඒ දත්ත ගැන ඔබ පිළිතුරු දුන්නා. සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: තොගයක කල් ඉකුත් වීම සැකය මත තුඩු දුන් විට, මේ ඉලක්කය තුළ එය පේන්න නැහැ. සාක්ෂිකරු: ඔව්, එහෙම සංඛ්‍යාත්මකව ඒක පෙන්නලා නැහැ.

නීතිඥ: ශේෂව ඇති සංඛ්‍යා විතරයි ඔබ දුටුවේ? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: තොග තිබුණට ඖෂධ සඳහා භාවිතා කළ හැකි ඒවා වෙනම බැලිය යුතුයි නේද? සාක්ෂිකරු: එහෙම වෙන් කරලා තිබුණේ නැහැ.

නීතිඥ: විවිධ තැන්වල ඉඳලා ඖෂධවේදීන් ඔබේ තැනට එනවා. සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: අලුතින් එන අයට රාජකාරී ගැන වෙනම පුහුණුවක් දෙනවද? සාක්ෂිකරු: නැහැ අදාළ ක්‍රියාවලිය කියාදෙනවා.

නීතිඥ: පුහුණු කාලය කියලා එකක් නැද්ද? සාක්ෂිකරු: විශේෂිතව නැහැ.

නීතිඥ: ඔබේ අංශයේ ඇති සැපයීම හා බෙදා හැරීම ගැන පරිචය රෝහලකින් මාරුවී එන කෙනෙක් ළඟ තියෙනවද? සාක්ෂිකරු: තාක්ෂණිකව නැහැ ස්වාමීනි. වෙනස්ම රාජකාරියක් නේ තියෙන්නේ. ඒකට හැඩ ගැහෙන්න ඕන. විශේෂිත පුහුණුවක් නැහැ.

නීතිඥ: NMRA ලේඛන යනු තාක්ෂණික ලේඛනයි. ඒ ගැන පුහුණු කරන වැඩ මුළු පැවැත්තුවා. නමුත් අලුතින් එහි එන තොග පාලන නිලධාරීන්ට NMRA ලේඛන ගැන දැනුමක් දෙනවද? සාක්ෂිකරු: තියෙන දැනුම අනුව අනෙක් අයගෙන් ඉගෙන ගන්නවා.

නීතිඥ: අදාළ තොග පාලන හෝ අදාළ සහකාර අධ්‍යක්ෂ ඉන්නවද රිටක්සිමැබ් සඳහා යොමු කරන? සාක්ෂිකරු: වන්නිආරච්චි මහත්මා.

නීතිඥ: සැපයුම්කරු ගැන තීරණයක් ගන්න තොග පාලන නිලධාරීන්ට බැහැ නේද? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රහුල් ජයතිලක මහතා ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.

නීතිඥ: (පැ. 143 ගොනුවේ පැ. 229 E III පෙන්වයි) සාක්ෂිකරු: මෙය ප්‍රමුඛතා ලැයිස්තුවක් මම හැදුවේ.

නීතිඥ: එය දසවන විත්තිකරුට ඊමේල් කළාද? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: ඉහළ නිලධාරියෙකුගේ නියෝගයෙන්ද? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.

නීතිඥ: විවිධ නීති ලේඛන නිසා හදිසි ප්‍රසම්පාදනයක් මගින් ස්වාරක්ෂක තොග තබා ගැනීමට නොහැකි යැයි ඔබ හිතනවද? සාක්ෂිකරු: ගැප් පුරවන්න නෙවෙයි හදිසි ප්‍රසම්පාදන කරන්නේ. සාමාන්‍ය ඇනවුම් හා අතිරේක ඇනවුම් ගන්න බැහැ.

නීතිඥ: මේක මාර්ගෝපදේශවල තියෙන එකක්ද? සාක්ෂිකරු: එහෙම ලියල නැහැ.

නීතිඥ: ලිඛිතව තැනක නැහැ නේද ස්වාරක්ෂක ක්‍රම වලට යන්න ක්‍රියාවලියක් ගැන? සාක්ෂිකරු: ඒක ඉහළ පරිපාලනය ගතයුතු තීන්දුවක්.

නීතිඥ: පුරුද්දක් ලෙස කරගෙන ආ එකක් මිස ලේඛන තබා කළ එකක් නොවෙයි? සාක්ෂිකරු: සෞඛ්‍ය සේවයේ කිසිම ගැටලුවක් වත් නැතිව පවත්වාගෙන ගිය ක්‍රමයක්.

නීතිඥ: ලිඛිතව නැද්ද? සාක්‍ෂිකරු: නැහැ.

නීතිඥ: ඔය ක්‍රමවේදය හැදීමේ බලයක් තියෙනවද? සාක්ෂිකරු: තියෙනවා. එය මට පැහැදිලි කළ හැකියි.

නඩුව 11 වැනි දින යළි විභාගයට ගැනීමට නියමිතය.

 

 

නවතම ලිපි