මෙම වසරේ මැයි මාසය වන විට ශ්‍රී ලංකාව ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික සංසිද්ධියට
මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ හේතුවෙන් දිවයින පුරා දැඩි වියළි කාලගුණයක් සහ අධික උණුසුමක් ඇති විය හැකි බවත් දේශගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.
මේ වසරේ මැයි මස මුල වන විට ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට මුහුණ දීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව දේශගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා ‘ඩේලි මිරර්’ පුවත්පත වෙත ප්‍රකාශ කර තිබේ.
"ඇත්ත වශයෙන්ම එල් නිනෝ යනු සාගර තාපය හා සම්බන්ධ දර්ශකයකි. එම දර්ශකය 0.5 සීමාව ඉක්මවුවහොත් මැයි මාසය වන විට ශ්‍රී ලංකාව මෙම සංසිද්ධිය අත්විඳිනු ඇත. කෙසේ වෙතත්, මැයි මාසය වන විට නිරිතදිග මෝසම් සුළං සක්‍රීය වුවහොත් මෙහි බලපෑම යම්තාක් දුරකට අවම කරගත හැකියි," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එසේ වුවද, අප්‍රේල් මස මැද භාගයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
මොකක්ද මේ ‘එල් නිනෝ’ (El Niño)?
එල් නිනෝ යනු නැගෙනහිර සමක පැසිෆික් සාගරයේ මතුපිට ජලය අසාමාන්‍ය ලෙස උණුසුම් වීම නිසා ඇතිවන ස්වාභාවික දේශගුණික රටාවකි. මෙය ගෝලීය කාලගුණය වෙනස් කිරීමට සමත් වන අතර සාමාන්‍යයෙන් වසර 3 සිට 5 දක්වා කාලයකදී වරක් සිදු වේ. මෙහිදී ඕස්ට්‍රේලියාව සහ අග්නිදිග ආසියාතික රටවලට (ශ්‍රී ලංකාව ඇතුළුව) දැඩි වියළි හා උණුසුම් කාලගුණයක් ඇති කරන අතර, ඇමරිකානු කලාපයට අධික වර්ෂාපතනයක් සහ ගංවතුර තත්ත්වයන් ඇති කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ වලාකුළු සෑදීම අවම වීම හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විටත් වියළි කාලගුණයකට මුහුණ දෙමින් සිටින බවයි. එල් නිනෝ බලපෑම නිසා මෙම වියළි කාලගුණය තවදුරටත් දීර්ඝ විය හැකි බවත්, එළඹෙන ඔක්තෝබර් මාසය දක්වා දිවයිනට ඉතා තද වැසි අපේක්ෂා කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, සාමාන්‍ය දේශගුණික රටාව අනුව අප්‍රේල් මැද භාගයේදී අන්තර් මෝසම් තත්ත්වය හේතුවෙන් ගිගුරුම් සහිත වැසි ස්වල්පයක් ඇති විය හැකි වුවද, ඒවායේ තීව්‍රතාවය අඩු මට්ටමක පවතිනු ඇතැයි ගණන් බලා ඇත.
සෞඛ්‍යාරක්ෂිත උපදෙස්
මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ගණනය කරන ‘තාප දර්ශකය’ (Heat Index) පහත පළාත්වල ඇතැම් ස්ථානවල ‘අවධානය යොමු කළ යුතු’ මට්ටම දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි:
-
බස්නාහිර පළාත
-
සබරගමුව පළාත
-
දකුණු පළාත
-
වයඹ පළාත
-
උතුරු සහ උතුරු මැද පළාත්
-
මොණරාගල දිස්ත්‍රික්කය
මේ හේතුවෙන් වැඩිපුර ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම සහ දැඩි හිරු රශ්මියට නිරාවරණය වීම හැකිතාක් අවම කර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

