SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි වෙනුවෙන්

උපන්දින සැමරුමක් පැවැත්වූ බවට එල්ල වූ චෝදනා මත, කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) ස්ථානාධිපතිවරයාට (OIC) එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

 

 

රාජ්‍ය සේවකයන් ලෙස පොලිස් නිලධාරීන් ඉහළම වෘත්තීය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් ආරක්ෂා කළ යුතු බව පෙන්වා දෙන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී (ASP) එෆ්.යූ. වුට්ලර් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය:

 

 

"ඔව්, මේ පිළිබඳව මම කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කළා. විශේෂයෙන් රජයේ සේවකයෝ කියන්නේ විධායකය නියෝජනය කරන අය. අපිට තියෙනවා වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක්. මේ වෘත්තීය ආචාර ධර්ම පද්ධතියට අනුව කිසිදු අපරාධකරුවෙකු හෝ අපරාධකාරියක සමඟ කිසිදු සම්බන්ධතාවක් පවත්වන්නට බැහැ.

 

එම නිසා මෙම අවස්ථාවේ විශේෂයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පුද්ගලිකවම එම අපරාධ කොට්ඨාසයට ගොස් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කරලා, මෙම සිද්ධියට සම්බන්ධ එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට විරුද්ධව දැඩි විනයානුකූල පියවරක් ගැනීමට කටයුතු කරලා තියෙනවා.

 

ඒ නිසා විශේෂයෙන් හැම පොලිස් නිලධාරියෙක්ම වෘත්තීය ආචාර ධර්මවලට අනුගත වෙලා මේ වෘත්තිය ආරක්ෂා කරමින්, මෙහි ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවත් අපි මේ අවස්ථාවේදී සිහිපත් කරනවා."

 

පොලිස් සේවයේ ගෞරවය සහ අභිමානය සුරැකීම සඳහා ඉදිරියටත් මෙවැනි දැඩි විනය පියවර ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

නවතම ලිපි