පවතින රජයට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් සිදු කරන බවට චෝදනා කරමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක,
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ගේ ජංගම දුරකථනය අධිකරණ නියෝගයක් මත පොලිස් භාරයට ගෙන තිබේ.
ඒ අනුව ඊයේ (09) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිය ජංගම දුරකථනය භාර දීම සඳහා චම්පික රණවක අධිකරණයේ පෙනී සිටි අතර, අනතුරුව ඔහු සහ ඔහුගේ නීතිඥවරුන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලදී.
පාඨලී චම්පික රණවක වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ ශිරාල් ලක්තිලක සහ නීතිඥ රජික කොඩිතුවක්කු ඇතුළු නීතිඥ මණ්ඩලයක් අධිකරණයේ පෙනී සිටියහ.
"පොලිසිය වැඩ කරන්නේ පැලවත්තට ඕන විදිහට" - නීතිඥ ශිරාල් ලක්තිලක
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ නීතිඥ ශිරාල් ලක්තිලක කියා සිටියේ මෙය දේශපාලනීකරණය වූ, "වයර් මාරු වූ" නඩුවක් බවයි.
"චම්පික රණවක මහතා ආණ්ඩු විරෝධී විශාල කුමන්ත්‍රණයක් කරන බව පවසලා දුරකතනය ලබාගැනීමට උත්සාහ කරනවා. අපිට කිසි පැකිලීමක් නැතුව අධිකරණය වෙත දුරකථනය භාර දෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාවලිය දේශපාලනිකරණය උන නඩුවක්. පොලිසිය දේශපාලනීකරණය වෙලා ඉවරයි. දැන් පොලිසිය වැඩ කරන්නේ පලවත්තට ඕන විදිහට."
සාපරාධී කුමන්ත්‍රණයක් ඔප්පු කිරීමට නොහැකි වූ තැන, දුරකථනයේ ඇති පෞද්ගලික තොරතුරු හරහා හෝ දඬුවම් කිරීමට පොලිසිය උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය. එසේම, අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව විවේචනය කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුව පලවා හැරීමටත් පුරවැසියන්ට අයිතියක් ඇති බව ඔහු අවධාරණය කළේය. දේශපාලන දඩයම් සඳහා නීතියේ බලය භාවිත කිරීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
"මිථ්‍යාව බිඳවැටීමේ බිය සහ වෛරය නිසා මර්දනය කරනවා" - චම්පික රණවක
මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක කියා සිටියේ, පසුගිය දිනවල දෙමටගොඩ අපරාධ කොට්ඨාසය (CCD) සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසය තමන්ගෙන් විමසූ සියලු තොරතුරු ලබා දුන් බවයි. අධිකරණ නියෝගයක් මත දුරකථනය පරීක්ෂා කර තිබියදීත්, එය සම්පූර්ණයෙන්ම ලබාගැනීමට නියෝගයක් ගෙන ඇති බව ඔහු පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ට සෘජු පණිවිඩයක් ලබා දෙමින් පාටලී රණවක මෙසේ සඳහන් කළේය:
"අවුරුදු 30ක් 'අනිත් මිනිස්සු හොරු, ඔබතුමන්ලා පිරිසිදුයි' කියලා ගොඩනඟාගත්ත ප්‍රබන්ධය දැන් පසුගිය මාස 18 තුළ බිඳ වැටෙමින් තියෙනවා. ඒ වෙනුවෙන් අපි කරපු කාර්යභාරයක් තියෙනවා. ඇත්තට මුහුණ නොදී, ඇත්ත කියන අයව මර්දනය කිරීම ගැන අපි ලැජ්ජා වෙනවා. අනුර කුමාර මහත්තයට තමන් කියපු දේවල් නිසාම අද මහත් ලැජ්ජාවක් වෙලා තියෙනවා. නොහැකියාව නිසා බියක්, වෛරයක් ඇති වෙලා තියෙනවා."
හෙළිදරව් කළ වංචාවන් සහ දුරකථනයේ ඇති 'සංවේදී තොරතුරු'
පැලවත්තේ මර්දනයට තමන් බිය නොවන බවත්, යටත් නොවන බවත් පැවසූ රණවක, ඉදිරියටත් පහත සඳහන් වංචාවන් පිළිබඳව දැඩිව හෙළිදරව් කරන බව අවධාරණය කළේය:
- e-Visa වංචාව
- අතුරුදන් වූ කන්ටේනර් 323 සිද්ධිය (රේගු දෙපාර්තමේන්තුවේ කතා පසෙකලා, මුදල් අමාත්‍යාංශයේ වාර්තාවට අනුව කටයුතු කරන බව පවසයි)
- ගල් අඟුරු වංචාව
- රහසින් විදුලිය කැපීමට සහ වැඩි මිලට තෙල් ගෙන්වීමට එරෙහි වීම.
තම ජංගම දුරකථනය ලබාගැනීම පිටුපස වෙනත් 'යටි අරමුණක්' ඇති බවට සැක කරන බව පවසමින් පාඨලී රණවක බරපතළ අනතුරු ඇඟවීමක්ද සිදු කළේය.
"මේ දුරකථනයට තමයි දිට්වා සුළිකුණාටුවට සම්බන්ධ සංවේදී තොරතුරු ලැබුණේ. ඒ වගේම කන්ටේනර් වංචාව, e-Visa වංචාව, ගල් අඟුරු වංචාව ගැන සංවේදී තොරතුරු සහ ඔත්තුකරුවන්ගේ විස්තර එම දුරකථනයේ තියෙනවා. අනුර කුමාර මහත්තයාගේ ප්‍රබන්ධ ලෝකෙන් සත්‍ය ලෝකෙට බස්සන්න ඒ තොරතුරු ප්‍රමාණවත්. ඒ තොරතුරු ලබා ගැනීමේ යටි අරමුණක් තියනවද කියලා අපිට සැකයි. ඒ තොරතුරු ලබා දුන් අයට යම් කරදරයක් වුවහොත්, එහි වගකීම සම්පූර්ණයෙන්ම පොලිස්පතිවරයා භාරගත යුතුයි,"
යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

