SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 (විශේෂ නඩු වාර්තාකරණය සහ විශ්ලේෂණය)

 

 

රුපියල් කෝටි 14කට අධික මහජන බදු මුදලක් වංක ලෙස පරිහරණය කරමින්, ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලීන්

එන්නත් ඇතුළු ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය මේ වන විට හුදු අපරාධ නඩුවක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය පරිපාලන තන්ත්‍රයේම නිරුවත හෙළිකරන කැඩපතක් බවට පත්ව තිබේ.

 

 

විශේෂයෙන්ම ඊයේ (30) ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැමිණිල්ලේ 129 වන සාක්ෂිකාරිය ලෙස පෙනී සිටි, රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රසම්පාදන නිලධාරිනී මද්දුමගේ දොන් සුරේනිකා නිල්මිණි මහත්මියගේ සාක්ෂිය සහ විත්තියේ නීතිඥවරුන්ගේ හරස් ප්‍රශ්න කිරීම් හරහා අනාවරණය වූයේ, ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ මුල් බැසගෙන ඇති "ඇඟ බේරාගැනීමේ" ඛේදනීය න්‍යායයි.

 

 image 1b9001bad4

 

 

පරස්පරතා සහ සත්‍යය වසන් කිරීමේ උත්සාහය

 

වසර තිහක පමණ පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක, සිය රාජකාරි වපසරියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයන් පවා "මතක නැතැයි" පවසමින් අධිකරණය මගහැරීමට දරන උත්සාහය විත්තියේ නීතිඥ අමිත ආරියරත්න මහතාගේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ නිරාවරණය විය.

 

 

විත්තියේ නීතිඥවරයා:

"ඔබ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ දුන්නනේ. ප්‍රකාශ දුන්නේ කටපාඩම් කරගෙන ඇවිත් නෙමෙයි මතකයෙන්නේ. එහෙම මතකයෙන් ලබා දුන් ප්‍රකාශත් මතක නෑ කියලද ඔබ කියන්නේ?... ඔබ අධිකරණය නොමඟ යවන සුළු සාක්ෂි දෙන බව මා යෝජනා කරනවා."

සාක්ෂිකාරිය:

"දින මතක නෑ මෑතකදී ප්‍රකාශ දුන්න බව මතක නෑ... මම දන්න දේ ගැන විතරයි මම කියන්නේ."

 

 

මෙම දෙබස මනාව තහවුරු කරන්නේ, රජයේ නිලධාරීන් තමන් විසින්ම අත්සන් තබා ලබාදුන් ප්‍රකාශයන් පවා වගකීමෙන් භාරගැනීමට පසුබට වන ආකාරයයි. "මම දන්න දේ ගැන විතරයි කියන්නේ" යනුවෙන් පවසමින් තමාට එල්ල විය හැකි පීඩනයෙන් මිදීමට (Save one's own skin) ඇය දරන උත්සාහය අතිශයින් පැහැදිලිය.

 

 

රාජ්‍ය සේවයටම එල්ල වන පාරාවළල්ල

 

වඩාත් බරපතළ කාරණය වන්නේ රාජ්‍ය ආයතනයක් ලෙස ජාතික ඖෂධ නීතිගත සංස්ථාව (SPC) ක්‍රියාත්මක වී ඇති හුදකලා සහ වගකීම් විරහිත ස්වභාවයයි. 2021, 2022 සහ 2023 වසරවල අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලීන්හි මහා පරිමාණ දූෂණ හා අක්‍රමිකතා සිදුව ඇති බවට ජාතික විගණන වාර්තා මඟින් පෙන්වා දී තිබියදීත්, ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවට සාක්ෂිකාරිය ගෙනහැර පෑ තර්කය හාස්‍යජනකය.

 

 

විත්තියේ නීතිඥවරයා:

"මේ දක්වා එක වසරක වත් වාර්ෂික විගණන වාර්තා ඔබ දැක නැතිද?"

සාක්ෂිකාරිය:

"මට මතක නෑ... අපි කරන්නේ අපේ කොටස පිරවීම විතරයි. අනිත් කොටස් කළමනාකරු කරන්නේ."

