SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් නඩුව

 

 

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් (Human Immunoglobulin) ඖෂධ ආනයනය කිරීමේදී සිදුවී ඇතැයි කියන

දැවැන්ත අක්‍රමිකතාවට අදාළ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය (සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල) හමුවේ මේ දිනවල විභාග වෙයි. ඊයේ (26) දිනයේදී පැවැත්වුණු නඩු විභාගයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) ප්‍රසම්පාදන නිලධාරිනියකගේ හරස් ප්‍රශ්න විමසීම පාර්ශව රැසකගේ දැඩි අවධානයකට ලක්විය.

 

 

පැමිණිල්ලේ 129 වන සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ SPC ප්‍රසම්පාදන නිලධාරිනී මද්දුමගේ දෝණ යුරේනිකා නිල්මිණි මහත්මියගෙන්, දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ විසින් මෙලෙස හරස් ප්‍රශ්න අසන ලදී.

Supreme Court of Sri Lanka

 

 

ආයතනික මතකය සහ නිලධාරී වගකීම මඟහැරීමක්ද?

 

වසර 25කට අධික කාලයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වුවද, තම ආයතනයේ හිටපු සභාපතිවරයෙකුගේ ධූර කාලය පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කිරීමට ඇය අපොහොසත් වීම මෙහිදී කැපී පෙනුණි. කැබිනට් තීරණයක් මත පිහිටවූ ප්‍රසම්පාදන කමිටුවකට නායකත්වය දුන් එවකට සභාපති සරත් ලියනගේ සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරයා නැගූ ප්‍රශ්නවලට ඇය මෙසේ පිළිතුරු දුන්නාය:

 

විත්තියේ නීතිඥ:

"සරත් ලියනගේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ දළ වශයෙන් අවුරුද්දද? දෙකක්ද? මාසයක්ද දවසක්ද කියන එකවත් ඔබට මතක නැතිද?" සාක්ෂිකාරිය: "දළ වශයෙන් අවුරුද්දක් වගේ කාලයක් හිටියා වගේ මතකයි... නිශ්චිත කාලය කියන්න බැරි නිසයි (කලින්) අපහසු වුණේ."

 

 

විශේෂයෙන්ම, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අදාළ ඖෂධ ආනයනය කළ ප්‍රසම්පාදන කමිටුවේ සරත් ලියනගේ සිටි බව හෝ එම කමිටුව ප්‍රසම්පාදන කටයුතු සිදුකළ බව තමා නොදන්නා බවද ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

 

 

මූල්‍ය වගකීම කාගේද? උණුසුම් සංවාදයක්

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වීමේදී මුදල් ගෙවීමේ වගකීම පැවරෙන්නේ කාටද යන්න සම්බන්ධයෙන්ද හරස් ප්‍රශ්න විමසීමේදී උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

 

  • විත්තියේ තර්කය: කුමන අංශයකින් ඖෂධ ගෙන්වුවද, සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමේ අදාළ කටයුතු (වවුචර් අනුමත කිරීම) සිදුකරන්නේ SPC ආයතනය බව නීතිඥවරයා යෝජනා කළේය.
  • සාක්ෂිකාරියගේ ප්‍රතිචාරය: තමන් අදාළ වවුචර පත් ගිණුම් අංශයට පමණක් යොමු කරන බවත්, ඉන්දියානු සමාගම්වලට ඉන්දියානු රාජ්‍ය බැංකුවෙන් මුදල් ගෙවන බවත් පැවසූ ඇය, ණයවර ලිපි (Letters of Credit) විවෘත කිරීම ගැන තමන් නොදන්නා බව කියා සිටියාය.

 Immunoglobulin

 

 

නීතිමය මැදිහත්වීම් සහ ඉදිරි පියවර

 

හරස් ප්‍රශ්න විමසීමේදී විත්තියේ නීතිඥවරයා බහුවිධ කරුණු එකවර ඇසීමට උත්සාහ කළ අවස්ථාවේදී, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊට විරෝධය පළ කළාය. එහිදී සභාපති විනිසුරුවරයා නියෝග කළේ අදාළ කරුණු "යෝජනාවක්" ලෙස සාක්ෂිකාරියට ඉදිරිපත් කරන ලෙසයි.

