SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පිළිකාවක් වැළඳුණු බව දැනගන්නා මොහොතේ සිට රෝගියෙකු සහ ඔහුගේ පවුලේ උදවිය මරණය සමඟ

සටනක් ආරම්භ කරති. එම සටනේදී ඔවුන්ට ඇති එකම සහ ප්‍රධානතම ආයුධය වන්නේ රජයේ නිදහස් සෞඛ්‍ය සේවයයි. එහෙත් අද වන විට ශ්‍රී ලංකාවේ පිළිකා මර්දන සේවාව දෙස බලන විට පෙනී යන්නේ, රෝගියා පිළිකා සෛල සමඟ සටන් කිරීමටත් පෙර, සෞඛ්‍ය පද්ධතියේ පවතින පරිපාලනමය අකාර්යක්ෂමතාව සහ යන්ත්‍රෝපකරණ හිඟය නමැති "මාරයා" හමුවේ පරාජය වෙමින් පවතින බවයි.

 

 

විකිරණ ප්‍රතිකාර: වසරක පොරොත්තු ලේඛනය මරණ වරෙන්තුවක්ද?

විකිරණ ප්‍රතිකාර (Radiation Therapy) යනු පිළිකා මර්දනයේදී කාලයත් සමඟ තරඟ කරමින් ලබා දිය යුතු ප්‍රතිකාරයකි. දැනට ක්‍රියාත්මක විය යුතු යන්ත්‍ර පහෙන් දෙකක්ම අක්‍රිය වීම යනු ධාරිතාවෙන් 40%ක්ම ඇණහිටීමකි. අවිස්සාවේල්ලෙන් පැමිණි රෝගියෙකු පවසන පරිදි, ප්‍රතිකාර ආරම්භ කිරීමට වසරකට වැඩි කාලයක් බලා සිටීමට සිදුවීම ශෝචනීය තත්ත්වයකි.

 

ප්‍රතිකාරයක් සඳහා වසරක් බලා සිටීම යනු පිළිකාවට ශරීරය පුරා පැතිරීමට රජය විසින් බලපත්‍රයක් ලබා දීම වැනි ය. රෝහලට රෝහලට රක්තහීනතාවයෙන් පෙළෙමින් රෝගීන් පැමිණෙන විට, "කවදාද?" යන ප්‍රශ්නයට පිළිතුරක් දීමට බලධාරීන් අපොහොසත් වීම වෘත්තීයමය මෙන්ම මානුෂීය වශයෙන්ද බරපතළ බිඳවැටීමකි.

 

 

PET ස්කෑන් සේවාව අත්හිටුවීම: රතු පටියට හිරවූ මිනිස් ජීවිත

මාර්තු 27 සිට PET ස්කෑන් පරීක්ෂණ නතර වීම පිළිකා ප්‍රතිකාර ක්‍රියාවලියේ මාරාන්තික හිඩැසක් නිර්මාණය කර ඇත. පිළිකාව කොතෙක් දුරට පැතිරී ඇත්දැයි හඳුනාගැනීමට ඇති ප්‍රධානතම පරීක්ෂණය මෙලෙස අඩාල වී ඇත්තේ FDG රසායනිකය ආනයනය කිරීමට නොහැකි වීම නිසාය.

 

මෙහි ඇති පුදුමයට කරුණ වන්නේ මෙය මුදල් නොමැතිකම නිසාම සිදුවූවක් නොව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක පවතින "තාක්ෂණික ගැටලුවක්" මත පදනම් වූවක් වීමයි. ඖෂධ වර්ගීකරණය වෙනස් කරන ලෙස සැපයුම්කරුට උපදෙස් දී, එය ඉටු කළ පසුවත් අනුමැතිය ලබා දීමට ප්‍රමාද කිරීම හරහා බලධාරීන් සිදුකරන්නේ රෝගීන් පෞද්ගලික අංශය වෙත තල්ලු කිරීමද යන සාධාරණ සැකය මතු වේ.

 

 

රුපියල් ලක්ෂ තුනේ පීඩනය සහ පෞද්ගලික අංශයේ ඒකාධිකාරය

රජයේ රෝහල්වල පරීක්ෂණ නතර වන විට රෝගියාට ඇති එකම විකල්පය පෞද්ගලික අංශයයි. එහෙත් PET ස්කෑන් පරීක්ෂණයකට රුපියල් 300,000ක් වැය කිරීමට ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වැසියෙකුට ඇති හැකියාව කෙතරම්ද? මෙම හිඟය නිසා පෞද්ගලික අංශයේ සේවාව පවා අවිනිශ්චිත වීමෙන් පෙනී යන්නේ සමස්ත පද්ධතියම අගාධයකට වැටී ඇති බවයි.

 

 

විසඳුම්: ප්‍රමාද වී පැමිණෙන සහනය

දිගුකාලීන ප්‍රමාදයකින් පසුව හෝ රේඛීය ත්වරණකාරක (Linear Accelerator) යන්ත්‍ර පහක් ලබා ගැනීමට කටයුතු කිරීම අගය කළ යුතුය. විශේෂයෙන් අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල වැනි ප්‍රදේශවලට මෙම යන්ත්‍ර ලබා දීම හරහා කොළඹට පවතින තදබදය අඩුවනු ඇත. එහෙත් ගැටලුව වන්නේ මෙම යන්ත්‍ර ස්ථාපනය කර රෝගීන්ට සේවය සැලසීමට තවත් කොපමණ කාලයක් ගතවේද යන්නයි.

 

 

නිගමනය

 

පිළිකා රෝගීන්ට අවශ්‍ය වන්නේ පොරොන්දු හෝ සැලසුම් නොව, අද දවසේ තමන්ගේ ජීවිතය රැක දෙන ප්‍රතිකාරයයි. යන්ත්‍ර අලුත්වැඩියාව, රසායනික ද්‍රව්‍ය ආනයනය සහ පරිපාලනමය බාධා ඉවත් කිරීම යුදකාලීන හදිසියකින් යුතුව සිදු කළ යුත්තකි. මන්ද, පරිපාලනමය "රතු පටි" ලිහන තෙක් පිළිකා සෛල බලා සිටින්නේ නැත. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ නියාමන අධිකාරිය මීට වඩා වගකීමෙන් බැඳී සිටිය යුතුය. මන්ද මේ දියවී යන්නේ යන්ත්‍ර නොව, රටක මිනිස් ජීවිතය.

 

 

#සමාරා පරණවිතාන

නවතම ලිපි