(දේශපාලන හා ආර්ථික විශ්ලේෂණයකි)
ජීවන බරින් මිරිකී සිටින ජනතාවගේ කර මතට අද (අප්‍රේල් 08) යළිත් වරක් බිහිසුණු ආරංචියක් කඩා වැටී තිබේ. ඒ,
මේ වසරේ දෙවන කාර්තුව (අප්‍රේල්-ජුනි) සඳහා දැනටමත් ක්‍රියාත්මක කර ඇති 10% ක ගාස්තු වැඩිවීමට අමතරව, විදුලි ගාස්තු තවත් 15% කින් ඉහළ නංවන ලෙස අලුතින් ස්ථාපිත 'නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම' (National System Operator Pvt Ltd) විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් (PUCSL) නිල ඉල්ලීමක් කර තිබීමයි.

ජනතාවගේ හුස්ම හිරකරන මේ අතිරේක බර පිටුපස ඇත්තේ කුමක්ද? මෙය ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමක් නිසා සිදුවූවක් නොවේ. මේ අයකරන්නට හදන්නේ, ආයතනික දැවැන්තයින් සහ දූෂිත නිලධාරීන් එක්ව ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ප්‍රසම්පාදනය හරහා සිදු කළ මහා පරිමාණ මංකොල්ලයේ පාපතර වන්දියයි!
ට්‍රයිඩන්ට් සමාගමේ අසමත්කම සහ ලේකම්වරයාගේ 'නීතිය' දැන් පාරාවළල්ලක් වී ඇත!

සමස්ත විදුලිබල පද්ධතියම අර්බුදයකට ලක්වන්නේ ලක්විජය බලාගාරයට ගල් අඟුරු සැපයූ ට්‍රයිඩන්ට් චෙම්පාර් (Trident Chemphar) සමාගමේ අසමත්කමත් සමඟිනි. බලාගාරයේ ප්‍රශස්ත ක්‍රියාකාරීත්වයට අවම වශයෙන් කිලෝ කැලරි 5,900 ක (5,900 kcal/kg) තාපජනන අගයකින් යුත් ගල් අඟුරු අත්‍යවශ්‍ය වුවද, ඔවුන් සපයා තිබුණේ කිලෝ කැලරි 5,000 ක් පමණක් වූ ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරුය.

මෙම බාල ගල් අඟුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ. ටී. එම්. උදයංග හේමපාල මහතා අපූරු තර්කයක් ගෙන ආවේය. ඔහු පැවසුවේ "එක පිට එක නැව් දෙකක් ෆේල් වුණොත් (අසමත් වුණොත්) පමණයි ටෙන්ඩරය කැන්සල් කරන්න පුළුවන් වෙන්නේ" කියාය. දැන් ඒ සඳහා නිසි කාලය එළඹ ඇත! නවතම ආරංචි මාර්ග තහවුරු කරන්නේ ට්‍රයිඩන්ට් සමාගම විසින් ගෙන්වූ 1 වැනි සහ 9 වැනි නැව් අසමත් වී තිබූ පසුබිමක, මේ වන විට ඔවුන්ගේ 12 වැනි සහ 13 වැනි නැව් දෙකම එක පිට එක නිසි ප්‍රමිතිය ලබා දීමට නොහැකිව මුළුමනින්ම අසමත් වී ඇති බවයි. ලේකම්වරයාගේම ප්‍රකාශයට අනුව, දැන් තවත් කතා කිරීමට දෙයක් නැත; ට්‍රයිඩන්ට් සමාගමේ ගිවිසුම වහාම අවසන් කළ යුතුව ඇත.
හදිසි ටෙන්ඩරය: ධම්මික පෙරේරාගේ මැදිහත්වීම සහ ඩොලර් මිලියන ගණනක කොල්ලය
බාල ගල් අඟුරු නිසා විදුලි උත්පාදනය මෙගාවොට් 150කින් පහත වැටීමෙන් නිර්මාණය වූ මෙම ‘කෘත්‍රිම හදිසි තත්ත්වයට’ මුවා වෙමින්, බලධාරීන් විසින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000 ක් මිලදී ගැනීම සඳහා ක්ෂණික හදිසි ටෙන්ඩරයක් (Emergency Tender) කැඳවනු ලැබීය. මෙම මහා පරිමාණ ටෙන්ඩරය දිනා ගන්නේ Taranjot Resources නැමැති සමාගම විසිනි. මෙහි ඇති බරපතළම කාරණය වන්නේ, මෙම Taranjot සමාගමේ ශ්‍රී ලංකාවේ දේශීය නියෝජිතයා (Local Agent) ලෙස කටයුතු කරන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් ‘හේලීස්’ (Hayley’s) සමාගම වීමයි.
අක්ෂි විවර කරවන සත්‍යය සැඟවී ඇත්තේ මිල ගණන් තුළය. මීට පෙර අසමත් වූ ට්‍රයිඩන්ට් සමාගම පවා ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් සඳහා අය කළේ ඇමෙරිකානු ඩොලර් 98.50 කි. නමුත්, ධම්මික පෙරේරාගේ සමාගමේ මැදිහත්වීම සහිත Taranjot සමාගම මෙම හදිසි ටෙන්ඩරය යටතේ මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 142 ක අතිවිශාල මුදලක් නියම කර ඇත! ඒ අනුව, එක් මෙට්‍රික් ටොන් එකකින් පමණක් ඩොලර් 43.50 ක අමතර මුදලක් රටින් පිටවෙයි. සම්පූර්ණ ටොන් 300,000 සඳහා රටට අහිමි වන මහජන මුදල කොපමණද? අද 'නැෂනල් සිස්ටම් ඔපරේටර්' සමාගම මේ 15% කින් පියවා ගන්නට හදන්නේ අන්න ඒ දැවැන්ත කොමිස් කුට්ටිය සහ මූල්‍ය පාඩුව බව ඉතා පැහැදිලිය.
විගණකාධිපති හෙළිදරව්ව: ටැරන්ජොට් (Taranjot) ටෙන්ඩරය මුළුමනින්ම නීතිවිරෝධීයි!

