(2026 ජූනි 08 දිනැති නඩු වාර්තාව ඇසුරින් කෙරෙන විචාරාත්මක මාධ්‍ය විශ්ලේෂණයකි)
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයතනික වගවීම සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන්
තීරණාත්මක සන්ධිස්ථානයක් සලකුණු කරන 'ප්‍රමිතියෙන් තොර ඖෂධ' (හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්) ගෙන්වීමේ නඩු විභාගය කෙරෙහි මේ වන විට සමස්ත සමාජයේම දැඩි අවධානයක් යොමු වී තිබේ. පසුගිය ජූනි 08 වැනිදා තෙවන දිනටත් වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන තොග පාලක හේරත් මුදියන්සේලාගේ ධනේශ් බණ්ඩාර මහතාගෙන් සාක්ෂි සටහන් කර ගැනීම එහිදී සිදුවිය.
මාධ්‍යයක් ලෙස අපගේ කාර්යභාරය වන්නේ අධිකරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොවන අයුරින්, එහෙත් මහජන යහපත උදෙසා නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විමසිලිමත් වීමයි. මෙම නඩු වාර්තාව ඇසුරින් මනාව පෙනී යන්නේ, රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදු වූවා යැයි කියන මෙවැනි සංකීර්ණ මහා පරිමාණ දූෂණයක් නෛතිකව ඔප්පු කිරීමේදී මතු වන ව්‍යුහාත්මක සහ තාක්ෂණික අභියෝගයන් ය.

තාක්ෂණික සාක්ෂි කළමනාකරණය සහ විත්තියේ විරෝධතා
නඩු විභාගයේ ආරම්භක අවස්ථාවේදීම අවධානය දිනා ගන්නා නෛතික තර්කය ගොඩනැගෙන්නේ, රජයේ රස පරීක්ෂකවරයා ප්‍රමුඛ කමිටුවක් විසින් සකසන ලද ඖෂධ දත්ත ඇතුළත් සංයුක්ත තැටියක් (CD) තිරයක ප්‍රදර්ශනය කරමින් තොග පාලකවරයාගෙන් සාක්ෂි විමසීමට යාමේදීය.
මෙහිදී විත්ති පාර්ශ්වයේ නීතිඥ රහුල් ජයතිලක විසින් මතු කළ විරෝධය නීතිමය දෘෂ්ටිකෝණයකින් ඉතා වැදගත් වේ.
"මෙම සාක්ෂිකරුගෙන් එම වාර්තාවේ දත්ත ගැන විමසිය නොහැක. ඔහු හෝ කිසිවෙක් මීට පෙර එය දැක නෑ. සංයුක්ත තැටියක ඇති දත්ත ප්‍රදර්ශනය කර ඒ ගැන ඇසූ විට ඔහු පවසන්නේ කුමක්ද?"
මෙම තර්කය පිටුපස ඇත්තේ ලේඛන සහ දත්ත සනාථ කිරීම පිළිබඳ සාක්ෂි නීතියේ මූලධර්මයි. ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම පෙන්වා දෙන්නේ, සාක්ෂි ආඥා පනතේ 120 වගන්තිය යටතේ සාක්ෂිකරුට 'දත්ත මත රඳා පවතිමින්' සාක්ෂි දිය හැකි බවයි.
මෙහිදී විනිසුරු මඩුල්ලේ සභාපති ප්‍රියන්ත ලියනගේ විනිසුරුවරයා ලබා දුන් තීරණය නම්‍යශීලී මෙන්ම ප්‍රායෝගික එකකි. අදාළ දත්ත 'ප්‍රොන්ටෝ පද්ධතියෙන්' (Pronto System) ලබාගෙන ඇති බැවින්, එම දත්තවල රහස්‍යභාවය සහ පැවැත්ම තහවුරු කිරීමට වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලන නිලධාරියෙකුට හැකියාව ඇති බව අධිකරණය තීරණය කළේය. ඒ අනුව, සාක්ෂිකරු තමන්ට අදාළ විෂය පථය (තොග පාලනය) තුළ පමණක් එම දත්ත කියවා තහවුරු කළ යුතු බවට සීමා පැනවීම හරහා, තාක්ෂණය සහ නීතිය අතර ගැටුම ප්‍රායෝගිකව සමථයකට පත් කෙරිණි.

පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම: ක්‍රමවේදයේ ප්‍රායෝගික අභියෝග
සංකීර්ණ සුදු කරපටි අපරාධයක (White-collar crime) ව්‍යුහය ලිහා බැලිය යුත්තේ තොරතුරු හා දත්ත තර්කානුකූලව එකිනෙක ඈඳීමෙනි. එහෙත් නඩු වාර්තාවේ දැක්වෙන දෙබස් අනුව, පැමිණිල්ලේ ප්‍රශ්න කිරීම් මාලාව බොහෝ දුරට සාමාන්‍ය දෛනික තොග යාවත්කාලීන වීම් (Inventory updates) තහවුරු කරගැනීමට පමණක් සීමා වී ඇති බවක් පෙනෙන්නට තිබේ. පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීමේදී මතු වන ප්‍රධාන දුර්වලතා කිහිපයක් පහත පරිදි හඳුනාගත හැක.

දත්ත කියවීමේ ඒකාකාරී බව
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් අසන්නේ,
"2022 සැප්තැම්බර් 24, 5745 ක් වූ අගය ඔක්තෝම්බර් 20 වන විට 10688ක් බවට පත් වෙනවා... එක දිනයකින් වැඩි වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න"
යනුවෙනි.
ඊට සාක්ෂිකරු දෙන පිළිතුර වන්නේ, අලුත් තොග පද්ධතියට ඇතුළත් කළ විට සංඛ්‍යාත්මක අගය වැඩිවන බවයි. නව තොගයක් ඇතුළත් කළ විට අගය ඉහළ යාම අතිශය සාමාන්‍ය පරිපාලනමය සත්‍යයකි. රජයේ අධික පිරිවැයක් සහ වටිනා අධිකරණ කාලයක් වැය වන මෙවැනි නඩුවකදී, දත්ත පේළියෙන් පේළියට කියවා තහවුරු කරගැනීමට වඩා, සමස්ත දත්ත විශ්ලේෂණ වාර්තාවක් (Data Analytics Summary) මඟින් ඖෂධ ගෙන්වීමේ රටාවේ පැවති අසාමාන්‍යතා (Anomalies) අධිකරණයට ගෙන ඒම වඩාත් ඵලදායී වේ.
විශ්ලේෂණාත්මක හිඩැස්
ප්‍රශ්න කිරීම් අතරතුර සාක්ෂිකරු ප්‍රකාශ කරන එක් වැදගත් කරුණක් වන්නේ, "පද්ධතිය තුළ තියෙන අගයත් නොවෙනස්ව පවතින්නේ කල්ඉකුත් වූ හෝ බාල ඖෂධ තෝරා රඳවා ගනු ලැබූ අවස්ථාවලයි" යන්නයි. මෙම පිළිතුර ඔස්සේ ප්‍රශ්න කිරීම තවදුරටත් ගැඹුරට මෙහෙයවා, රඳවාගත් ව්‍යාජ ඖෂධ කාණ්ඩ සහ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අතර සෘජු සම්බන්ධය මතුකර ගැනීමට පැමිණිල්ලට මීට වඩා පුළුල් උපායමාර්ගික අවකාශයක් තිබිණි.
හදිසි ප්‍රසම්පාදන තර්කය මඟහැරීම
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එක්තරා ඖෂධයක් සම්බන්ධයෙන්, "මෙය හදිසි ප්‍රසම්පාදනයක් කළ යුතු තත්ත්වයක් ද?" යැයි අසන ප්‍රශ්නයට සාක්ෂිකරු "නැත ස්වාමීනී" යැයි එකවර පිළිතුරු දෙයි (එම අවස්ථාවේ මාස 11කට ප්‍රමාණවත් තොග පැවතී ඇත). මෙය පැමිණිල්ලට අතිශය වාසිදායක සහ තීරණාත්මක පිළිතුරකි. අවශ්‍යතාවයක් නොමැතිව හදිසි මිලදී ගැනීම් කර ඇත්තේ මන්ද යන ප්‍රබල තර්කය ගොඩනැගීමට මෙවැනි සාක්ෂි කදිම පදනමක් සපයන නමුදු, එය ප්‍රමාණවත් තරම් ප්‍රබලව අධිකරණය ඉදිරියේ ස්ථාපිත කරනු නොපෙනේ.

