SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

- දේශපාලන විශ්ලේෂණය

 

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග දේශපාලන කරළිය උණුසුම් වී ඇති පසුබිමක,

බාල ගල්අඟුරු ගෙන්වූ සමාගමට එරෙහිව රජය ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී තීරණාත්මක අනාවරණයක් සිදු කළේය. එහිදී ඔහු අවධාරණය කළේ විදුලිබල අමාත්‍යාංශය විසින් ගල්අඟුරු ආනයනය කළ සමාගමෙන් රුපියල් කෝටි 915කට ආසන්න මුදලක් මේ වනවිටත් රඳවාගෙන ඇති බවයි.

 

 

මෙම ගල්අඟුරු අර්බුදය සම්බන්ධයෙන් මුල සිටම අමාත්‍ය බිමල් රත්නායක පක්ෂය තුළ දැඩි ස්ථාවරයක සිටි බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි. පක්ෂ සාමාජිකයින් පවසන්නේ, වංචා චෝදනා සහ අක්‍රමිකතා හමුවේ ජනතා අදහස්වලට කන්දී බලශක්ති ඇමතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු යැයි යන ස්ථාවරයේ ඔහු මුල සිටම පසුවූ බවයි. පක්ෂයේ මතවාදයෙන් සහ ප්‍රතිපත්තිවලින් පිටතට යන්නන්ට එරෙහිව විවේචනාත්මක ප්‍රතිචාර දක්වමින්, පක්ෂයේ අභ්‍යන්තර ශික්ෂණය සහ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට ඔහු ගන්නා උත්සාහය මේ හරහා යළිත් ඔප්පු වී ඇත. මේ හේතුවෙන්ම, පක්ෂයේ මූලික දෘෂ්ටිවාදය වෙනුවෙන් පෙනී සිටින, තියුණු විවේචන ගෙන එන නායකයෙකු ලෙස බිමල් රත්නායක මේ වනවිටත් පක්ෂයේ බිම් මට්ටමේ පාක්ෂිකයින්ගේ නොමද පැසසුමට බඳුන් වී තිබේ.

 

 

එම දැඩි ප්‍රතිපත්තිමය පසුබිම තුළ අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, බාල ගල්අඟුරු සැපයීම හේතුවෙන් සිදුව ඇති පාඩුව කිසිසේත් රජයට හෝ ජනතාවට දැරීමට ඉඩ නොතබන බවයි. සිදුව ඇති අලාභය අදාළ ගල්අඟුරු සැපයුම් සමාගම විසින්ම දැරිය යුතු බව ඔහු දැඩිව ප්‍රකාශ කළේය.

 

 

කෝටි 915ක මුදල රඳවාගත්තේ කෙසේද?

 

 

අමාත්‍යවරයා පැහැදිලි කළ ආකාරයට, නැව් 3කට අදාළව රුපියල් කෝටි 500කට අධික මුදලක් අදාළ සමාගමට ගෙවීමට නියමිතව තිබුණද, පරීක්ෂණ වාර්තා අසමත් වීම හේතුවෙන් එම ගෙවීම් සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇත. ඊට අමතරව, සමාගම සමග ඇතිකර ගත් කාර්යසාධන බැඳුම්කරය (Performance Bond) අනුව ඩොලර් මිලියන 15ක, එනම් රුපියල් කෝටි 450ක මුදලක්ද රජය සතුව පවතී. ඒ අනුව සමස්තයක් ලෙස රුපියල් කෝටි 960ක පමණ මුදලක් මෙරට සතුව සුරක්ෂිතව පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

 

"ආනයනය කළ ගල්අඟුරුවල උපදින බලශක්තියේ අඩුවක් තිබෙනවා. ඒකෙන් පාඩුවක් වෙනවා. ගණනය කරලා තිබෙනවා බාල ගල්අඟුරු නිසා රුපියල් මිලියන 8,000 (කෝටි 800)ක් පාඩු වෙන්න පුළුවන් කියලා. හැබැයි අපි කෝටි 915ක් රඳවාගෙන තිබෙනවා. ඒ නිසා මේකේ කිසිම පාඩුවක් ජනතාවට වෙන්නේ නෑ,"

යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

 

තවද, මේ හේතුවෙන් සිදුවන පාඩුව විදුලි බිලට කිසිසේත් එකතු නොකරන බවට මහජන උපයෝගීතා කොමිසම ද පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය. සැපයුම්කරු වරායේ පරීක්ෂණාගාරයෙන් අසමත් වුවහොත් කිසිදු මුදලක් නොගෙවන බවත්, සමත් වී ආවද ආරම්භයේදී 80%ක් පමණක් ගෙවන පදනම යටතේ රජය ආරක්ෂිත පියවර ගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.

 

 

දූෂණයට එරෙහිව නැගෙන හඬ සහ ඉදිරි දේශපාලන දිශානතිය

 

මෙහිදී අමාත්‍යවරයා ගෙන ඇති පියවර හුදෙක් මුදල් රඳවා ගැනීමකට පමණක් සීමා නොවේ. එය දූෂිත ව්‍යාපාරික මාෆියාවලට සහ අකාර්යක්ෂම පරිපාලනයට එරෙහිව රජයක් ලෙස ගත හැකි දැඩිම ප්‍රතිපත්තියකි. ජනතාවගේ බදු මුදල් සහ විදුලි බිලෙන් අයකරන මුදල් අයුතු ලෙස ගසාකෑමට කිසිදු සමාගමකට ඉඩ නොදෙන බවට බිමල් රත්නායක ලබාදෙන මෙම ප්‍රායෝගික පණිවිඩය අතිශය තීරණාත්මක එකකි.

 

 

සමස්තයක් ලෙස ගත් කල, මෙම සිදුවීමෙන් ගම්‍ය වන්නේ හුදෙක් ගල්අඟුරු ටෙන්ඩරයක සිදුවූ මූල්‍යමය ගැටළුවක් පමණක් නොවේ. පක්ෂ අභ්‍යන්තරයේ පවතින දැඩි විනය සහ දූෂණයට එරෙහිව නැගෙන හඬ කොතරම් ප්‍රබලද යන්න මින් පැහැදිලි වේ. කැබිනට් අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම දක්වා මෙම අර්බුදය දුරදිග යාම පිටුපස ඇත්තේ, බිමල් රත්නායක වැනි නායකයින් පක්ෂයේ මූලික දෘෂ්ටිවාදය සහ ප්‍රතිපත්තිගරුක දේශපාලනය කිසිදු තත්වයක් යටතේ පාවා නොදීමයි. ජනතාව අපේක්ෂා කරන පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේලා මෙවැනි මැදිහත්වීම් බිම් මට්ටමේ පාක්ෂිකයාගේ පමණක් නොව, පොදු මහජනතාවගේද දැඩි විශ්වාසය දිනාගැනීමට සමත්වනු ඇත.

 

 

# සමාරා පරණවිතාන

නවතම ලිපි