රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව
කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස නැවත වරක් දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා සඳහන් කළේ, සුරේෂ් සලේ සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව කොමිෂන් සභාව මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.
සීඅයිඩියට ගොස් ප්‍රකාශ සටහන් කරගනී
ඒ අනුව පසුගිය දිනවල මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සුරේෂ් සලේ ගෙන් විශේෂ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ඊට අමතරව, ඔහු රඳවා සිටි කුටිය ආසන්නයේ සිටින තවත් සැකකරුවන් කිහිපදෙනෙකුගෙන් ද මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම, ඊයේ (08) දිනයේ ද සුරේෂ් සලේ ගේ සුවදුක් සහ තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ද ගොස් තිබේ.
මීට පෙර කැඳවීමට CIDයෙන් මඟහැරීමක්
සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය සතියේ ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි. කෙසේ වෙතත්, එදිනට තමන්ට පැමිණිය නොහැකි බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙනත් දිනයක් ඉල්ලා සිටි බව කොමිසම පවසයි.
"පසුගිය සතියේ පැමිණිය නොහැකි බව දැනුම් දීම නිසා, අදාළ විමර්ශන සිදුකරන ස්ථාන භාර නිලධාරීවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසකට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ අනිවාර්යයෙන්ම පෙනී සිටින ලෙස නැවත දැනුම් දී තිබෙනවා." – කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා
මෙම විමර්ශනයට අදාළ ඉදිරි පියවර ඉදිරි දින කිහිපය තුළ ගැනීමට නියමිතය.