මෙම නඩු විභාගය නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය සැපයුම් අංශය වැනි දැවැන්ත ආයතනික ව්‍යුහයන් තුළ සිදුවන 'ව්‍යවස්ථාපිත නොවන' ක්‍රියාවලි (Informal processes and manipulations) නීතිය ඉදිරියේ ඔප්පු කිරීම කෙතරම් දුෂ්කර ද යන්නයි.
පැමිණිල්ල සිය සාක්ෂි ගොනු කිරීමේදී හුදු තොග ලේඛන කියවීමෙන් ඔබ්බට ගොස්, එම දත්ත පිටුපස ඇති සැබෑ වංචාවේ ආකෘතිය (Systemic manipulation) අධිකරණයට නිරාවරණය කිරීම කෙරෙහි මීට වඩා තියුණු අවධානයක් යොමු කළ යුතුව ඇත. ප්‍රොජෙක්ටරයකින් තිරයකට දත්ත දමා, "අද කීයද? හෙට කීයද?" යැයි විමසන සාම්ප්‍රදායික ලිපිකාර මාදිලියේ ප්‍රශ්න කිරීම් මඟින්, සූක්ෂම ලෙස සැලසුම් කළ රාජ්‍ය ආයතනික දූෂණයක ව්‍යුහාත්මක ජාලය ලිහා ගත නොහැක.
නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගේ සාක්ෂි මෙහෙයවීමේ දුර්වලතා වහා නිවැරදි කර නොගතහොත්, අවසානයේදී තීරණාත්මක අපරාධකරුවන් නීතියේ සිදුරු තුළින් රිංගා යාමටත්, සමස්ත නඩු විභාගයම මහජන මුදල් නාස්ති කරන හුදු පරිපාලනමය 'කාලය මැරීමක්' බවට පත්වීමටත් ඇති ඉඩකඩ බෙහෙවින් වැඩි ය.

සම්පූර්ණ නඩු වාර්තාව
2026/06/08
ප්‍රමිතියෙන් තොර ඖධෂ නඩුවේ සාක්ෂි දීම සඳහා තෙවන දිනටත් කැඳවා තිබුණේ වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන තොග පාලක හේරත් මුදියන්සේලාගේ ධනේශ් බණ්ඩාර මහතාය.
රජයේ රස පරීක්ෂක ඇතුළු කමිටුවක් මගින් නිකුත් කරන ලද ඖෂධ දත්ත පිළිබඳ වාර්තාව සංයුක්ත තැටිය ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් ප්‍රදර්ශනය කරමින් එය හා අනෙක් පැමිණිල්ලේ සාක්ෂි ලේඛන ඔස්සේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම විසින් ක්ෂිකරුගෙන් සාක්ෂි ලබාගනු ලැබීය.
එහිදී විත්ති පාර්ශ්වයේ නීතිඥවරුන් තුන් වතාවක් විරෝධය පළ කරන ලද්දේ රජයේ රස පරීක්ෂකවරයා විසින් සකස් කරන ලද වාර්තාවක් සම්බන්ධයෙන් මෙම සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කිරීම වැරැදි බව පෙන්වා දෙමිනි.
විත්තියේ නීතිඥ රහුල් ජයතිලක එහිදී ප්‍රකාශයක් කරමින් මෙසේ කීය.
