SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ප්‍මිතියෙන් තොර ගල්අඟුරු මිලදී ගැනීම් හේතුවෙන් අඛණ්ඩව මතු වූ අර්බුදකාරී තත්ත්වයන් මඟහරවා ගැනීමේ අරමුණින්,

ලංකා ගල්අඟුරු සමාගම (LCC) සිය ටෙන්ඩර් නීති රීති දැඩි කර තිබේ. ඒ අනුව 2026-27 කන්නය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් සැපයීම වෙනුවෙන් නව කොන්දේසි රැසක් ඇතුළත් කරමින් ඔවුන් පසුගියදා ටෙන්ඩර් කැඳවනු ලැබීය.

 

 

මෙවර ටෙන්ඩරය සුපුරුදු පරිදි "ලියාපදිංචි" සැපයුම්කරුවන්ට පමණක් සීමා නොකර, "සුදුසුකම් ලත් සහ අදාළ නිර්ණායක සපුරාලන" ඕනෑම ගල්අඟුරු සැපයුම්කරුවෙකුට විවෘත කර තිබීම විශේෂත්වයකි. ලංසු භාරගැනීම 2026 මැයි 14 දිනෙන් අවසන් වන අතර, ඒ සඳහා තැබිය යුතු ලංසු ඇපය (Bid security) ඇමෙරිකානු ඩොලර් මිලියන 2.28ක් හෙවත් රුපියල් මිලියන 700කි.

 

මෙම ටෙන්ඩරය යටතේ නෞකා 38කින් ගල්අඟුරු සැපයිය යුතු අතර, දින 210ක් ඇතුළත එම සම්පූර්ණ ප්‍රමාණයම ගෙනවිත් භාර දිය යුතුය.

 

 

සැපයුම්කරුවන්ගේ සුදුසුකම් දැඩි කෙරේ

 

ටෙන්ඩරය සඳහා සුදුසුකම් ලැබීමට නම්, ලංසුකරු පසුගිය මාස 36 තුළ අවම වශයෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2ක් වත් සපයා තිබිය යුතුය. එමෙන්ම ඉන් මෙට්‍රික් ටොන් මිලියන 1ක් වත් දළ කැලරි වටිනාකම (Gross Calorific Value - GCV) 5,900 kcal/kg හෝ ඊට වැඩි ගල්අඟුරු විය යුතුය. (GCV යනු ගල්අඟුරු සම්පූර්ණයෙන් දහනය වීමේදී නිකුත් වන මුළු ශක්ති ප්‍රමාණයයි). පසුගිය ටෙන්ඩරයේදී මෙම සීමාව වූයේ පිළිවෙලින් මෙට්‍රික් ටොන් 500,000ක මුළු සැපයුමක් සහ GCV 5,900ට වැඩි ගල්අඟුරු ටොන් 100,000ක සැපයුමක් පමණි.

 

මෙම නව ටෙන්ඩර් කොන්දේසි සකස් කිරීම සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) ඇතුළු ආයතනවල ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ලංකා ගල්අඟුරු සමාගම විසින් දැඩිව අධ්‍යයනය කර ඇත.

 

 

මූල්‍ය ශක්තිය පිළිබඳ නව නීති

 

නව මාර්ගෝපදේශවලට අනුව මූල්‍ය සුදුසුකම් ද ඉහළ නංවා තිබේ:

 

  • වාර්ෂික පිරිවැටුම:

ලංසුකරුගේ පසුගිය විගණනය කරන ලද මූල්‍ය වර්ෂ තුන තුළ සාමාන්‍ය වාර්ෂික පිරිවැටුම ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට නොඅඩු විය යුතු අතර, එම වසර තුන සඳහා සමුච්චිත පිරිවැටුම ඩොලර් මිලියන 300කට නොඅඩු විය යුතුය. (පෙර ටෙන්ඩර්වලදී මෙය පැවතියේ ඩොලර් මිලියන 50ක සාමාන්‍ය වාර්ෂික පිරිවැටුමක් ලෙස පමණි).

  • කාරක ප්‍රාග්ධනය:

කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් වන පරිදි ඩොලර් මිලියන 30කට නොඅඩු කාරක ප්‍රාග්ධනයක්, ද්‍රවශීල වත්කම් හෝ ණය පහසුකම් සඳහා ප්‍රවේශයක් ඇති බව තහවුරු කළ යුතුය. මෙය කලින් පැවතියේ ඩොලර් මිලියන 15ක් ලෙසය.

 

ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ පූර්ණ බලය ගැනුම්කරුට

 

මෙවර සිදුකර ඇති ඉතා වැදගත්ම වෙනසක් වන්නේ, මින් ඉදිරියට ගල්අඟුරු පටවන වරායේදී (Load port) සහ ගොඩබාන වරායේදී (නොරොච්චෝලේ) යන අවස්ථා දෙකේදීම ගල්අඟුරු සාම්පල පරීක්ෂා කිරීම සිදු කරනු ලබන්නේ ලංකා ගල්අඟුරු සමාගම විසින් පත් කරනු ලබන ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන සමීක්ෂකවරයෙකු විසින් පමණක් වීමයි. මින් පෙර පටවන වරායේදී පරීක්ෂණාගාරයක් තෝරාගැනීමේ වගකීම පැවරී තිබුණේ විකුණුම්කරුටය.

 

කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමේ කොන්දේසි

 

ප්‍රමිතිය සම්බන්ධයෙන් සම්මුතියකට නොපැමිණීම සඳහා ගිවිසුම් අවලංගු කිරීමේ කොන්දේසි ද දැඩි කර ඇත:

 

  • නෞකා දෙකක (shipments) ගල්අඟුරු ප්‍රමිතිය, අදාළ අවම හෝ උපරිම අනුමත සීමාවෙන් පරිබාහිර බවට පටවන සහ ගොඩබාන වරායන්හිදී කරන පරීක්ෂණවලින් තහවුරු වුවහොත්, කිසිදු සහන කාලයක් ලබා නොදී වහාම ක්‍රියාත්මක වන පරිදි ගිවිසුම අවලංගු කිරීමට ලංකා ගල්අඟුරු සමාගමට බලය ඇත.

 

  • තවද, මාස 6ක කාලයක් තුළ එක දිගට පැමිණෙන නෞකා තුනක පටවන වරායේ හෝ ගොඩබාන වරායේ GCV අගය නියමිත සම්මත අගයෙන් 10% කට වඩා වෙනස් වුවහොත් සහ එය ස්වාධීන පරීක්ෂණාගාරයක් මගින් තහවුරු කළහොත්, කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට ලංකා ගල්අඟුරු සමාගමට අයිතිය තිබේ.

 

 

කලින් පැවති ලිහිල් කොන්දේසි යටතේ ප්‍රමිතිගත නොවන ගල්අඟුරු සැපයුම් නිසා ඇති වූ ගැටලු මඟහරවා ගනිමින්, මෙරට විදුලි උත්පාදනය සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුතු ගල්අඟුරු ලබා ගැනීම මෙම නව ක්‍රියාමාර්ගවල ප්‍රධාන අරමුණ වී තිබේ.

 

 

(සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ නාමිනී විජේදාස ගේ වාර්තාව ඇසුරෙනි)

නවතම ලිපි