ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථානයක් වන ලක්විජය බලාගාරයේ 2025/26 ගල් අඟුරු ප්‍රසම්පාදනය
හුදු පරිපාලනමය අතපසුවීමක් නොව, පූර්ව සැලසුම් සහගතව සිදුකළ මූල්‍ය අපරාධයක් බව ආයතන දෙකකින් නිකුත් වූ විශේෂ වාර්තා මගින් දැන් මනාව තහවුරු වී තිබේ. එහෙත් මේ සියල්ලටම වඩා බරපතල වන්නේ රටේ ඉහළම දේශපාලන අධිකාරිය පවා මෙම දූෂිත ක්‍රියාවලියට ලබාදෙන අතාර්කික ආරක්ෂාවයි.
1. ජනාධිපතිවරයාගේ සහතිකය සහ විගණනයේ අතුල් පහර
මෙම ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ඊයේ (අප්‍රේල් 07) දින පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර මහතා විසින් සිදුකළ ප්‍රකාශයත් සමඟ අර්බුදය තවත් උණුසුම් මුහුණුවරක් ගත්තේය. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, "ගල් අඟුරු බාල බව සත්‍යයක් වුවද, ටෙන්ඩර් ප්‍රසම්පාදනයේ කිසිදු ප්‍රශ්නයක් නොමැති" බවයි.
එහෙත් එම ප්‍රකාශය සිදුකර සුළු වේලාවකින් නිකුත් වූ ජාතික විගණන කාර්යාලයේ විශේෂ විගණන වාර්තාව, ජනාධිපතිවරයාගේ එම සහතිකය මුළුමනින්ම අභියෝගයට ලක් කරමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින බරපතලම දෝෂ සහ අක්‍රමිකතා ජාතිය හමුවේ නිරුවත් කළේය. ජනාධිපතිවරයා විසින් "නිවැරදියි" කියූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ජාතික ධනය කොල්ලකෑ ආකාරය මෙම වාර්තා ද්විත්වය මගින්ම මනාව පෙළගස්වා ඇත.
2. දූෂණයට පාර කැපීම: නීති නැමීම සහ කූට සැලසුම්කරණය
අර්බුදයේ මූලය ආරම්භ වන්නේ ගල් අඟුරු ගොඩබෑමට පෙර සිටමය. විගණකාධිපතිවරයා පෙන්වා දෙන පරිදි, ලංකා ගල් අඟුරු සමාගම (LCC) 2023 වසරේදී සැපයුම්කරුවන්ගේ ලියාපදිංචි වීමේ සුදුසුකම් හිතාමතාම පහත හෙළා ඇත. ගල් අඟුරු සැපයීමේ අවම අත්දැකීම් සීමාව මෙට්‍රික් ටොන් මිලියනයේ සිට ලක්ෂ 5 දක්වාත්, ඉහළ කැලරි අගයක් සහිත ගල් අඟුරු සැපයීමේ සීමාව ටොන් 500,000 සිට 100,000 දක්වාත් අඩු කිරීම හරහා ප්‍රමිතියෙන් තොර සැපයුම්කරුවන්ට ටෙන්ඩරයට රිංගා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන කොන්ත්‍රාත්තුව හිමිකරගත් ට්‍රයිඩන්ට් කෙම්ෆාර් (Trident Chemphar) සමාගම, ටෙන්ඩරය ප්‍රදානය කරන අවස්ථාව වන විටත් සිය ලියාපදිංචි ගාස්තු හෝ ගෙවා සම්පූර්ණයෙන් ලියාපදිංචි වී සිටි ආයතනයක් නොවේ. තවද, 2025 නොවැම්බර් 13 සිට දෙසැම්බර් 30 දක්වා වූ දින 40 ක කාලගුණික කවුළුව (Weather window) තුළ එකදු ගල් අඟුරු නැවක් හෝ ගෙන්වා ගැනීමට LCC අපොහොසත් වී ඇති අතර , මෙම කෘත්‍රිම හිඟය මවාපෑමේ අවසන් ප්‍රතිඵලය වූයේ, කිසිදු අත්දැකීමක් නොමැති Taranjot Resource නැමති සමාගමකට හදිසි මිලදී ගැනීම් (Emergency spot tender) යටතේ අත්තනෝමතික ලෙස ටෙන්ඩරයක් ප්‍රදානය කිරීමයි.
3. වංචාවේ සහතිකය: කල් ඉකුත් වූ අක්තපත්‍ර සහ ගෙවීම් ජාවාරම
මෙම ගනුදෙනුවේ වඩාත්ම සහාසික හෙළිදරව්ව වන්නේ තත්ත්ව පරීක්ෂණ වාර්තාවල (Inspection Reports) වලංගුභාවයයි. පටවන වරායේදී අදාළ සහතික නිකුත් කර ඇති ඉන්දුනීසියානු සමාගමේ (PT Mitra SK Analisa Testama Samarinda) අක්තපත්‍ර 2025 දෙසැම්බර් 29 දිනෙන් අවලංගු වී තිබියදීත් , එම ආයතනය මගින්ම නිකුත් කළ සහතික පදනම් කරගෙන නැව් 12 ක් සඳහාම LCC විසින් ගෙවීම් කර ඇත.