"මෙම පැ 297-2 A1 ලෙස ලකුණු කර ඇති තිරයේ පෙන්වන දත්තයන් රජයේ රස පරීක්ෂකවරයා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සකස් කර ඇති වාර්තාවකි. එය සීඩී පටයක ගබඩා කර ඇත. මෙම සාක්ෂිකරුගෙන් එම වාර්තාවේ දත්ත ගැන විමසිය නොහැක. ඔහු හෝ කිසිවෙක් මීට පෙර එය දැක නෑ. සංයුක්ත තැටියක ඇති දත්ත ප්‍රදර්ශනය කර ඒ ගැන ඇසූ විට ඔහු පවසන්නේ කුමක්ද? මේවා මෙහෙම අහන්නේ කොහොමද? මේ සාක්ෂිකරුගෙන් එම සංයුක්ත තැටියේ ඇති දත්ත පිළිබඳව විමසීම පිළිබඳ විරෝධය පළ කරමි".
මෙම අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙසේ ප්‍රකාශ කළාය.
සාක්ෂිකරුට තාක්ෂණය ඔස්සේ සාක්ෂි දිය හැකිනම් ඔහු එය කරාවි. නමුත් දත්ත මත රඳා පවතිමින් සාක්ෂි දීම ගැන මේ ප්‍රශ්නය මතුවෙලා තියෙන්නේ.
එය සම්පූර්ණයෙන්ම තාක්ෂණික අවශ්‍යතා මත පදනම් වන අතර සාක්ෂිකරු 2022 සැප්තැම්බර් 1 සිට 30 දක්වා වූ තොග පිළිබඳ තොරතුරු ලබාදීමට හැකි බව දන්වා තිබේ. සාක්ෂි ආඥා පනතේ 120 යටතේ ඔහුට සාක්ෂි දිය හැකිය. මෙම ලේඛනය දැනට අධිකරණයේ. පර්යේෂණ සාක්ෂියක් ලෙස රඳවා ඇති අතර ඒ ඔස්සේ සාක්ෂි මෙහෙයවීමට අවසර ඉල්ලමි.
ඒ අවස්ථාවේ විනිසුරු මඩුල්ලේ තීරණය ප්‍රකාශ කළ සභාපති ප්‍රියන්ත ලියනගේ විනිසුරුවරයා මෙසේ කීය.
විරෝධය ඉදිරිපත් කරනු ලබන්නේ තිරයේ ඉදිරිපත් කරනු ලබන දත්ත සම්බන්ධව මෙම සාක්ෂිකරුට සාක්ෂි දිය නොහැකි බවය. පැ 297 I සංයුක්ත තැටිය සකසා ඇත්තේ රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු කමිටුවක් මගිනි. ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකගෙන් සාක්ෂි ලබාගෙන ඇත. මෙම දත්ත ලබා ගත්තේ ප්‍රොන්ටෝ පද්ධතිය මගින් බව දන්වා ඇත. ඒ අනුව තොග සම්බන්ධයෙන් දත්ත ලබා දීමේදී මෙම සාක්ෂිකරු වෛද්‍ය සැපයුම් අංශයේ, සීඩී පටයේ ඇති දත්තවල රහස්‍යභාවය පිළිබඳ සාක්ෂි දිය හැකි වන්නේ එම අංශයේ තොග පාලන නිලධාරියකු බැවිනි.
ඒ අනුව මෙම සාක්ෂි ලබාදීමේදී එම ප්‍රදර්ශිත දත්ත ලෙස බලා ගැනීමෙන් එම සාක්ෂිකරුට සීඩී තැටියත් එහි ඇති දත්ත තොග පාලන අංශයේ පැවැති දත්ත පරීක්‍ෂා කර සාක්ෂි දීමේ හැකියාව ඇත. දත්ත ලබා ගත්තේ වෛද්‍ය සැපයුම්, අංශයෙන් බව රස පරීක්ෂක පවසයි. ඒ අනුව ඒ සම්බන්ධව සාක්ෂි දීමේ හැකියාව සාක්ෂිකරුට ඇත.
ඒ අනුව සාක්ෂි විභාගය ඇරඹිණි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 00.603.605 අංකයට අදාළ ඖෂධය කුමක්ද?
සාක්ෂිකරු ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය 2022 සැප්තැම්බර් 24 දිනට කොපමණ තිබුණද?
