ගල් අඟුරු අර්බුදය, ඉහළ යන විදුලි බිල සහ ඛනිජ තෙල් මිල හමුවේ ආණ්ඩුවේ පරිපාලනමය දුර්වලතා වසා ගැනීමට
කොමිසන් සභා පලිහක් කරගෙන ඇති බවට බලවත් විවේචනයක් මේ දිනවල එල්ල වෙමින් පවතී. දාහත්වැනි සහ දහඅටවැනි ගල් අඟුරු නැව් ගොඩබා ගත නොහැකිව මහා මුහුදේ පවතින පසුබිමක, වාරකන් සමය එළඹීමත් සමඟ මතුවිය හැකි බරපතළ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම පසෙකලා, ආණ්ඩුව අතීත ගනුදෙනු සෙවීමට ප්‍රමුඛතාව ලබා දීම මෙහිදී ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කෙරේ.
මාතර පැවති සම්මන්ත්‍රණයකදී හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මේ සම්බන්ධයෙන් දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් මෙසේ සඳහන් කළේය.
‘‘ගල් අඟුරු සහිත 17 වැනි නැවත් 18 වැනි නැවත් ගොඩ බා ගත නොහැකිව මහා මුහුදේ ගොඩගහලා තිබියදී විදුලි බිල හා තෙල් මිල ගැන කතා කරන විට කොමිසන් දාලා කට වහන්න හදනවා. දැන් වැසි වැටීගෙන එනවා. වාරකන් නැගගෙන එනවා අනුර කුමාර ඊට දුන්නු විසඳුමක් කුමක්ද? කියා අසන්න කැමැතියි.
ගල් අඟුරු අර්බුදය, වැඩිවන විදුලි බිල හා තෙල් මිල ගැන කතා කරන විට ඒවා වහගන්න විවිධ උපක්‍රම ආණ්ඩුව භාවිත කරනවා. අර්බුදයට විසඳුමක් නැති ආණ්ඩුව 2008 දී ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා ගල් අඟුරු ගත්තු හැටි ගැන හොයන්න පෙත්සමක් දමා තිබෙනවා මා දැක්කා. එවැනි දේ කරන්නේ මහ මුහුදේ නැව් දෙකක් ගල් අඟුරු ටික ගොඩ බාගත නොහැකිව මහ මුහුදේ පැද්දි පැද්දී තිබියදීයි. ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා ගැන ගැන පමණක් නොවෙයි චම්පික රණවක කරපුවා ගැනත් හොයන්න යනවා. ඕවා තමයි මේ අයගේ කතා. මේවා පිළිබඳ විගණන වාර්තා තිබෙනවා. කොමිසන් පත් කර තිබෙනවා. මේවා ගැන වාර්තා ඇතිකරලා තිබෙනවා.
මෙහි ප්‍රධානම ප්‍රශ්නය ටිල්වින් සිල්වා කියනවා අපි ගල් අඟුරු පිළිබඳ සොයන්න කොමිසමක් දැම්මා. ඒ කොමිසමෙන් මාස තුනක් ඇතුළත අපේ අය නිදහස් වෙනවා. අනෙක් අය හිරේ යනවා කියලා. එතකොට මේ කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු, මහාධිකරණ විනිසුරුවරයකු ඇතුළු අය පත් කර තිබෙනවා. මම ඒ කොමිසමට කියන්නේ වහාම ටිල්වින් සිල්වා කොමිසමට කැඳවා ඔහුට දඬුවම් දී පටන් ගන්න කියලා.
නැත්නම් ඔබේ කොමිසමේ නිර්දේශ සහ ඔබේ කොමිසමේ ඉදිරි විමර්ශනවලට ඒක ලොකු බාධාවක්. ඒ අයගේ සමාජ මාධ්‍ය දැන් කියාගෙන යනවා ප්‍රජා අයිතිය අහෝසි කරනවාලු. හිරේ විලංගුවේ දානවාලු. මම මේ පිරිසට කියන්න කැමැතියි පළමුව තමන්ගේ අඩුපාඩු ටික හදාගෙන මහ මුහුදේ තිබෙන ගල් අඟුරු නැව් දෙක ගොඩබාගෙන අර්බුදයට විසඳුම් හොයාගෙන ඉතිරි වැඩ කරන්න.’’