මෙතරම් අධික මිලක් ගෙවා ගල් අඟුරු ගෙන්වන Taranjot සමාගමට ඒ සඳහා සුදුසුකම් තිබේද? ඊයේ, එනම් 2026 අප්‍රේල් 07 දිනැති ජාතික විගණකාධිපතිවරයාගේ නිල වාර්තාව මෙම දූෂිත නාඩගමේ තිරය සම්පූර්ණයෙන්ම ඉරා දමයි.
එම වාර්තාවට අනුව, Taranjot Resources යනු කිලෝ කැලරි 5,900 ක ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු වෙළෙඳාම් කිරීමේ හෝ සැපයීමේ කිසිදු පූර්ව අත්දැකීමක් නොමැති සමාගමකි. දෙවන වර ලංසු කැඳවීමේදී ඔවුන් අනිවාර්ය ලියාපදිංචි නිර්ණායක පවා සපුරා නොතිබූ අතර, එබැවින් ඔවුන්ගේ ලියාපදිංචිය නීතිය ඉදිරියේ සම්පූර්ණයෙන්ම බලරහිත (null and void) වේ. එසේ නම්, ලියාපදිංචියක් හෝ සුදුසුකමක් නොමැති සමාගමකට හේලීස් සමාගමේද අනුග්‍රහය සහිතව මෙතරම් දැවැන්ත ටෙන්ඩරයක් පිරිනැමුවේ කෙසේද? මෙය පැහැදිලිවම රජයේ ඉහළ බලධාරීන් සහ ආයතනික අංශය එක්ව සිදු කළ සංවිධානාත්මක මහා පරිමාණ දූෂණයක් (Large scale corruption and malpractice) බව අමුතුවෙන් කිව යුතු නැත.

වහාම කළ යුත්තේ කුමක්ද?
සාමාන්‍ය ජනතාවට විදුලි බිල ගෙවාගත නොහැකිව අඳුරේ සිටීමට සිදුවෙද්දී, සුදුසුකම් නැති සමාගම්වලට ටෙන්ඩර් ලබා දෙමින් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් කොල්ලකෑමට ඉඩ දිය නොහැක. තමන්ගේ සාක්කුවට විදින මේ ජාතික අපරාධයට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුය.
- ට්‍රයිඩන්ට් ගිවිසුම අවලංගු කරනු: අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියමයටම අනුව, එක පිට එක 12 සහ 13 නැව් අසමත් වී ඇති බැවින් සහ 1, 9 නැව්ද අසමත් වූ බැවින්, ට්‍රයිඩන්ට් චෙම්පාර් සමාගමේ ගිවිසුම වහාම අවසන් කළ යුතුය.
- ටැරන්ජොට් ටෙන්ඩරය අවලංගු කරනු: නීතිවිරෝධී ලියාපදිංචියක් සහ පළපුරුද්දක් නොමැතිව, ධම්මික පෙරේරාගේ සමාගම හරහා පැමිණි Taranjot Resources සමාගමට පිරිනමා ඇති මෙට්‍රික් ටොන් 300,000ක අධිමිල හදිසි ටෙන්ඩරය වහාම අවලංගු කළ යුතුය.
- අදාළ සමාගම් අසාදු ලේඛනගත කරනු; ජාතික ධනය කොල්ලකෑමට උත්සාහ කළ අදාළ විදේශීය සමාගම් සහ ඊට අනුබල දුන් දේශීය නියෝජිතයින් වහාම අසාදු ලේඛනගත (Blacklist) කළ යුතුය.
- දූෂිත ටෙන්ඩර්වල අලාභය ජනතාව මත පැටවීම වෙනුවෙන් 'නැෂනල් සිස්ටම් ඔපරේටර්' සමාගම කළ මේ අසාධාරණ 15%ක වැඩි කිරීමේ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම විසින් වහාම ප්‍රතික්ෂේප කළ යුතුය.
මේ දූෂිත ටෙන්ඩර වහාම අවලංගු නොකළහොත්, මේ මාෆියාව ඉදිරියේ PUCSL ආයතනය දණ නැමුවහොත්, දැනටමත් වැඩි කර ඇති 10% ට අමතරව තවත් 15% ක අකුණක් ජනතාවගේ හිසමත කඩා වැටෙනු නිසැකය. මේ හෙළිදරව්ව, ඒ අඳුරු අනාගතයට එරෙහිව දැල්වූ පළමු විදුලි පන්දමයි!
#සමාරා පරණවිතාන