සාක්ෂිකරු ; 1480ක්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මාසික අවශ්‍යතාව කොපමණද?
සාක්ෂිකරු ; 7500ක්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 00 603 205 දරන ඖෂධය සැප්තැම්බර් 24 දිනට කොපමණ තිබෙනවාද?
සාක්ෂිකරු ; 5749යි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් අංශයේ 1480යි
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 1480, 5749 යි අවශ්‍යතාව 7500 යි.
සාක්ෂිකරු ; අඩුයි ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 බලන්න. අංක 89 යටතේ ඇති අයිතමය කුමක්ද.?
සාක්ෂිකරු ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙම ලේඛනයේ 2022 ඔක්තෝම්බර් 20 දිනට අදාළව පෙන්වන අගය කුමක්ද?
සාක්ෂිකරු ; ඒකක 10688 ක් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022 සැප්තැම්බර් 24 , 5745 ක් වූ අගය ඔක්තෝම්බර් 20 වන විට 10688ක් බවට පත් වෙනවා.
සාක්ෂිකරු ; මෙහෙම අගය වැඩි වන්නේ තොගයක් ලැබුණමයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 00 603 205 අයිතමයට ඔක්තෝම්බර් 20 වෙද්දී 10688 ක් වෙනවා. ඔබතුමා අධිකරණයට පැහැදිලි කරන්න මේ තොග එකතුවීම ගැන.
සාක්ෂිකරු ; දෛනිකව වෛද්‍ය සැපයුම් ඒකකයෙන් තොග මුදා හරිනවා. ඒ මුදා හරින ඒවා රෝහල්වල භාවිතා වෙනවා. එවිට තොග අඩු වෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එක දිනයකින් වැඩි වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.
සාක්ෂිකරු ; අලුත් තොග පද්ධතියට ඇතුල් කළාම වැඩිවෙනවා. දත්ත පද්ධතියේ බලද්දි සංඛ්‍යාත්මක අගයක් තමයි පෙන්වන්නේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය පැහැදිලි කරන්න. තොග නිකුතුව සලකා බලන්න වෙනවද.?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; යම් තොගයක් කල්ඉකුත් වී හෝ ප්‍රමිතියෙන් තොරව ඇත්නම් මේ ලේඛනයේ අගයට මොකද වෙන්නේ?
සාක්ෂිකරු ; පද්ධතිය තුළ තියෙන අගයත් නොවෙනස්ව පවතින්නේ කල්ඉකුත් වූ හෝ බාල ඖෂධ තෝරා රඳවා ගනු ලැබූ අවස්ථාවලයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තිරයේ දිස්වන දත්ත තුළ ටැබ් හතරක් ඔබට පේනවද? එහි 81 අගය පෙනෙනවද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. එහි ඒකක 5749ක් පෙන්වනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි සැප්තැම්බර් 24 (2022) ට කීයක් පෙන්වනවද?
සාක්ෂිකරු ; 5142 ක් පරිගණක පද්ධතිය තුළ පෙන්වනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; තොගයක් ආවම ඒ ගැන දැනගන්නේ කොහොමද?
සාක්ෂිකරු ; ඊළඟ දිනයේදී විශාල ප්‍රමාණයකින් වැඩිවී තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඒ තොග ලැබෙන්නේ කොහෙන්ද?
සාක්ෂිකරු ; රාජ්‍ය ඖෂධ සංස්ථාවට දීපු ඇණවුම් මත ලැබෙනවා .
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සැපයුම් ලේඛණයට අවධානය යොමු කොට මෙය හඳුනා ගන්න. 2022 ඔක්තෝම්බර් 19, 89 තීරයේ ඖෂධ තොගය කීයක්ද?
සාක්ෂිකරු ; 2358
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය ඔක්තෝබර් 20 වැනිදා 10688ක්. එය පැහැදිලි කරන්න.
සාක්ෂිකරු ; පෙන්ඩින් තිබූ තොගයක් ලැබී තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 2022/11/23 දිනය බලන්න. එහි අගය කීයද?
