මහ බැංකුවේ 'නිද්‍රාශීලී' නියාමනය සහ බිඳවැටුණු පාරිභෝගික විශ්වාසය
ඕනෑම රටක ආර්ථිකයේ ජීව රුධිරය වන්නේ එරට බැංකු සහ මූල්‍ය පද්ධතිය කෙරෙහි ජනතාව තබා ඇති
අඛණ්ඩ විශ්වාසයයි. එහෙත්, මෑතකාලීනව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මහා පරිමාණ මූල්‍ය වංචා, බැංකු අභ්‍යන්තර මංකොල්ලකෑම් සහ නීතිවිරෝධී පිරමීඩ ජාවාරම් දෙස බලන විට, මෙරට බැංකු පද්ධතිය කඩා වැටීමකට ආසන්න වී ඇත්දැයි බරපතල සැකයක් මතු වේ. මේ සියල්ල මැද වඩාත්ම ඛේදනීය තත්ත්වය වන්නේ, විශාල මහජන මුදලක් වැය කරමින් නඩත්තු කෙරෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන සහ අධීක්ෂණ ඒකකයන් අනුගමනය කරන 'නිද්‍රාශීලී' ප්‍රතිපත්තියයි.
සාමාන්‍ය පුරවැසියෙකු රුපියල් සියයක් රටින් පිටතට ගෙන යාමට උත්සාහ කළහොත් ඒ සඳහා පිටු ගණනාවක ප්‍රශ්නාවලියකට පිළිතුරු දීමට බලකරන මහ බැංකුව, බිලියන ගණනින් මහජන මුදල් රටින් පිටවෙද්දීත් ඒ බවක් නොදැන සිටීම විහිළුවක් ද? නැතහොත් හිතාමතාම දෑස් පියාගෙන සිටීමක් ද?
NDB මහා බැංකු මංකොල්ලය: අධීක්ෂණයේ නිරුවත
ජාතික සංවර්ධන බැංකුව (NDB) තුළ වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ බව කියන රුපියල් බිලියන 13.2 ක මහා පරිමාණ වංචාව, හුදෙක් බැංකු සේවකයින් කිහිපදෙනෙකුගේ අතපසුවීමක් ලෙස ලඝු කළ නොහැක. මෙය මෙරට බැංකු ඉතිහාසයේ සිදුවූ බරපතලම අභ්‍යන්තර මූල්‍ය අවභාවිතාවන්ගෙන් එකකි.
විපක්ෂයේ මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී මතු කළ පරිදි, 2023 වසරේදී ගිණුම් 3,100ක් හරහාත්, 2024 දී ගිණුම් 12,100ක් දක්වාත් ව්‍යාප්ත වෙමින් රුපියල් මිලියන 12,800ක් පමණ රටින් පිටතට ගලා ගොස් ඇත. සේවක අර්ථසාධක අරමුදල (EPF) පවා ආයෝජනය කර ඇති මෙවැනි ප්‍රමුඛ පෙළේ බැංකුවක මෙතරම් දැවැන්ත අක්‍රමිකතාවයක් සිදුවෙද්දී, මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව කළේ කුමක්ද?
මෙය එක් රැයකින් සිදුවූවක් නොවේ. 2022/2023 කාලසීමාවේ සිටම ක්‍රමානුකූලව මෙම වංචාව සිදුවී ඇති බව පෙනී යයි. බැංකුවක අභ්‍යන්තර විගණනය, අභ්‍යන්තර පාලනය සහ භ්‍රමණ මූලධර්ම (Rotation principles) කිසිවක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැත. මහ බැංකුව පසුව නිවේදනයක් නිකුත් කරමින්, "මෙම පාඩුව නොතකා බැංකුවේ ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාව යහපත් මට්ටමක පවතින බව" ප්‍රකාශ කිරීමෙන් පමණක්, බිඳවැටුණු මහජන විශ්වාසය යළි ගොඩනැගිය නොහැක. එය හුදෙක් වගකීමෙන් පලායාමක් පමණි.
වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ භූමිකාව: නොහැකියාවද? නොසැලකිල්ලද?
මෙහිදී තීරණාත්මකව ප්‍රශ්න කළ යුතු වන්නේ වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ භූමිකාවයි. ඔහු මෙම තනතුරට පත්වූයේ 2022 වසරේ ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේදීය. NDB බැංකුවේ මහා පරිමාණ සොරකම ආරම්භ වී ඇත්තේ ද හරියටම මෙම කාලසීමාව තුළදීමය.
ආර්ථිකය ගොඩගැනීමේ "දක්ෂයෙකු" ලෙස පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබා දුන්නද, වසර ගණනාවක් පුරා තමන්ගේ නහය යටින් රුපියල් බිලියන ගණනක මුදලක් වංචා සහගත ලෙස බැංකු පද්ධතියෙන් ගිලිහී යද්දී එය හඳුනා ගැනීමට මහ බැංකුවේ විමර්ශන ඒකකවලට හෝ අධිපතිවරයාට නොහැකි වූයේ ඇයි? මෙය හුදෙක් රාජකාරිමය නොහැකියාවක් ද, නැතහොත් ඉහළ පෙළේ මූල්‍ය අපරාධ හමුවේ ක්‍රියාත්මක වීමට ඇති අකමැත්තක් හෝ අවශ්‍යතාවක් නොමැතිකමක් ද යන්න බරපතල ලෙස විමර්ශනය කළ යුතුව ඇත.