 

 

"අපේ කොටස පමණක් පිරවීම" යනුවෙන් ඇය ලබාදෙන පිළිතුර, ලංකාවේ රාජ්‍ය සේවයේ පරිහානියේ කූටප්‍රාප්තියයි. සමස්ත ආයතනික ක්‍රියාවලිය පිළිබඳ හැඟීමකින් තොරව, යන්ත්‍රයක් සේ තමන්ගේ ලිපිගොනුව පමණක් ඉවත් කර දැමීමේ මෙම නිලධාරිවාදී භාවිතය අවසානයේදී සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම අගාධයට ඇද දමන පාරාවළල්ලක් බවට පත්ව ඇති බව මෙම නඩු විභාගය මොනවට පැහැදිලි කරයි.

 

 

මාර්ගෝපදේශවලට පටහැනිව ක්‍රියාත්මක වූ බව කියන ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සිදුකළ මෙම ප්‍රසම්පාදනයන්හිදී, වගකිවයුතු නිලධාරීන් සිය වගකීම්වලින් ලිස්සා යාමට දරන මෙවැනි දුර්වල උත්සාහයන්, අනාගත රාජ්‍ය සේවයේ සුපිරිසිදුභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරයි. සම්පූර්ණ නඩු වාර්තාව පහතින් කියවන්න.

 

 

Disclaimer

මෙම ලිපිය විවෘත අධිකරණයේදී ඉදිරිපත් වූ සාක්ෂි, නීතිඥ දෙබස් සහ හරස් ප්‍රශ්න කිරීම් මත පදනම්ව සකස් කරන ලද ස්වාධීන මාධ්‍ය වාර්තාකරණයක් සහ විශ්ලේෂණයක් පමණි. මෙය කිසිදු පාර්ශ්වයක වරදකාරීත්වය නිශ්චය කිරීමක් හෝ ගෞරවනීය අධිකරණ ක්‍රියාවලියට සිදුකරන බලපෑමක් නොවන අතර, නඩුවේ අවසන් තීරණය ගැනීමේ පරම අයිතිය ඇත්තේ ගෞරවනීය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට පමණක් බව කරුණාවෙන් සලකන්න.

 

images

 

නඩු වාර්තාව

30/03/2026

මෙයට මාස කීපයකට පෙර එනම් 2025 ජුනි 6 වැනිදා ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයූවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් බව හෝ එදින ලබාදුන් ප්‍රකාශයට ඇතුළත් එක් කරුණක් ගැන හෝ මතක නෑ මතක නෑ කියමින් අසත්‍ය ප්‍රකාශ කරනුයේ සැබෑ තත්ත්වය වසන් කිරීමට වන්නේ යැයි විත්තියේ නීතිඥ අමිත ආරියරත්න මහතා.ඊයේ (30) විවෘත අධිකරණය හමුවේදී පැමිණිල්ලේ 129 සාක්ෂිකාරියට යෝජනා කළේය.

 

එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදෙන විට විත්තියේ නීතිඥවරයා අසන ආකාරයෙන් තමන්ගෙන් විමර්ශන නිලධාරීන් ප්‍රශ්න කළේ දැයි තමන්ට පැහැදිලි මතකයක් නොමැති බවත් එලෙස සිය ප්‍රකාශ වල සඳහන්ව ඇති නම් තමා එය පිළිගන්නා බවත් පැමිණිල්ලේ සාක්ෂිකාරිය විවෘත අධිකරණය හමුවේදී පැවසූ අතර එම ප්‍රකාශය ලබා දෙනු ලැබුවේ කටපාඩම් කරගෙන පැමිණ දැයි  විත්තියේ නීතිඥවරයා සාක්ෂිකාරියගෙන් නැවත විමසා සිටියේය.

 

තමා එම ප්‍රකාශ ලබාදෙනු ලැබුවේ කටපාඩම් කරගෙන නොව මතකයෙන් බවත් විත්තියේ නීතිඥවරයා තමා අසත්‍ය ප්‍රකාශ කරන බවට කරන යෝජනාව ප්‍රතික්ෂේප කරන බවත් පැමිණිල්ලේ 129 සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රසම්පාදන නිලධාරිනී මද්දුමගේ දොන් සුරේනිකා නිල්මිණි මහත්මිය ප්‍රකාශ කළාය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු අධි චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි.