සාක්ෂිකරු ; 5527ක්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/11/25 බලන්න. එහි සඳහන් වන්නේ කීයක්ද?
සාක්ෂිකරු ; 17768 ක්
මෙහි පද්ධතියට දත්ත එකතු වීම නිසයි. ඒ අලුත් තොගයක්.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; තොග ලැබෙන්නේ කොහෙන්ද?
සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් ඒකකයට SPC එකෙන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023 ජනවාරි 26 දිනට අවධානය යොමු කරන්න.
සාක්ෂිකරු ; එහි 11277ක් සඳහන්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ජනවාරි 27 දිනට අවධානය යොමු කරන්න.
සාක්ෂිකරු ; එහි 23103 ක් සඳහන්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එය මාසික අවශ්‍යතා අනුව මාස කීයකට ප්‍රමාණවත්ද?
සාක්ෂිකරු ; මාස තුනකට
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023 මාර්තු මාසයට අවධානය යොමු කළොත් මාර්තු 2 දින තොගය කීයද?
සාක්ෂිකරු ; 23351 ක්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මාර්තු පළමු වැනිදා තොගය කොපමණද?
සාක්ෂිකරු ; 15793 ක් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 7 දිනට සාපේක්ෂව 2 දින තොගය වැඩිවීම සිදුවූයේ කෙසේ විය හැකිද?
සාක්ෂිකරු ; එය ඕඩරයක් විය හැකියි.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; 2023/05/26 දිනට අවධානය යොමු කරන්න. එදිනට තොගය කීයද?
සාක්ෂිකරු ; 12868ක් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; (පැ 293 ලේඛනයට අවධානය යොමු කරවයි)
මෙහි සඳහන් ඖෂධය කුමක්ද?
සාක්ෂිකරු ; රිටක්සිමැබ් 500 mg. එහි අංකය 01 205 702
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 173 ලේඛනය අනුව ඕඩර් ලිස්ට් එක දාපු දිනය කවද ද?
සාක්ෂිකරු 2022/09/26
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 182 වෂයෙන් තිරයේ දකින දත්ත 2022/06/26 ට කොපමණද?
සාක්ෂිකරු ; 0 යි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග නැත. පැ 297 I A III දෙස බලන්න. එහි සඳහන් අයිතමයේ සැප්තැම්බර් 26 ට කොපමණ තිබෙනවාද?
සාක්ෂිකරු ; 210 ක් ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය ප්‍රමාණවත්ද ?
සාක්ෂිකරු ; නැත ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 294 ට අවධානය යොමු කර 01 205 702 කොතැනද තියෙන්නේ කියන්න
සාක්ෂිකරු ; අංක 159 යටතේ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/10/14 වෙද්දි එහි කොපමණ තිබුණද?
සාක්ෂිකරු ; 98 යි ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 10/15 වන විට 702 ක් තිබුණා. මේ තත්ත්වය පැහැදිලි කළ හැකිද?
සාක්ෂිකරු ; පෙන්ඩින් ඕඩර්ස් ලැබිලා. මාස හතරාමාරකට පසු එය ලැබිලා තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 2022 දෙසැම්බර් 15 දිනට අවධානය යොමු කරන්න.
සාක්ෂිකරු ; ඒකක 1458 ක් තිබිලා තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; දෙසැම්බර් 16 වන විට 6508 ක් ලැබිලා.
සාක්ෂිකරු ; 16 දා පෙන්ඩින් ඕඩරයක් ලැබිලා තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2023 මැයි 11 දින 01 205 702 ඖෂධයටත් පෙන්ඩින් ඕඩරයක් ලැබිලද?
සාක්ෂිකරු ; ඔව් පෙන්ඩින් ඕඩරයක් ලැබිලා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 බලන්න.
සාක්ෂිකරු ; 2024/09/24 වන විට පැ 294 2A3 දක්වා 119843 වෙලා. ඊට පසුවදා 23000ක් වෙලා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/10/06 බලන්න
සාක්ෂිකරු ; එදින වන විට 213672 ක්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කලින් පැවති ලක්ෂය තවත් ලක්ෂයක් දක්වා වැඩිවෙලා.
