ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකුවක් වන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇතැයි පැවසෙන
රුපියල් බිලියන 13.2ක දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා එම බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත කැඳවීමට නියමිත බව වාර්තා වේ.
බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම වංචාව සම්බන්ධයෙන් දැනටමත් බැංකු නිලධාරීන් කිහිපදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති අතර තවත් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
කොළඹ කොටස් වෙළෙඳපොළට නිල දැනුම්දීමක්

2026 අප්‍රේල් 6 වැනිදා NDB බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිල ලිපියක් යොමු කරමින් මෙම තත්ත්වය තහවුරු කර තිබේ. එම ලිපියට අනුව:
- බැංකුවේ අභ්‍යන්තර විමර්ශනයකින් රුපියල් බිලියන 13.2ක ආසන්න මූල්‍ය අක්‍රමිකතාවක් අනාවරණය වී ඇත.
- මෙම වංචාව බැංකුවේ එක් නිශ්චිත මෙහෙයුම් අංශයකට පමණක් සීමා වූවක් බව බැංකුව අවධාරණය කරයි.
රුපියල් මිලියන 290 වංචාව සහ පසුගිය සිදුවීම්
මෙම මහා පරිමාණ වංචාව කරළියට එන්නේ පසුගිය වසරේ (2025) අගභාගයේදී වාර්තා වූ තවත් මූල්‍ය වංචාවක අඛණ්ඩ පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමකය.
පසුගිය 2025 නොවැම්බර් මස 27 වැනිදා, බැංකුවේ පොදු ලෙජර් ගිණුමෙන් රුපියල් මිලියන 290ක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව නියෝජ්‍ය කළමනාකරුවෙකු සහ තොරතුරු තාක්ෂණ සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළු පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එහිදී හෙළි වූයේ අස්ථානගත වූ මුදල්වලින් කොටසක් අදාළ නිලධාරීන්ගේ පුද්ගලික ගිණුම්වලට බැර වී ඇති බවයි.
60කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දන්වා ඇත්තේ මෙම වංචා දාමයට සම්බන්ධ බැංකු නිලධාරීන් ඇතුළු සැකකරුවන් 60කට ආසන්න පිරිසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
2026 ජනවාරි 7 වැනිදා පැවැති නඩු විභාගයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, මෙය නොසලකා හැරිය නොහැකි බරපතළ සිදුවීමක් බැවින් විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසයි. මේ වන විටත් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වත්මන් පාලනාධිකාරිය
මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ NDB බැංකුවේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය මෙසේය:
- සභාපති: ශ්‍රියාන් කුරේ
- ප්‍රධාන විධායක නිලධාරී: කැලුම් එදිරිසිංහ
- අධ්‍යක්ෂ මණ්ඩලය: බර්නාඩ් සින්නයියා, සුජීව මුදලිගේ, කුෂාන් ද අල්විස්, කස්තුරි චෙල්ලරාජා, ශ්වේතා පාණ්ඩේ, හසිත ප්‍රේමරත්න, සංජය මොහොට්ටාල සහ ශනිල් ප්‍රනාන්දු.
[මෙම වංචා සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය කරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් (Sri Lanka Mirror) වෙබ් අඩවිය විසිනි. සිද්ධිය සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න].
පුවත් මූලාශ්‍රය - Sri Lanka Mirror