එකොළොස්වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අමිත ආරියරත්න මහතා ; ඔබතුමිය වසර තිහක් පමණ පලපුරුද්දක් ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරිනියක් නේ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියමිත මාර්ගෝපදේශ අනුව සිදුකළ යුතුයි කියන එකනේ නීතිය. මා එහෙම යෝජනා කරනවා.

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී.

විත්තියේ නීතිඥ ; එස්.පී.සී ප්‍රසම්පාදන ක්‍රියාවලිය වගේම එච්.එස්.සී.පී.සී ක්‍රමවේදයක් ඒ සමයේ ක්‍රියාත්මක වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔබගෙන් ප්‍රශ්න කළාද ?

සාක්ෂිකාරිය ; මට පැහැදිලිව මතක නෑ.

විත්තියේ නීතිඥ ; ඔබ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ දුන්නනේ. ප්‍රකාශ දුන්නේ කටපාඩම් කරගෙන ඇවිත් නෙමෙයි මතකයෙන්නේ. එහෙම මතකයෙන් ලබා දුන් ප්‍රකාශත් මතක නෑ කියලද ඔබ කියන්නේ? 2024.05.06 වැනිදා වගේම 2025.06.06 වැනිදාත් ඔබ ප්‍රකාශ දී ඇති බව මා යෝජනාා කරනවා.

සාක්ෂිකාරිය ; දින මතක නෑ මෑතකදී ප්‍රකාශ දුන්න බව මතක නෑ

විත්තියේ නීතිඥවරයා ; මා ඔබට යෝජනා කරනවා. ඔබ අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් එහෙම සත්‍ය ප්‍රකාශ කරන්න මැලි වන්නේ පෙර මා සඳහන් කළ කරුණු ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශ වල ඒ බව සඳහන් වන නිසයි කියලා?

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මම ඒ ප්‍රශ්න ඇසීමට විරුද්ධයි.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; එහෙම පාවිච්චි කළාද කියලනේ අහන්නේ. අහන්නේ ක්‍රමවේදය ගැන විතරයි නේ?

විත්තියේ නීතිඥ අමිත ආරියරත්න මහතා ; සාමාන්‍ය ක්‍රමවේදය වගේම වෙනත් ක්‍රමවේද ගැනත් ඔබ මෙලෝ දෙයක් දන්නේ නෑ කියලද කියන්නේ? ඔබ අධිකරණය නොමඟ යවන සුළු සාක්ෂි දෙන බව මායෝජනා කරනවා.

සාක්ෂිකාරිය ; මම දන්න දේ ගැන විතරයි මම කියන්නේ.

විත්තියේ නීතිඥ ; කන්ට්‍රි  ඔෆ් ඔරිජින් ඉන්දියා කියලා සඳහන් වෙන්නේ ඉන්දියානු සම්භවයක් සහිත ඉන්දියානු නිෂ්පාදන කියන එකනේ.

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී

හයවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; ලංකාවේ රාජ්‍ය ඔසුසල් කීයක් විතර තිබෙනවාද? ඔබට දැනුමක් තියෙනවද ?

සාක්ෂිකාරිය ; මතක නෑ

විත්තියේ නීතිඥ ; දළ වශයෙන් මතක නැතිද?

සාක්ෂිකාරිය ; 40 ක් විතර

විත්තියේ නීතිඥ ; රාජ්‍ය ඔසුසල් සඳහා අවශ්‍ය ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නේද මිලදී ගන්නේ?

සාක්ෂිකාරිය ; ඒ ගැන පුද්ගලික දැනුමක් නෑ. එස්පීසී එකේ යුනිට් එකක් මගින් තමයි ඒවා කරන්නේ.

නීතිඥ නුවන් ජයවර්ධන මහතා ; වෛද්‍ය සැපයුම් අංශයෙන් සාමාන්‍යයෙන් ඇනවුම් ලැබෙන්නේ වසරකට ප්‍රමාණවත් ඖෂධ සැපයීමටනේ?