සාක්ෂිකරු ; ඔව් එතනත් පෙන්ඩින් ඕඩරයක් ලැබිලා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 293 හි 38 අයිතමයට අවධානය යොමු කරන්න.
සාක්ෂිකරු ; 00 602 202 එය හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 2.5 - 3 g ප්‍රමාණය එන්නත්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි මාසික අවශ්‍යතාවය කොපමණද.?
සාක්ෂිකරු ; 1853 ක් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022/09/24 හා 26 වන විට තොග කොපමණ තිබුනද?
සාක්ෂිකරු ; 24 වැනිදාත් තොග සම්පූර්ණයෙන්ම ඉවරයි. 26 දාත් ඉවර වී තිබිලා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ජාතික තලයේ කොපමණ තිබිලද?
සාක්ෂිකරු ; 2814 ක්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එය කොපමණ කලකට ප්‍රමාණවත්ද?
සාක්ෂිකරු ; මාස එකහමාරකට පමණ ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නොවැම්බර් 10 වන විට කොපමණ තිබිලද?
සාක්ෂිකරු ; 23873 ක් ස්වාමීනී. එයත් පෙන්ඩින් ඕඩරයක් විය යුතුයි. එහි මාස 11 කට පමණ ප්‍රමාණවත් තොගයක්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙය හදිසි ප්‍රසම්පාදනයක් කළ යුතු තත්ත්වයක් ද?
සාක්ෂිකරු ; නැත ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 293 හි 68 අයිතමය බලන්න
සාක්ෂිකරු ; එහි මාසික අවශ්‍යතාව 583 ක්
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; 2022 සැප්තැම්බර් 24 හි 26 බලන්න
සාක්ෂිකරු ; වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග 0 යි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ජාතික තලයේ කොපමණ පෙන්වනවද?
සාක්ෂිකරු ; ඒකක 343යි. 26 වැනිදා වෙද්දි 312 ක් අඩුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 2022 ඔක්තෝම්බර් 15 බලන්න.
සාක්ෂිකරු ; ඒකක 5176 ක් තිබෙනවා. මාස 9 කට ඇති ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 293 ලේඛනයේ 84 අයිතමය කුමක්ද?
සාක්ෂිකරු ; 01 201 703
පැ 297 III A I දත්ත අනුව සැප්තැම්බර් 24/26 ඒකක 200 බැගින් තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය එදිනට ජාතික තලයේ කොපමණ තිබුනද?
සාක්ෂිකරු ; 509 යි ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මසකට ප්‍රමාණවත්ද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සැප්තැම්බර් 26 වන විටත් ජාතික තලයේ 509 ක් තිබිලා තියෙනවා. එය මසකට ප්‍රමාණවත්ද?
සාක්ෂිකරු ; ප්‍රමාණවත් ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 294 ලේඛනය අනුව 2022/10/10 කොපමණ තිබුණාද?
සාක්ෂිකරු ; 3610 ක් ඒකක තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පෙර තිබුණේ 500 පමණයි. මේ ප්‍රමාණය මාස කීයකට ප්‍රමාණවත්ද?
සාක්ෂිකරු ; මාස හතකට පමණ ස්වාමීනී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 00 302 801 බලන්න.
සාක්ෂිකරු ; මාසික අවශ්‍යතාවය 80 3333
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; වෛද්‍ය සැපයුම් ඒකකයේ කොපමණ තිබුණද?
සාක්ෂිකරු ; 509000 ක් ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම දත්ත අනුව සැප්තැම්බර් 24 දිනට කොපමණ තිබෙනවාද?
සාක්ෂිකරු ; මිලියන 2.1 ක් ස්වාමීනී එය මාස දෙකහමාරකට පමණ ප්‍රමාණවත්.
මෙම සාක්ෂිකරුගෙන් තවදුරටත් සාක්ෂි ලබා ගැනීම සඳහා නඩුව අද (09) දින යළි කැඳවීමට නියමිතය.