වඩාත් බරපතල කරුණ නම්, එක් නැවක වටිනාකමින් 80% ක්ම ගෙවා ඇත්තේ මෙම කල් ඉකුත් වූ නියෝජිතායතනය නිකුත් කළ සහතික මත පදනම්ව වීමයි. ගල් අඟුරු තොගය සම්බන්ධයෙන් සැකයක් මතු වූ විට නැවත පරීක්ෂා කිරීමේ කොන්ත්‍රාත්තුමය අයිතියක් LCC සතුව තිබුණද , ඉතිරි 20% ක මුදල ගෙවීමේදී පවා එම නීතිමය පිළියම් භාවිතා කිරීමට බලධාරීන් කටයුතු කර නැත. ප්‍රසම්පාදනයේ "කිසිදු දෝෂයක් නැතැයි" ජනාධිපතිවරයා පවසන්නේ මෙවැනි පසුබිමකය.
4. බලාගාරය තුළ යථාර්ථය: බොරු කැලරි සහ පද්ධතිමය අවදානම
කඩදාසි මත ඇති ව්‍යාජ තත්ත්ව සහතිකවල ගල් අඟුරුවල කැලරි අගය ප්‍රතික්ෂේප කිරීමේ අවම සීමාව වූ 5,900 kcal/kg ට වඩා ඉහළින් පවතින බව පෙන්වා දුන්නද , බලාගාරයේ පාලන ඒකක දත්තවලට අනුව ප්‍රායෝගිකව එහි ක්‍රියාකාරීත්වය අපේක්ෂිත 6,150 kcal/kg අගයට වඩා බෙහෙවින් පහළ ගොස් ඇති බව PUCSL සහ AG යන වාර්තා දෙකම නිසැකව තහවුරු කරයි.
මේ හේතුවෙන් බලාගාරයේ ඒකක 3 ටම සිය උපරිම ධාරිතාවය වූ මෙගාවොට් 300 නිපදවීමට නොහැකි වූ අතර, මාර්තු 17 වන විට පද්ධතියට මෙගාවොට් 165 ක විදුලි ඌනතාවක් එක් කිරීමට එය සමත් විය. අනෙක් අතට, දුර්වල ගල් අඟුරු දහනය කිරීම හේතුවෙන් බොයිලේරුවල නියමිත උෂ්ණත්ව සීමාවන් (Steam temperature limits) නිරන්තරයෙන් ඉක්මවා ගොස් ඇති අතර, මෙය යන්ත්‍ර සූත්‍රවලට දැඩි හානියක් සිදුකළ හැකි තත්ත්වයක් බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
5. මහජන මුදල් කොල්ලය සහ පාරිසරික ඝාතනය
මෙම දූෂිත ක්‍රියාවලිය හේතුවෙන් රටට ගෙවීමට සිදුව ඇති වන්දිය අතිවිශාලය.
- මූල්‍ය අලාභය: ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු වැඩිපුර දහනය කිරීම නිසා පමණක් පළමු නැව් 9 යටතේ රුපියල් මිලියන 2,237.7 ක අලාභයක් රාජ්‍යයට සිදුවී ඇති අතර , කොන්දේසි උල්ලංඝනය කිරීම වෙනුවෙන් සැපයුම්කරුගෙන් අයකරගත හැකි දඩ මුදල රුපියල් මිලියන 2,332.5 කි. මේ අනුව රුපියල් බිලියන 4.5 කට අධික මූල්‍ය අවදානමක් රටට පටවා ඇත. මෙයට, විදුලි ඌනතාවය පියවීමට මිලදී ගත් මිල අධික විකල්ප විදුලිය සඳහා වැයවූ අතිරේක පිරිවැය ඇතුළත් නොවේ.
- පාරිසරික හානිය: PUCSL වාර්තාව පෙන්වා දෙන පරිදි පෙර සැපයුම්කරුට සාපේක්ෂව ෆ්ලයි ඈෂ් (Fly ash) විමෝචනය 102% කින් ඉහළ ගොස් ඇත. නෝරොච්චෝලේ ජනතාවට දෛනිකව ටොන් 300 ත් 616 ත් අතර අළු ප්‍රමාණයක් ආශ්වාස කිරීමට සිදුවීම පිටුපස ඇත්තේ මෙම දූෂිත ගනුදෙනුවයි.
දේශපාලන රැකවරණය සහ වගවීමක් නොමැති ඛේදවාචකය
මෙය හුදකලා සිදුවීමක් නොවේ. විගණකාධිපතිවරයා අවධාරණය කරන පරිදි, මෙය ලක්විජය ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් 2016, 2022 සහ 2026 යන වර්ෂවලදී නිකුත් වූ තුන්වන විශේෂ විගණන වාර්තාවයි.
මහජන උපයෝගිතා කොමිසම විසින් බලාගාරයේ දත්ත හරහා විනාශයේ තරම තහවුරු කර ඇති අතර , විගණකාධිපතිවරයා විසින් ඊට වගකිවයුතු ආයතනික සහ ප්‍රසම්පාදන දූෂණය අකුරක් නෑර ලේඛනගත කර ඇත. මෙවන් ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ගොනුවක් ඉදිරිපිට, ජනාධිපතිවරයා විසින් ප්‍රසම්පාදනය නිවැරදි යැයි සහතික වීම ජාතියේ අවාසනාවකි. තවදුරටත් මෙය කාරක සභා වාර්තා අතර සැඟවීමට ඉඩ නොදී, ආයතනික සහ අපරාධ නීතිය යටතේ වහාම නීතිය ක්‍රියාත්මක කිරීම බලධාරීන්ගේ වගකීමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත යැපෙන රටකට, තම ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් තුළ මෙවැනි බිලියන ගණනක කොල්ලකෑම්වලට තවදුරටත් ඉඩ දිය නොහැක.









#සමාරා පරණවිතාන