 

 

අධිකරණයෙන් දුන් තවත් සුවිශේෂී නියෝග:

 

  1. ලේඛන පරීක්ෂාවට අවසර: 10 වන විත්තිකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අත්අඩංගුවට ගැනීමේදී රහස් පොලිසිය (CID) භාරයට ගත් ලේඛන ගොනු පරීක්ෂා කිරීමට, අධිකරණ රෙජිස්ට්‍රාර්වරියගේ සහ CID නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ විත්තියේ නීතිඥවරුන්ට අවසර හිමිවිය.
  2. ලිඛිත සාක්ෂි සලකුණු කිරීම: පැමිණිල්ල විසින් ප්‍රශ්නගත ඖෂධ ඇතුළු ඉන්දියානු ණය යෝජනා ක්‍රමයට අදාළ ක්‍රියාවලිය සම්බන්ධ ලේඛන රැසක් පැමිණිල්ලේ සාක්ෂි ලෙස ලකුණු කරන ලදී.

 

 

වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම සඳහා නඩු විභාගය ලබන 30 වැනිදා පෙරවරු 10.00 දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය.

 

[වියාචනය:  මෙය අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමකි. නීතිය ඉදිරියේ වරදකරුවන් වන තුරු සියලුම විත්තිකරුවන් නිවැරදිකරුවන් ලෙස සලකනු ලබන අතර, මෙම පළකිරීමෙන් ස්වාධීන අධිකරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් අදහස් නොකෙරේ].

 

 images

 

 

නඩු වාර්තාව

24/03/2026

 

නඩුවට පාදක වූ ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව පිහිට වූ එවකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ලියනගේ මහතා ප්‍රමුඛ ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය මත බව කියන කරුණු සම්බන්ධයෙන් තමාට අවබෝධයක් නොමැති බවත් සරත් ලියනගේ මහතා තමා සේවය කරන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කොපමණ කාලයක් කටයුතු කළේද යන්න තමාට නිශ්චිතව කිව නොහැකි බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන නිලධාරීනි, මද්දුමගේ දෝණ යුරේනිකා නිල්මිණි මහත්මිය ඊයේ (26) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල  මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී විත්තියේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසුවාය.

 

පැමිණිල්ලේ 129 වන සාක්ෂිකාරිය ලෙස නම් කොට තිබූ එම සාක්ෂිකාරිය පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් එම සාක්ෂිකාරියගෙන් දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

 

නීතිඥ අසේල සේරසිංහ මහතා ; ඔබ සාක්ෂි ලබා දුන් විදියට දැන් වසර 25 කට අධික කාලයක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීනියක් ලෙස කටයුතු කරනවනේ?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී

විත්තියේ නීතිඥ ; 2022 සැප්තැම්බර් පමණ වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සරත් ලියනගේ මහතා කොපමණ කාලයක් එම තනතුරේ කටයුතු කළාද කියලා ඔබට මතකද?

සාක්ෂිකාරිය ; මට මතක නෑ.

විත්තියේ නීතිඥ ; දැන් සභාපති ධූරය දරන්නේ වෛද්‍ය මනෝජ් වීරසිංහ මහතා කියලා ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී

විත්තියේ නීතිඥ ; සරත් ලියනගේ මහතා සභාපතිවරයා ලෙස කටයුතු කළේ දළ වශයෙන් අවුරුද්ද ද? දෙකක්ද? මාසයක්ද දවසක්ද කියන එකවත් ඔබට මතක නැතිද?

සාක්ෂිකාරිය ; දළ වශයෙන් අවුරුද්දක් වගේ කාලයක් හිටියා වගේ  මතකයි.

විත්තියේ නීතිඥ  අසේල සේරසිංහ මහතා ; දළ වශයෙන් හෝ නිශ්චිත කාලයක් කියන්නවත් ඔබට අපහසු වුණේ ඇයි?

සාක්ෂිකාරිය ; නිශ්චිත කාලය කියන්න බැරි නිසයි.

විත්තියේ නීතිඥ ; සරත් ලියනගේ මහතා සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ ප්‍රසම්පාදන කටයුතු සිදුකළ බව ඔබ දන්නවාද?

ඔබතුමියගේ නම මොකක්ද ?

සාක්ෂිකාරිය ; මද්දුමගේ දෝණ යුරේනිකා නිල්මිණි.

විත්තියේ නීතිඥ ; අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුවට පාදකව ප්‍රකාශ සටහන් කරන විට  නඩුවට පාදක වූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් යන ඖෂධ ගැන සඳහන් කරලා ඔබගෙන් ප්‍රකාශ සටහන් කළ බව මම යෝජනා කළොත් ඔබ පිළිගන්නවාද?

සාක්ෂිකාරිය ; කියන්න ඇති. විශේෂයෙන් එම ඖෂධය ගැන සඳහන් කර ප්‍රශ්න ඇසුවේ නෑ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ආනයනය කළ ප්‍රසම්පාදන කමිටුවේ සරත් ලියනගේ මහතා හිටිය බව මට මතක නෑ. එම ඖෂධ ප්‍රසම්පාදන කටයුතු එම කමිටුව සිදුකළ බව මම දන්නේ නෑ.