සාක්ෂිකාරිය ; රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට සාමාන්‍යයෙන් වසරකට ප්‍රමාණවත් ඇණවුම් තමයි ලැබෙන්නේ. නමුත් විශේෂ අවස්ථාවලදී එය වෙනස්වන අවස්ථාත් තිබෙනවා. ඒක තීරණය කරන්නේ වෛද්‍ය සැපයුම් අංශය.

විත්තියේ නීතිඥ ; ඔබගේ රාජකාරි කාලය තුළ සරත් ලියනගේ කියන අය සභාපතිවරයා ලෙස කටයුතු කළා මතකද? ඒ වගේම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් වාර්ෂික විගණන වාර්තා නිකුත් කරන බව ඔබ දන්නවනේ?

සාක්ෂිකාරිය ; අහලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් මට දැනුමක් නෑ.

විත්තියේ නීතිඥවරයා ; 1996 වසරේ සිට මේ දක්වා වාර්ෂික විගණන වාර්තා හදන්න ඔබගෙන් තොරතුරු ලබාගෙන නැතිද?

සාක්ෂිකාරිය ; ඒ ගැන මම අහන්නේ නෑ  අහන්න ඕනකම තිබුනත් මම අහන්නේ  නෑ. ඉල්ලන තොරතුරු අංශභාර කළමනාකරු හරහා ලබා දෙනවා.

විත්තියේ නීතිඥ ; මේ දක්වා එක වසරක වත් වාර්ෂික විගණන වාර්තා ඔබ දැක නැතිද?

සාක්ෂිකාරිය ; මට මතක නෑ.

විත්තියේ නීතිඥ ; මම ඔබට යෝජනා කරනවා 2021, 2022 හා 2023 වසර වල රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මහා පරිමාණ දූෂණ, අක්‍රමිකතා හා මාර්ගෝපදේශ කඩකිරීම් ගැන ජාතික විගණන වාර්තා වලින් අනාවරණය කර තිබූ බවට.  ඔබතුමිය ඒ ගැන දැනුවත්වද?

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේක දැනුම මිනුම මනින ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් නෙමෙයිනේ එහෙම ප්‍රශ්න නගන්න.

විත්තියේ නීතිඥ ; ඒ නිසා තමයි යෝජනාවක් ලෙස සාක්ෂිකාරියට ඒක ඉදිරිපත් කළේ.

මහා භාණ්ඩාගාරයේ විගණනයට ඔබගේ සංස්ථාව යටත් බව ඔබ දැනුවත්ද?

සාක්ෂිකාරිය ; ඒක මගේ රාජකාරී වපසරිය නොවන නිසා ඒ ගැන දන්නේ නෑ.

විත්තියේ නීතිඥ ; ඔබතුමියගේ අංශයේ දෝෂ වාර්ෂික විගණන වාර්තා වලට ඇතුලත් නිසා තමයි ඔබ ඒ ගැන දන්නේ නෑ කියලා කියන්නේ කියා මා යෝජනා කරනවා.

සාක්ෂිකාරිය ; මම දන්න දේ තමයි මම කියන්නේ.

විත්තියේ නීතිඥ ; 2021, 2022 හා 2023 වසර වල බරපතළ අක්‍රමිකතා හා දූෂණ ඔබගේ සංස්ථාව තුළ සිදුවී ඇති බව එම විගණන වාර්තාවල සඳහන් බවට මා ඔබට නැවත යෝජනා කරනවා.

සාක්ෂිකාරිය ; මගේ වපසරිය ගැන විතරයි මට කියන්න පුළුවන්.

විත්තියේ නීතිඥ ; ඔබගේ අංශය ගැන තොරතුරු අරගෙන තිබෙනවාද?

සාක්ෂිකාරිය ; අපි ලියලා තියෙනවා

විත්තියේ නීතිඥ ; අපි නෙමෙයි ඔබතුමිය පිළිතුරු ලියලා තියෙනවාද ?

සාක්ෂිකාරිය ; ඔව්

විත්තියේ නීතිඥ ; ඒක දැක්කොත් අඳුර ගන්න පුලුවන්ද?