පිරමීඩ ජාවාරම්, අල්ලස් චෝදනා සහ අවිධිමත් ආයෝජන
බැංකු පද්ධතිය තුළ පමණක් නොව, ඉන් පිටතද මූල්‍ය අවිධිමත්භාවය රජ කරමින් තිබේ.
Onmax DT ජාවාරම:
රුපියල් කෝටි 3,000 කට අධික මුදලක් රටින් පිට කළ බව කියන ඔන්මැක්ස් ඩීටී පිරමීඩ වංචාව යටපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මහ බැංකුවට රුපියල් ලක්ෂ 50 ක අල්ලසක් ලබා දී ඇති බවට ජනාධිපතිවරයා වෙත පැමිණිලි ලැබී ඇත. දේශපාලනඥයින්ගේ මැදිහත්වීම් සහ අමාත්‍ය පුත්‍රයෙකුට කෝටි 6ක මුදලක් ලබාදුන් බවට වන චෝදනා හමුවේ, මහ බැංකුව සහ නීති ක්‍රියාත්මක කරන ආයතන නිහඬව සිටීමෙන් ගම්‍ය වන්නේ කුමක්ද?
සදාහරිත මැඩගස්කර් ව්‍යාපෘතිය:
මහ බැංකුවේ කිසිදු ලියාපදිංචියකින් තොරව "ප්ලාන්ටේෂන්" (Plantation) නාමයට මුවා වී ජනතාවගෙන් ආයෝජන තැන්පතු ලබා ගැනීම දිරාපත් වූ නියාමන පද්ධතියක තවත් ප්‍රතිඵලයකි. මහෝගනී සහ රඹුටන් වගාවන්ගෙන් මුදල් ඉපයීමට නොහැකි වූ පසු, අන්තර්ජාතිකව තහනම් කළ "මනී රෝටේෂන්" (Money Rotation) ක්‍රම හරහා මුදල් ගෙවමින්, දැන් මැඩගස්කරයේ වැනිලා වගා කරන බව පවසමින් ජනතාවගේ මුදල් සූරාකෑමට ඉඩ දී, මහ බැංකුව හුදෙක් "අපේ ලියාපදිංචියක් නැත, පරිස්සම් වන්න" යැයි නිවේදනයක් නිකුත් කර අත් පිහදා ගනී.
පාර්ලිමේන්තුව මගහැරීම සහ වගවීමෙන් තොර 'ස්වාධීනත්වය'
රවී කරුණානායක මන්ත්‍රීවරයා විසින් මතු කරන ලද වරප්‍රසාද ප්‍රශ්නයෙන් තවත් බරපතල කාරණයක් අනාවරණය වේ. එනම්, මහ බැංකුව ඇතුළු අදාළ බලධාරීන්, පාර්ලිමේන්තුවේ සහ COPF (රජයේ මුදල් පිළිබඳ කාරක සභාව) වැනි කමිටුවල ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දීම මගහරිමින් සිටින බවයි.
ඩිජිටල් මුදල් නියාමනය, ඩොලර් සංචිත භාවිතය සහ බැංකු පද්ධතියේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ජනතා නියෝජිතයින් අසන ප්‍රශ්නවලට පිළිතුරු නොදීම, හුදෙක් ක්‍රියාපටිපාටිමය ගැටළුවක් නොව ප්‍රජාතන්ත්‍රවාදී වගවීම උල්ලංඝනය කිරීමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උපදෙස් මත මෑතකදී හඳුන්වා දුන් "මහ බැංකු ස්වාධීනත්වය" යනු, පාර්ලිමේන්තුවට සහ ජනතාවට වගකීමෙන් තොරව, අත්තනෝමතික ලෙස කටයුතු කිරීම සඳහා ලබා දුන් ලියවිල්ලක් නොවිය යුතුය.
ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය අද පසුවන්නේ ගිනිකන්දක් මතය. NDB බැංකුවේ බිලියන ගණනක වංචාව, Onmax DT වැනි පිරමීඩ ජාවාරම් සහ අවිධිමත් තැන්පතු ආයතන වල ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන්නේ සමස්ත නියාමන පද්ධතියේම ඇති අකර්මණ්‍යතාවයයි.
වත්මන් මහ බැංකු අධිපතිවරයා ඇතුළු පාලනාධිකාරිය තම වගකීම් සහගත අධීක්ෂණ භූමිකාවෙන් ඉවත් වී, මාධ්‍ය නිවේදන නිකුත් කිරීමට පමණක් සීමා වන්නේ නම්, මෙරට මූල්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටීම කිසිවෙකුටත් වළක්වාලිය නොහැකි වනු ඇත. මහ බැංකුව තවදුරටත් ජාතියේ මූල්‍ය මුර බල්ලා මිස, මූල්‍ය අපරාධකරුවන්ට දොරටු විවර කර දෙන නිද්‍රාශීලී නිරීක්ෂකයෙකු නොවිය යුතුය.
# සමාරා පරණවිතාන