විත්තියේ නීතිඥ ; ඔබ දීර්ඝ ලෙස සාක්ෂි දෙමින් ගරු අධිකරණය හමුවේ කීවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ආනයනය කටයුතු සිදු කිරීම හා ඊට අදාළ ක්‍රියාමාර්ග පිළිබඳව.

සාක්ෂිකාරිය ; එහෙමයි ස්වාමීනී

විත්තියේ නීතිඥ ; රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හෝ පුද්ගලික අංශය හෝ වේවා යම් ඖෂධයක් නැතිනම් වෙනත් භාණ්ඩයක් ගෙන්වුවත් සැපයුම්කරුවන්ට මුදල් ගෙවීමේ අදාළ කටයුතු සිදු කරන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවනේ. ඔබලා තමයි එම වව්චර් අනුමත කරන්නේ ඔබලාගේ සංස්ථාවනේ. ලංකාවේ සැපයුම් කරුවන්ට මුදල් ගෙවන්නේ එස්.පී.සී (spc) එකනේ.

සාක්ෂිකාරිය ; අපි ගිණුම් අංශයට එම වව්චර පත් යොමුකරනවා.

විත්තියේ නීතිඥ ; මොන අංශයෙන් කොහොම ගෙන්නුවත් මිලදී ගන්නේ ඔබගේ සංස්ථාවනේ? මුදල් ගෙවිය යුත්තේ එය නේ මේවා පරිත්‍යාග නෙමෙයිනේ?

සාක්ෂිකාරිය ; ඔව් ඉන්දියානු සමාගම්වලට ඉන්දියානු රාජ්‍ය බැංකුවෙන් මුදල් ගෙවනවාා.

 නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ප්‍රශ්න කෑලි කෑලි වලට කඩලා අහන්න එපා.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; ඒක යෝජනාවක් විදියට කරන්න.

විත්තියේ නීතිඥ ;  ඉන්දියාවෙන් ඖෂධ ආනයනය කිරීමට පෙර ලංකාවේ නියෝජිත නේද ණයවර ලිපි විවෘත කරන්න ඕනා? ඔබ ඒ ගැන දන්නවද? මා එහෙම යෝජනා කරනවා.

සාක්ෂිකාරිය ; මම ඒ ගැන දන්නේ නෑ .

විත්තියේ නීතිඥ ; ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ විශේෂත්වය වුණේ ලංකාවේ සංචිතවල මුදල් භාවිතා නොවීම නේද කියලා මා යෝජනා කරනවා.

සාක්ෂිකාරිය ; ඒක මුදල් අංශයෙන් තමයි විමසන්න ඕනා. මට ඒ ගැන අවබෝධයක් නෑ.

විත්තියේ නීතිඥ ; ඔබ මූලික සාක්ෂි දෙමින් පැවසූ තුන්වෙනි ක්‍රමවේදය යටතේ මාස තුනක කාලයක් සඳහා අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේදී  වී අක්‍ෂරය යටතේ ඖෂධ ආනයනය කළ බව දන්නවාද?

සාක්ෂිකාරිය ; මට මතක නෑ මට ආවේ එක්ස් (x)  ඕඩර් විතරයි.

විත්තියේ නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මැදිහත්වීමක් සිදුවූ බව මායෝජනා කරනවා.

සාක්ෂිකාරිය ; 2023 වසරේදී එම ඕඩර් එක කැන්සල් වුණා.

මෙම අවස්ථාවේදී දස වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුමඩුල්ල 2024.03.02 දින දසවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය සමන් රත්නායක මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමේ දී භාරයට ගෙන තිබූ ලේඛන ගොනු අධිකරණ රෙජිස්ටාර්වරිය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ .නිලධාරියකු ඉදිරියේ විත්තියේ නීතිඥවරයාට පරීක්ෂා කිරීමට අවසර ලබා දුන්නේය.

එම සාක්ෂිකාරියගෙන් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් ප්‍රශ්නගත ඖෂධ ඇතුළු ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කිරීමට අදාළ ක්‍රියාවලිය හා ඊට සම්බන්ධිත ලේඛන රැසක් පැමිණිල්ලේ සාක්ෂි ලෙස ලකුණු කරමින් ප්‍රශ්න විමසීම කළාය.

වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම ලබන 30 වැනිදා පෙව 10.00 දක්වා කල් තැබූ විනිසුරු මඩුල්ල එම සාක්ෂිකාරියට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කළේය.

 

 

නවතම ලිපි