SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

දිවයිනේ ප්‍රධාන පෙළේ සුපිරි හෝටල්වලින් අධික මිලක් ගෙවා ආහාර ගන්නා පාරිභෝගිකයා සිතන්නේ

තමන් භුක්ති විඳින්නේ ඉහළම ප්‍රමිතියෙන් යුතු ආරක්ෂිත ආහාර වේලක් බවයි. එහෙත්, එම විශ්වාසය මුළුමනින්ම බිඳ දමමින්, සුපිරි හෝටල්වල මුළුතැන්ගෙට රිංගා ඇති මාරාන්තික වස විස ජාලයක සුලමුල පසුගියදා නුගේගොඩින් අනාවරණය විය. ඒ, දිවයිනේ ප්‍රධාන පෙළේ ආහාර සැපයුම්කරුවකු වන නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි 'ඇස්රියල් මාර්කටින් පුද්ගලික සමාගමට' (Asriel Marketing (PVT) Ltd) අයත් ගබඩා 4ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සම්පූර්ණයෙන්ම මුද්‍රා තැබීමත් සමඟය.

 

 

මෙය හුදෙක් නීති විරෝධී ගබඩා පවත්වාගෙන යාමක් නොව, මහජන සෞඛ්‍යය සමඟ සෙල්ලම් කරන සංවිධානාත්මක අපරාධයක් බව පැහැදිලිය.

 

Asriel-Marketing-1.jpeg

 

මරණය අලුත් ඇසුරුමක බහාලීම

 

පාරිභෝගික අධිකාරිය විසින් ජුනි 03 වැනිදා සිදු කළ මෙම වැටලීමේදී හෙළි වූ කරුණු අතිශය බියකරුය. චීස්, බටර්, චොකලට්, ටින් කළ පලතුරු, පැස්ටා සහ මස් වර්ග ඇතුළු දෛනිකව සුපිරි හෝටල් සහ වෙළෙඳපොළට නිකුත් කෙරෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදිත දිනයක් හෝ කල් ඉකුත් වීමේ දිනයක් නොතිබිණි. ආනයනකරු කවුදැයි සෙවීමට තොරතුරක් නොවීය. වඩාත් බරපතළම කාරණය වන්නේ, කල් ඉකුත් වූ භාණ්ඩවල මුල් ඇසුරුම් ගලවා, ඒවා වෙනත් ඇසුරුම්වලට බහාලීමේ ජාවාරමක් මෙම පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වී තිබීමයි. කල් ඉකුත් වූ ආහාර තොග පිටින් වෙළෙඳපොළට යැවීමට සූදානම් කර තිබියදී බලධාරීන්ට කොටු වී ඇත. මෙය පැහැදිලිවම පාරිභෝගිකයාගේ ජීවිතය පරදුවට තබා ලාභ ලබන ම්ලේච්ඡ ධනවාදී ක්‍රියාවලියකි.

 

 Asriel-Marketing-story_1200x675px_05_06_26.jpeg

 

මිලියන 5ක 'පරිත්‍යාගය' හෙවත් පාප සමාදානය

 

මෙම ජාවාරමේ ස්වභාවය කෙතරම් පිළිකුල් සහගත වුවද, ඊටත් වඩා විමතිය දනවන කාරණය වන්නේ මේ සමාගම පසුපස ඇති 'සුදු පිරුවටයයි'. මෙම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ශිරාන් පීරිස් ය. පුදුමයට කරුණ නම්, සුපිරි හෝටල්වලට කුණු කෑම කවන අතරතුරම, මොවුන් මෑතකදී සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 5ක මුදලක් පරිත්‍යාග කර තිබීමයි.

 

සභාපති ශිරාන් පීරිස්, ඩී.එල්.පී වීරසූරිය, සාගල මහවෙල කීර්තිපාල සහ එන්.ආර්.බී වික්‍රමරත්න විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ජනාධිපති කාර්යාලයේදී එම චෙක්පත ප්‍රදානය කළ පුවත මාධ්‍යවල ඉහළින්ම වාර්තා විය. මහජනයාට වස කවමින් උපයන ලේ සල්ලිවලින් රජයේ අරමුදල්වලට පරිත්‍යාග කිරීම හරහා ඔවුන් උත්සාහ කරන්නේ කුමක්ද? මෙය හුදෙක් පරිත්‍යාගයක් ද, නැතහොත් මෙවැනි ජාවාරම් හෙළි වූ විට නීතියෙන් ගැලවීම සඳහා කල්තියා මිලදී ගත් 'රක්ෂණ ආවරණයක්' ද යන්න බරපතළ ලෙස විමසා බැලිය යුතුය.

 

 

ආගමික වේශයෙන් වැසෙන ව්‍යාපාරික මාෆියාව

 

සමාජයේ ඇති තවත් ප්‍රබල කතාබහක් වන්නේ, මෙම සමාගමේ සභාපති ශිරාන් පීරිස් යනු ජනප්‍රිය ආගමික දේශකයකුගේ සමීපතමයා (දෙවැන්නා) බවට පවතින ආරංචි මාර්ගයි. ශ්‍රී ලංකාව වැනි රටවල ව්‍යාපාරික මාෆියාවන් සිය අඳුරු ගනුදෙනු වසා ගැනීම සඳහා දේශපාලන බලය මෙන්ම 'ආගමික බලයද' කඩතුරාවක් කර ගැනීම සුලබ දසුනකි. ආගමික වේදිකාවල සිල්වතුන් ලෙස පෙනී සිටිමින්, තිරය පිටුපස ජනතාවගේ බඩගින්න සහ සෞඛ්‍යය සමඟ සූදුවක නිරත වීම ඛේදවාචකයකි.

 

 

නීතියේ දෙවඟනගේ ඇස් වැසේවිද?

 

මේ සිද්ධිය සම්බන්ධයෙන් අද (05) අදාළ සමාගමට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් නඩු පැවරීමට නියමිත බව වාර්තා වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ මොවුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගත යුතුමය. එහෙත්, අතීත අත්දැකීම් අනුව අපට පැන නඟින ප්‍රශ්නයක් ඇත. මිලියන 5ක පරිත්‍යාගයන් සහ ප්‍රබල ආගමික සබඳතා හමුවේ නීතියේ ක්‍රියාකාරීත්වය මොට වී යාවිද? සුපිරි හෝටල්වලට කුණු කෑම දුන් මෙම ජාවාරම්කරුවන්ට සුළු දඩයකින් ගැලවී යාමට ඉඩ ලැබේද?

 

 

ආහාර නිෂ්පාදන ආයතන, හෝටල් හිමියන් සහ පාරිභෝගිකයින් මින් ඉදිරියට සිය මිලදී ගැනීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතුය. ඒ සමඟම, ජනතාවට වස කවා උපයන කළු සල්ලි, 'පරිත්‍යාග' නමින් සුදු කරගන්නා මෙවැනි ව්‍යාපාරිකයින්ගේ සැබෑ මුහුණුවර සමාජය ඉදිරියේ නිරාවරණය කිරීම ස්වාධීන මාධ්‍යයේ වගකීමකි. නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස සමාජයම අවධියෙන් බලා සිටී.

 

 (මූලාශ්‍රය - srilankamirror)

 

Asriel-Marketing-6.jpeg

Asriel-Marketing-4.jpeg

Asriel-Marketing-2.jpeg

 

 

නවතම ලිපි