SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා

රජය ගෙන ඇතැයි කියන යෝජනාව වහාම හකුලා ගන්නා ලෙස කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් දැඩිව ඉල්ලා සිටී. 2026 ජුනි 03 දිනැතිව ජනාධිපතිවරයා වෙත පිටු 09ක දීර්ඝ සංදේශයක් යොමු කරමින් එම සංගමය අවධාරණය කරන්නේ, මෙම පියවර හරහා අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි හානියක් සිදුවිය හැකි බවයි.

 

 

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ව්‍යුහය තුළ නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මෙම ලිපිය, වර්තමානයේ අධිකරණ පද්ධතිය මුහුණ දෙන අර්බුද පිළිබඳව විචාරාත්මක කියවීමක් සමාජයට සපයයි.

 

free_10.jpeg

 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය පදනම සහ අරමුණු උල්ලංඝනය කිරීම

  • 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 සහ 108 වගන්ති මගින් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 63ක් ලෙස නියම කර ඇත.

  • එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් ලෙස පැහැදිලිව දක්වා තිබේ.

  • මෙම සීමාවන් හිතාමතාම පනවා ඇත්තේ අත්දැකීම් සහිත විනිසුරුවන්ගේ සේවය ලබා ගන්නා අතරම, නව පරපුරේ දක්ෂතාවයන්ද අධිකරණයට එක් කර ගැනීමේ ක්‍රමවත් අරමුණින් බව සංගමය පෙන්වා දෙයි.

  • ප්‍රබල සහ යුක්තිසහගත ව්‍යවස්ථාමය පදනමකින් තොරව මෙම වයස් සීමාවන් වෙනස් කිරීමට දරන ඕනෑම උත්සාහයක් බරපතල ව්‍යවස්ථාමය නොගැලපීමක් සහ අත්තනෝමතික ක්‍රියාවක් සේ සැලකිය යුතුය. විශේෂයෙන්ම, මෙම වෙනස සිදු කිරීම සඳහා රජය විසින් මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ සාධාරණීකරණයක් හෝ පැහැදිලි කිරීමක් මහජනතාව වෙත ඉදිරිපත් කර නොමැති වීම, මෙය ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහයට එල්ල කරන ප්‍රහාරයක් බව තවදුරටත් තහවුරු කරයි.

 

 

අධිකරණ නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රගමනයට බාධා පැමිණවීම

පහළ අධිකරණවල සිට තම වෘත්තීය ජීවිතය කැප කරමින් ඉහළ අධිකරණ වෙත උසස්වීම් අපේක්ෂාවෙන් සිටින අධිකරණ සේවයේ නිලධාරීන්ට මෙම යෝජනාව හරහා දැඩි අසාධාරණයක් සිදුවේ. දැනට සිටින විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමෙන් අනාගතයේ ඇතිවීමට නියමිත පුරප්පාඩු ප්‍රමාද වේ. මේ හරහා සුදුසුකම් ලත් දක්ෂ නිලධාරීන්ගේ නීත්‍යානුකූල උසස්වීම් අහිමි වී, සමස්ත අධිකරණ සේවයේම නිලධාරීන්ගේ මානසිකත්වය සහ චිත්ත ධෛර්යය බිඳ වැටීමට මෙය සෘජුවම බලපානු ඇත.

 

විධායකයේ බලපෑම සහ මහජන විශ්වාසය පළුදු වීම: නීතිය නැමැති 'මහා අනෙකා' මෙල්ල කිරීමේ මෙහෙයුමක්ද?

අධිකරණයේ ස්වාධීනත්වය යනු හුදෙක් ව්‍යවස්ථාවේ ලියා ඇති කරුණක් පමණක් නොව, එය මහජනතාවට ප්‍රායෝගිකව පෙනී යා යුතු දෙයකි. මෙවැනි තීරණයක් හරහා විධායකය විසින් තමන්ට හිතවත් හෝ රජයේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින විනිසුරුවරුන් තනතුරුවල රඳවා ගැනීමට උත්සාහ කරන බවට මහජනතාව තුළ දැඩි සැකයක් නිර්මාණය විය හැකිය. විශේෂයෙන්ම, රජය පාර්ශවකරුවෙකු වන වැදගත් නඩු විභාග කරන විනිසුරුවරුන්ගේ ධුර කාලය මෙලෙස දීර්ඝ කිරීමේදී, අධිකරණයේ අපක්ෂපාතීත්වය පිළිබඳ මහජන විශ්වාසය බරපතල ලෙස පළුදු වනු ඇත.

