SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ටී.එම්.වී.පී. (TMVP) නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' බන්ධනාගාරගතව සිටියදී

තමන් ඔහුව හමුවීමට ගිය බවත්, එය කිසිදු රහසක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

 

 

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයේදී මෑතකදී එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් සිය 'X' (කලින් ට්විටර්) ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

 

2018 සහ 2019 යන වසරවලදී තමා පිල්ලෙයාන් හමුවීමට ගිය බව බන්ධනාගාර වාර්තා මගින්ද තහවුරු කරගත හැකි බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. එකල ටී.එම්.වී.පී. නායකයා තම සන්ධානයේ පාර්ශ්වකරුවෙකු වූ බවත්, 2015 ජනාධිපතිවරණයට මෙන්ම 2018 පළාත් පාලන මැතිවරණයටද ඔවුන් තම සන්ධානය සමඟ එක්ව තරග කළ බවත් ඔහු එහිදී සිහිපත් කර තිබේ.

 

පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් ප්‍රංශය දක්වා ගොස් ඇති බව කියැවෙන සිදුවීම හරහා වත්මන් රජයේ ප්‍රමුඛතාවයන් පිළිබඳව ගැටලු මතු වන බවද රාජපක්ෂ සිය නිවේදනයෙන් අවධාරණය කරයි. "ඔවුන් ඒ සා දුරක් ගියේ මා පිල්ලෙයාන් හමුවීමට ගිය බව තහවුරු කර ගැනීමට පමණක් නම්, එය පැහැදිලිවම මහජන මුදල් නාස්ති කිරීමක්," යනුවෙන් පවසන ඔහු, තම දැනුමේ හැටියට පිල්ලෙයාන් මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන්නෙකු නොවන බවද සඳහන් කර ඇත. ඒ හරහා රජය මෙම මාධ්‍ය සංදර්ශන මගින් කාව නම්මා ගැනීමට උත්සාහ කරන්නේදැයි ඔහු ප්‍රශ්න කරයි.

 

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය (NPP) විවිධ අවස්ථාවලදී විවිධ මත ඉදිරිපත් කර ඇති බව පවසන මන්ත්‍රීවරයා, රජය මෙම ඛේදවාචකය තම දේශපාලන විරුද්ධවාදීන් ඉලක්ක කර ගැනීම සඳහා භාවිතා කිරීමට උත්සාහ කරන්නේ නම්, එය සත්‍යය සහ යුක්තිය අපේක්ෂාවෙන් සිටින වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට කරන බලවත් අසාධාරණයක් බවද ප්‍රකාශ කර තිබේ.

 

 

තමන් ඕනෑම සාධාරණ පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් බවත්, විවෘතව සහ විනිවිදභාවයෙන් යුතුව ඕනෑම සැකයක් දුරු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පූර්ණ සහයෝගය ලබා දෙන බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටී. දේශපාලන නාට්‍ය සහ මාධ්‍ය සිරස්තල මවාපෑම් කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා, රටේ ජනතාව වෙනුවෙන් අර්ථවත් ප්‍රතිඵල ලබා දීමට රජය සිය අවධානය යොමු කළ යුතු බව ඔහු අවසන් වශයෙන් සිය නිවේදනයේ සටහන් කර ඇත.

 

 

නවතම ලිපි