සාක්ෂිකාරිය ; අපි කරන්නේ අපේ කොටස පිරවීම විතරයි. අනිත් කොටස් කළමනාකරු කරන්නේ.

විත්තියේ නීතිඥ ; මා යෝජනා කරනවා ඔබගේ අංශය විසින් කරන ලද ප්‍රසම්පාදනන ක්‍රියාවලිය නීති විරෝධී කියලා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මම ඒ ප්‍රශ්නයට විරුද්ධයි.

විත්තියේ නීතිඥ ; 2021, 2022 හා 2023 වසර වල අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය මාර්ගෝපදේශවලට පටහැණියි කියලා මම යෝජනා කරනවා.

සාක්ෂිකාරිය ; මට ඒකට පිළිතුරු දෙන්න බෑ. අපි කටයුතු කරන්නේ ගයිඩ් ලයින් අනුවයි.

විත්තියේ නීතිඥ ; ඔබගේ ප්‍රසම්පාදන අංශය සිදුකළ දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව ඔබ යම් අධිකරණයක් හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවාද?

සාක්ෂිකාරිය ; නෑ මේක තමයි පළමු අවස්ථාව

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මම ඒ ප්‍රශ්නයට විරුද්ධයි.

විත්තියේ නීතිඥ ; හරි මම මෙහෙම අහන්නම්කෝ. මම යෝජනා කරනවා එස්පීසී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අදාල මාර්ගෝපදේශවලට පටහැනිව සිදු කිරීම හා දූෂණ ක්‍රියා ගැන ඔබ අධිකරණයක් හමුවේ සාක්ෂි දෙන පළමුවන අවස්ථාව කියලා.

සාක්ෂිකාරිය ; මම සාක්ෂි දෙන්නේ දූෂණ ගැන නෙමෙයි. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ආනයනය කිරීමකට අදාළවයි.

නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රහුල් ජයතිලක මහතා ; ඔබතුමිය එස්පීසී ප්‍රසම්පාදන නිලධාරිනියක්. ඖෂධ ප්‍රසම්පාදනය ගැන නිවැරදි අවබෝධයක් තිබෙන අයෙක්. 2022 වසරේදීත් සංස්ථාවේ ඖෂධ ප්‍රසම්පාදන කටයුතු ඔබ සිදු කළා නේද?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනි විදින් ඩොකියුමන්ට් ලැබුණට පසු එයට අදාළ ප්‍රසම්පාදන කටයුතුවලට සම්බන්ධ වුණා.

නීතිඥ රහුල් ජයතිලක මහතා ; මම ඇහැව්වේ නිශ්චිත ප්‍රශ්නයක් විදින් ඩොකියුමන්ට් ගැන මම ඇහැව්වේ නෑ. මම අහපු ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් දෙන්න.

සාක්ෂිකාරිය ; ඖෂධ අංශය වෙත පැවරී ඇති රාජකාරි ආනයන කළමනාකරුගේ උපදෙස් අනුව හා මාර්ගෝපදේශ අනුව සිදු කළා.

විත්තියේ නීතිඥ ; ප්‍රසම්පාදනය කියන්නේ විදින් ඩොකියුමන්ට් විතරද? ප්‍රසම්පාදන ලේඛන ගැන කටයුතු කරද්දී මාර්ගෝපදේශ අනුවද කටයුතු කළේ?

සාක්ෂිකාරිය ; මට අදාල අංශය ගැන විතරයි මම කටයුතු කරන්නේ. ප්‍රසම්පාදන තීරණ ලැබුණාට පසුව ලැබෙන ලේඛන මාර්ගෝපදේශවලට අනුකූලද කියලා අපිට හඳුනාගන්න පුළුවන්.

විත්තියේ නීතිඥ ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමය අලුත් දෙයක් නේද? ඔබ ඒකට යම් දායකත්වයක් දැක්වූවාද? විඩින් ඩොකියුමන්ට් එක විතරක් නෙමෙයි නේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කියන්නේ හැම තිස්සෙම ඒක ගැනම කියන්නේ.

සාක්ෂිකාරිය ; ඒ ලේඛන නැතුව ප්‍රසම්පාදන කටයුතු කරන්න බෑ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය අලුත් දෙයක් නිසා සැපයුම්කරුවන්ට ගැටලු මතු වුණා. වගකිවයුතු අංශවල උපදෙස් අරගෙන ඒ ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මාස හය හතක ප්‍රමාදයක් සිදුවුණා. සීඅයිඩී ය මගෙන් ප්‍රකාශ තුනක් සටහන් කළා.

විත්තියේ නීතිඥ ; මම යෝජනා කරනවා සීඅයිඩී ය ඔබගෙන් ප්‍රකාශ ලබා ගැනීමට හේතුව ලෙස ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම ගැන කියලා තමයි ඔබගෙන් ප්‍රකාශ සටහන් කළේ කියලා.

සාක්ෂිකාරිය ; මට එහෙම මතකයක් නෑ.

විත්තියේ නීතිඥ ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට අදාළ වැදගත් තොරතුරු ගැන ඔබගෙන් තොරතුරු විමසන්න  විමර්ශන නිලධාරීන්ට බාධාවක් නොතිබූ බවට මා ඔබට යෝජනා කරනවා.

සාක්ෂිකාරිය ; ඔව්

විත්තියේ නීතිඥ ; ඔබ ලියාපදිංචිය මඟ හැරීමේ ක්‍රමවේදය ( ඩබ්ලිව් ඕ ආර් ) රැස්වීමකට සහභාගි වූ බව එම ප්‍රකාශයේදී කීවාද?

සාක්ෂිකාරිය ; මට එහෙම මතක නෑ.

විත්තියේ නීතිඥ ; මා ඔබට යෝජනා කරනවා ඔබ ලබා දුන් ප්‍රකාශවලදී ඔබ ඩබ්ලිව් ඕ ආර්  ක්‍රමවේදය ගැන සාකච්ඡාවට සහභාගි වූ බව කියලා නෑ කියලා.

සාක්ෂිකාරිය ; මට එහෙම මතකයක් නෑ.

(නම වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥ රහුල් ජයතිලක මහතා මෙම අවස්ථාවේදී පෙර කී කරුණු ඌනතාවයක් ලෙස ලකුණු කළේය.)

නීතිඥ රහුල් ජයතිලක මහතා ; ඔබතුමිය ලබා දුන් ප්‍රකාශ වලදී කියා තිබෙනවා ඩබ්ලිව් ඕ ආර් රැස්වීමට ඔබ ගියා කියලා. කොහේද එම රැස්වීම තිබුණේ ?

සාක්ෂිකාරිය ; රැස්වීම තිබුන තැන නම් මතක නෑ. මමයි අපේ කළමනාකරුයි ඒකට ගියේ. මම ඒ බව ප්‍රකාශ වලදී කිව්වාද කියලා මතකයක් නෑ.

විත්තියේ නීතිඥ ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශ වලට අමතරව ඔබ වෙනත් කුමන හෝ ආයතනයකට ප්‍රකාශ ලබා දීි බෙනවාද ?

සාක්ෂිකාරිය ; නැහැ ස්වාමීනී.

ප්‍රශ්න ගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත ඇතුළු ඖෂධ වෛද්‍ය සැපයුම් අංශයේ සිට අදාළ රෝහල් කරා ප්‍රවාහනය කිරීමේදී නිසි උෂ්ණත්වය හා ශීතදාමය ඇතිව ප්‍රවාහනය කළ බවට විත්තිය පිළිගන්නේ නම් මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකට සීමා කළ හැකි බවට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහිදී විත්තියට යෝජනා කළාය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පළමු වන විත්තිකාර ඖෂධ සමාගම්  හිමිකරු වෙනුවෙන් පෙනී සිටින මගේ උගත් මිත්‍රයා නම් මගේ එම යෝජනාවට එකග නොවන බව මම දන්නවා. නමුත් සෙසු විත්තිකරුවන්ට එකී කරුණු සුවිශේෂී නොවන නිසා ඔවුන්ට එය පිළිගන්න පුළුවන් නම් අධිකරණයේ කාලය පවා බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්.