 

 

මෙම අර්බුදයට යටින් දිවෙන දේශපාලන යථාර්ථය ඊට වඩා ගැඹුරුය. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණය ක්‍රියා කරන්නේ දේශපාලන බලයට ඉහළින් පවතින, සියල්ලන්ම යටත් විය යුතු 'සංකේතීය පර්යාය' (Symbolic Order) හෙවත් 'මහා අනෙකා' (The Big Other) ලෙසිනි. විධායකයේ සැඟවුණු දේශපාලනික ධාවය (drive) වන්නේ මෙම නෛතික සීමාවන්ගෙන් මිදී සිය බලය බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමයි.

 

 

යම් විනිසුරුවරයෙකුට නියමිත කාලය අවසන් වූ පසු, විධායකයේ බලය මත තවදුරටත් ධුරයේ රැඳී සිටීමට ඉඩ හැරීම හරහා නීතිය සහ විනිසුරුවරයා අතර තිබිය යුතු වාස්තවික දුරස්ථභාවය (objective distance) අහෝසි වේ. ඉන් විනිසුරුවරයා තුළ විධායකය කෙරෙහි යම් 'ණයගැතිභාවයක්' නිර්මාණය විය හැකිය. මතභේදාත්මක ටෙන්ඩර් ගනුදෙනු, රාජ්‍ය ප්‍රසම්පාදන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුද වැනි අනාගතයේදී මතුවිය හැකි දේශපාලනික ගැටුම්වලදී තමන්ට හිතකර නෛතික ආවරණයක් කල්තියා සකසා ගැනීමේ පූර්ව සූදානමක් ලෙස විධායකයේ මෙම ක්‍රියාවලිය විචාරාත්මකව හඳුනාගත හැකිය.

 

 

"සුදුසුකම් ලත් නිලධාරීන්ගේ හිඟය" නම් වූ මිත්‍යාව

උසස් අධිකරණවලට පත් කිරීමට සුදුසු නිලධාරීන්ගේ හිඟයක් පවතින බවට ගෙන එන තර්කය මෙම ලිපිය මගින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. මෙය හුදෙක් විධායකය විසින් මවාපාන මතවාදී ආවරණයක් පමණි. ශ්‍රී ලංකාවේ අධිකරණ සේවය තුළ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පෞද්ගලික නීතිඥ වෘත්තියේද මෙම තනතුරු සඳහා අවශ්‍ය හැකියාවන් සහ නෛතික විශාරදභාවය සහිත නිලධාරීන් ප්‍රමාණවත් තරම් සිටින බව සංගමය අවධාරණය කරයි.

 

 

සැබෑ අර්බුදය: පුරප්පාඩු කඩිනමින් නොපිරවීම

දැනට උසස් අධිකරණවල පවතින පුරප්පාඩු කඩිනමින් නොපිරවීම ව්‍යවස්ථාමය වගකීම පැහැර හැරීමක් ලෙස සංගමය දකී.

  • නඩු ප්‍රමාදයට සහ යුක්තිය අපේක්ෂාවෙන් සිටින පුරවැසියන්ට සිදුවන අසාධාරණයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මෙම පුරප්පාඩු නොපිරවීමයි.

  • එබැවින් රජය කළ යුත්තේ විනිසුරුවරුන්ගේ වයස දීර්ඝ කිරීම නොව, පවතින පුරප්පාඩු ව්‍යවස්ථානුකූලව සහ කඩිනමින් පිරවීමයි.

 

 

මෙම සියලු කරුණු පදනම් කරගනිමින්, යෝජිත වැඩපිළිවෙල වහාම ඉවත් කර ගන්නා ලෙසත්, අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම සඳහා රජයේ කැපවීම තහවුරු කරන ලෙසත් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

 

සංගමයේ සභාපති නීතිඥ වසන්ත පිටිගල සහ ලේකම් නීතිඥ ජේ. ටෙනි ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ලිපියේ පිටපත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයට, නීතිපතිවරයාට සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද යොමු කර ඇත. මේ හරහා ඔවුන් ලබාදෙන පුළුල් පණිවිඩය වන්නේ, දේශපාලන අධිකාරියේ පටු වුවමනාවන් වෙනුවෙන් නීතියේ සංකේතීය බලය නිරුවත් කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවයි. ඉදිරියේදී ගනු ලබන ඕනෑම තීරණයක් නීති වෘත්තිය සහ අදාළ පාර්ශ්වයන් සමඟ විවෘත සංවාදයකින් පසු ගත යුතු බවට ඔවුහු වැඩිදුරටත් යෝජනා කරති.

 

#නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි