SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

'සන්ඩේ ටයිම්ස්' පුවත්පත සම්පාදනය කළ විශේෂ හෙළිදරව්වකට අනුව සහ මේ වනවිට ලැබී ඇති

ගල් අඟුරු ගොඩබෑමේ නවතම කාලසටහනට (Unloading Schedule) අනුව, මෙරට ගල් අඟුරු සැපයුම සම්බන්ධයෙන් බරපතළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව අනාවරණය වේ.

 

 

විශේෂයෙන්ම, ඉන්දියානු සැපයුම්කරුවෙකු වන ට්‍රයිඩන්ට් කෙම්ෆාර් (Trident Chemphar) හරහා දකුණු අප්‍රිකාවෙන් ගෙන්වූ තවත් ගල් අඟුරු නැව් තොගයක් ප්‍රමිති පරීක්ෂණයෙන් අසමත් වී ඇති පසුබිමක, රජය සහ ලංකා ගල් අඟුරු සමාගම අනුගමනය කරන ප්‍රතිපත්තිය දැඩි විවේචනයට ලක්ව තිබේ.

 

 

ප්‍රමිතියෙන් තොර සැපයුම් සහ අඛණ්ඩ ප්‍රමාදයන්

 

'සන්ඩේ ටයිම්ස්' පුවත්පතේ නාමිනී විජේදාසගේ වාර්තාව පෙන්වා දී ඇති පරිදි, ස්වාධීන සහ පිළිගත් රසායනාගාරයක් වන 'Cotecna' විසින් සිදුකළ තත්ත්ව පරීක්ෂාවලදී ට්‍රයිඩන්ට් සමාගම විසින් ගෙන්වූ තුන්වන ගල් අඟුරු තොගයද අසමත් වී ඇත. ලංකා ගල් අඟුරු සමාගමේ (LCC) නිලධාරීන් තහවුරු කරන පරිදි, මේ වනවිට නොරොච්චෝලේ බලාගාරයට ගොඩබා ඇති නැව් 12න් තුනක්ම (01/09/12)  ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ට්‍රයිඩන්ට් සමාගමට ඩොලර් මිලියන 8.1ක දැවැන්ත දඩ මුදලක් නියම කර තිබේ.

 

එහෙත් පුදුමයට කරුණ නම්, නියමිත ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සැපයීම හෝ දිගින් දිගටම සිදුවන සැපයුම් ප්‍රමාදයන් යන කිසිදු කාරණයක් පදනම් කරගෙන ඔවුන්ගේ කොන්ත්‍රාත්තුව මේ දක්වා අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන නොමැති වීමයි. එසේම 'Cotecna' වාර්තාව තවමත් ඉදිරිපත් නොකරන්නේ කුමක් නිසාද යන්න පිළිබඳව බලධාරීන් වෙත චෝදනා එල්ල වී ඇත.

 

 

2025-2026 වාරය සඳහා ට්‍රයිඩන්ට් සමාගමෙන් ගල් අඟුරු නැව් 25ක් (මෙට්‍රික් ටොන් මිලියන 1.5ක්) ඇණවුම් කර තිබූ අතර, අප්‍රේල් 23 වන විට එම සැපයුම් සම්පූර්ණ කළ යුතුව තිබුණි. එහෙත්, ඔවුන්ගේ 19 වැනි නැව් තොගය ගොඩබෑමට නියමිතව තිබූ මේ මොහොතේ, සමාගම තවමත් ගොඩබාමින් සිටින්නේ සිය 13 වැනි නැව් තොගයයි.

 

 

අප වෙත ලැබී ඇති 2026 මාර්තු 20 දිනැති ගොඩබෑමේ කාලසටහන (Unloading Schedule) විශ්ලේෂණය කිරීමේදී මෙම ප්‍රමාදයේ බරපතළකම මනාව තහවුරු වේ:

 

shedult shipment

 

  • 13 වැනි නැව වන 'Yasa Sun' මාර්තු 24 පුත්තලමට ළඟා වීමට අපේක්ෂා කළද, එය තවමත් ඇත්තේ 'යාත්‍රා කරමින්' (Sailing) පවතින තත්ත්වයේය.
  • 18 සහ 19 වැනි නැව් තොග අප්‍රේල් මැද භාගය දක්වා ප්‍රමාද වන බව කාලසටහන පෙන්වා දෙන අතර, එම නැව් සඳහා තවමත් නමක් හෝ යෝජනා කර නොමැත (Named - Not Nomted).

 

 

ජාතික ධනයට සහ බලාගාරයට සිදුවන බලපෑම

 

මෙම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් ලක්විජය ගල් අඟුරු බලාගාරයට (LVP) මේ දක්වා සිය උපරිම ධාරිතාව වන මෙගාවොට් 900 කරා ළඟා වීමට නොහැකි වී ඇති බව 'සන්ඩේ ටයිම්ස්' වාර්තාව අනාවරණය කරයි. ජාතික විදුලිබල පද්ධතියට මුදාහරින ධාරිතාව නිරන්තරයෙන්ම මෙගාවොට් 135ත් 185ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇත.

 

 

මෙම අර්බුදය මධ්‍යයේ, ලංකා ගල් අඟුරු සමාගමට මෙට්‍රික් ටොන් 300,000ක "හදිසි ටෙන්ඩරයක්" කැඳවීමටද සිදුවිය. එය ට්‍රයිඩන්ට් සැපයුම්වල අසාර්ථකත්වය නිහඬව පිළිගැනීමකි. මෙහි ඇති හාස්‍යජනකම කරුණ නම්, අදාළ හදිසි ටෙන්ඩරය සඳහාද අවම මිලක් ඉදිරිපත් කරමින් ට්‍රයිඩන්ට් සමාගම ලංසු තැබීමයි. පසුව ගණනය කිරීමේ දෝෂයක් යැයි පවසමින් ඔවුන් ලංසුව වෙනස් කළ අතර, ඒ අනුව 'තරන්ජොට්' (Taranjot) නම් තවත් ඉන්දියානු සමාගමක් එම ටෙන්ඩරය දිනා ගත්තේය.

 

 

අප සතු කාලසටහනට අනුව, තරන්ජොට් සමාගමේ නැව් 5 (MV OSHIMA SHIPYARD ඇතුළුව) අප්‍රේල් 20 සිට මැයි 10 දක්වා කාලය තුළ පැමිණීමට නියමිතය. ට්‍රයිඩන්ට් සමාගම මුලින් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 98.50කට සැපයීමට එකඟ වී තිබියදී, හදිසි ටෙන්ඩරය හරහා රජයට දැන් සිදුවී ඇත්තේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 142 බැගින් වන ඉහළ මිලකට මිලදී ගැනීමටය. මෙහි අවසන් පාඩුව දැරීමට සිදුවන්නේ ජාතික භාණ්ඩාගාරයට සහ මෙරට විදුලි පාරිභෝගිකයාටය.

 

 

බලධාරීන්ගේ ස්ථාවරය කුමක්ද?

 

 

මෙම මතභේදාත්මක තත්ත්වය හමුවේ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පසුගියදා දැක්වූ අදහස් 'සන්ඩේ ටයිම්ස්' ලිපියෙහි උපුටා දක්වා ඇත. ගල් අඟුරුවලින් ජනනය වන විදුලිය අඩු බවත්, ඒ වෙනුවෙන් සමාගම ඩොලර් මිලියන 2ක පමණ දඩයක් ගෙවා ඇති බවත් ඔහු පිළිගත්තේය. එහෙත් ඔහු තර්ක කරන්නේ, "අපිට කේවල් කිරීමේ බලයක් තියෙනවද? අපිට තියෙන විකල්පය මොකක්ද?" යනුවෙනි. සමාගම බංකොලොත් වුවහොත් ගල් අඟුරු නොමැතිව මුළු රටම අඳුරේ පවතිනු ඇති බවට ඔහු අනතුරු අඟවයි.

 

 

කෙසේ වෙතත්, නීත්‍යානුකූල ගිවිසුමට අනුව කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට රජයට පැහැදිලි බලයක් ඇත. 3.11 වගන්තියට අනුව ගල් අඟුරු නැව් දෙකක ප්‍රමිතිය බාල වීම හෝ දින හතකට වඩා වැඩි ප්‍රමාදයන් අවස්ථා දෙකකට වඩා සිදුවීම, ගිවිසුම අවලංගු කිරීමට ප්‍රමාණවත් හේතු වේ.

 

 

ඩොලර් මිලියන 8.1ක දඩයක් නියම වී තිබියදීත් ට්‍රයිඩන්ට් සමාගම අඛණ්ඩව ගල් අඟුරු සැපයීමෙන් පෙනී යන්නේ, ඔවුන් ලබන අධික ලාභාංශය හමුවේ මෙවැනි දඩ මුදල් ඔවුන්ට හුදෙක් සුළු කරුණක් පමණක් වී ඇති බව නොවේද? ගිවිසුම්ගත කොන්දේසි අමු අමුවේ උල්ලංඝනය වෙද්දීත්, විකල්ප නොමැති බව පවසමින් රජය දිගින් දිගටම එකම සමාගමක් ආරක්ෂා කරන්නේ කාගේ අවශ්‍යතාවයකටද යන්න සමස්ත ජාතියම විමසිය යුතු බරපතළ ගැටලුවකි.

 

 

# සමාරා පරණවිතාන

නවතම ලිපි