දස වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ; උගත් මිතුරියගේ එම යෝජනාව අන්ධානුභාවයෙන් පිළිගන්න මගේ සේවා දායකයා ඇතුළු විත්තිකරුවන් කිසිවෙකුත් කැමති වෙන එකක් නෑ. අපි පිළිගන්නේ නෑ එම යෝජනාව.

දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා ; මගේ විත්තිකරුත් එම යෝජනාව පිළිගන්නේ නෑ. උගත් මිතුරියට ඕන නම් ඒක යෝජනාවක් ලෙස සකස් කරලා ඉදිරිපත් කරන්න පුළුවන්.

මේ අනුව එම ඉල්ලීමට සියලු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රතික්ෂේප කිරීම නිසා එම යෝජනාව හකුලා ගැනීමට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියට සිදුවිය.

පැමිණිල්ලේ 129 වන සාක්ෂිකාරියගේ සාක්ෂි විමසීම අවසන් කිරීමෙන් අනතුරුව පැමිණිල්ලේ 128 වන සාක්ෂිකරු ලෙස නම් කොට තිබූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාප්පු අංශයේ කළමනාකරු පත්තියගේ ක්‍රිෂාන් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ. මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන්නේය.

ප්‍රශ්න ගත රිටොක්සිමැබ් ඖෂධය සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රටට ආනයනය කිරීමෙන් අනතුරුව අවශ්‍ය ඖෂධ බලධාරීන් වෙත භාරදීම දක්වා වූ ක්‍රියාවලිය පිළිබඳව හෙතෙම කෙටි සාක්ෂියක් අධිකරණය හමුවේදී ලබා දුන්නේය. අනතුරුව දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න කීපයක් ඇසූ අතර සෙසු විත්තිකරුවන් 11 දෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමක් සිදු නොකළහ. සුපුරුදු පරිදි විත්තියේ, හරස් ප්‍රශ්න ඇසීමෙන් අනතුරුව පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් නැවත ප්‍රශ්න නැගීමක් මෙතෙක් සිදු කළත් පෙර පෙර කී සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්න නැගීමක් සිදු නොකිරීම ඊයේ (30) දවසේ දුටු සුවිශේෂී සිද්ධියක් විය. ඖෂධ නියාමන අධිකාරිය විසින් මාළිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වනවිට මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස ඉදිරිපත් කොට ඇති ලේඛන ගොනුවක අඩංගු ලේඛන කීපයක් එනම් මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයෙන් ප්‍රශ්න ගත එන්නත් විශේෂ පරීක්ෂණයක් සඳහා අදාල පරීක්ෂණාගාර වෙත යැවීමට අදාල ලේඛන පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙස දසවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. මහාධිකරණ රෙජිස්ටාර්වරිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඉදිරියේදී එකී ලේඛන විත්තියේ නීතිඥවරයාට පරීක්ෂා කර බැලීමට අවසර ලබාදෙන ලෙස ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මහාධිකරණ රෙජිස්ටර්වරියට නියෝග කළේය.

පැමිණිල්ලේ 47වන සාක්‍ෂිකරු ලෙස නම්කර ඇති අධිකරණයේ නියමයෙන් ඖෂධ පරීක්ෂාවට ලක් කළ ජර්මනියේ බර්ටන් හි පිහිටි (Institute for pharmaceutical and Applied Analytics Official Medicines Contral Laboratory  හි Dr Cristan Langfermann මහතා 2025.04.15 දිනැති P -250094 - 01 දරන වාර්තාව ඉදිරිපත් කිරීමට හා අධිකරණය හමුවේ සාක්ෂි දීමට එරට ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය හරහා අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය ලබාදෙන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා වෙත අධිකරණය නියෝගයක් නිකුත් කළේය. පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කෙරිණි.

වැඩිදුර විභාගය අද (31) දක්වා කල්තැබූ අතර අද දිනයේ පැමිණිල්ල වෙනුවෙන් කැඳවීමට අපේක්ෂා කරන සාක්ෂිකරු හෝ සාක්‍ෂිකාරිය සම්බන්ධයෙන් අද (31) දැනුම් දෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට පැවසුවාය.

නවතම ලිපි