මෙම අර්බුදය හමුවේ ආණ්ඩුවේ හැසිරීම පැහැදිලිවම දේශපාලන උපාය මාර්ගයකි. කොමිසන් සභා හරහා තම පාර්ශ්වයේ පිරිස් නිදහස් කර ගනිමින් විරුද්ධවාදීන් සිරගත කරන බවට කරන ප්‍රකාශ, සැබෑ මහජන ගැටලු යටපත් කිරීමේ උපක්‍රමයකි. අතීත පාලන සමයන්හි සිදුවීම් සෙවීමට මේ මොහොතේ ප්‍රමුඛතාව දීමෙන් ගම්‍ය වන්නේ, වර්තමාන පරිපාලන අකාර්යක්ෂමතාව සහ සිදුරු වසා ගැනීමේ පැහැදිලි අවශ්‍යතාවයි.
අතීතයේ ප්‍රශ්න සහ දූෂණ විමර්ශනය කළ යුතු බව අවිවාදිත වුවත්, වර්තමානයේ ආණ්ඩුවේ සිදුරු වසා ගැනීමට අතීතයේ ජවනිකා මැවීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. මේ මොහොතේ ප්‍රමුඛතාව දිය යුත්තේ මුහුණ දී සිටින දැවෙන ප්‍රශ්නයට වහාම පිළියම් සෙවීමටය. එසේ නොමැතිව දිගින් දිගටම බාල ගල් අඟුරු ගෙන ආ නැව් මෙන්ම නව හදිසි මිලදී ගැනීම් හරහා ගෙන එන නැව් වසන් කිරීම ගැටලුව තවත් උග්‍ර කරන්නකි.
අතීතයේදී ද මෙවැනි බාල ගල් අඟුරු ගැටලු මතු වූ අවස්ථාවලදී එවකට සිටි බලධාරීන් කඩිනම් සහ තීරණාත්මක පියවර ගනිමින් ඒවා නිවැරදි කිරීමට කටයුතු කළ ආකාරය ඉතිහාසය සාක්ෂි දරයි. 2012 වසරේ දෙසැම්බර් මස දී ලංකා කෝල් කම්පැනි ආයතනය විසින් ගෙන්වන ලද ගුණාත්මකභාවයෙන් තොර පළමු ගල් අඟුරු නැව්ගත කිරීම් දෙකම ප්‍රතික්ෂේප කිරීමටත්, ගොඩබා නොමැති තුන්වන තොගය ද ප්‍රතික්ෂේපිත ලෙස සැලකීමටත් එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වහාම උපදෙස් දී ඇත. එපමණක් නොව, ලක්විජය බලාගාරයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වයට බාධාවක් නොවන පරිදි විදුලිබල මණ්ඩලයේ ද අනුමැතිය මත වහාම වෙනත් ආයතනයකින් (M/s. Nobel) හදිසි ඇණවුම් ලබා දීමට ද එහිදී පියවර ගෙන ඇත. මෙයින් තහවුරු වන්නේ අර්බුදයකදී කොමිසන් පත් කරමින් කල් මරනවා වෙනුවට, ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් ඍජු හා කඩිනම් තීරණ ගැනීමේ වැදගත්කමයි.
මේ වන විට නැව් ගමනාගමනයට දැඩි ලෙස බාධා පමුණුවන වාරකන් කාලය එළඹ තිබීමෙන් මෙම ගල් අඟුරු අර්බුදය තවත් සංකීර්ණ වී ඇත. විසඳුම් නොමැතිව මහා මුහුදේ නැව් රස්තියාදු වෙද්දී සහ නව හදිසි මිලදී ගැනීම්වල තොරතුරු වසන් කරද්දී, මේ සියලු පරිපාලනමය සහ දේශපාලනමය අකාර්යක්ෂමතාවල සමස්ත බර දැරීමට සිදුව ඇත්තේ මෙරට සාමාන්‍ය ජනතාවටය. එහි ආසන්නතම සහ කටුකතම ප්‍රතිවිපාකය වන්නේ ජනතාවට දැරිය නොහැකි සේ යළිත් වරක් විදුලි බිල ඉහළ යාමය. පාලකයින්ගේ අදූරදර්ශී තීරණ සහ අතීතය හාරමින් වර්තමානය මගහැරීමේ දේශපාලන ක්‍රීඩාවේ වන්දිය, අවසානයේදී සාමාන්‍ය ජනයා සිය විදුලි බිලෙන් ගෙවමින් සිටිති.
# නිරෝමි සුබ්‍රමනියම්

