විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීමක් ඇරඹෙයි
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ ඓතිහාසික පෙරළියක් සනිටුහන් කරමින්, ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නිල වශයෙන් විසුරුවා හැර ඇති අතර, ඒ වෙනුවට වෙනම රාජ්‍ය සමාගම් හයක් ස්ථාපිත කර ඇත. මෙය මෙරට විදුලිබල කර්මාන්තයේ දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීමක ආරම්භය සනිටුහන් කරයි.
විදුලිබල මණ්ඩලය විසින් මෙතෙක් සිදු කළ කාර්යයන් සහ වගකීම් පවරා දෙමින් නව අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඉංජිනේරු ධම්මික විමලරත්න පවසයි.
අද (2026 මාර්තු 09) සිට ක්‍රියාත්මක වන මෙම ගැසට් නිවේදනය හරහා 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත යටතේ ස්ථාපිත කළ වසර 56ක් පැරණි ආයතනයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම අවසන් වේ.
මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රධාන කරුණු:
- නව සමාගම් හයක්: නව ව්‍යුහය යටතේ, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් වෙනුවෙන් වගකියන වෙනස් ආයතන හයකට විදුලිබල සේවාව බෙදී යනු ඇත.
- නව පනත බලාත්මක වීම: මෙම පියවර හරහා 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ නිශ්චිතව දක්වා ඇති වගන්ති කිහිපයක් හැර අනෙකුත් ඉතිරි ප්‍රතිපාදන ද බලාත්මක වේ.
- සේවකයින් අනුයුක්ත කිරීම: ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයට (VRS) අයදුම් කළ අය හැර විදුලිබල මණ්ඩලයේ අනෙකුත් සියලුම සේවකයින් මෙම අනුප්‍රාප්තික සමාගම් හයට අනුයුක්ත කර තිබේ. ඔවුන්ගේ පත්වීම් ලිපි හෙට (මාර්තු 10) සිට නිකුත් කිරීමට නියමිතය.
- ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීම් (VRS): VRS ක්‍රමය සඳහා අයදුම් කළ සේවකයින් ඊයේ රාත්‍රියේ සිට සිය තනතුරුවලින් ඉල්ලා අස් වූවන් ලෙස සලකනු ලැබේ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි අද නිකුත් කෙරෙන අතර ඊට අදාළ ප්‍රතිලාභ පසුව ලබා දෙනු ඇත.
- ලෙකෝ (LECO) ආයතනය: ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස ලංකා විදුලිබල සමාගම (LECO) අලුතින් ස්ථාපිත කළ බෙදාහැරීමේ සමාගමක් යටතට පත් වනු ඇත.
මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව, මෙම ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ ලංකා විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් ව්‍යුහය නිල වශයෙන් අවසන් වන අතර එහි සියලු වගකීම් නව සමාගම් වලට පැවරේ. එමෙන්ම විදුලිබල මණ්ඩලයට අනුයුක්තව දැනට පවතින මාධ්‍ය ප්‍රකාශක තනතුර ද මින්පසු අහෝසි වන අතර, නව සමාගම් හය විසින් තම තමන්ට වෙන් වූ මාධ්‍ය ප්‍රකාශකවරුන් පත් කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, මෙම පරිපාලනමය වෙනස්කම් නිසා රටේ විදුලි උත්පාදනයට හෝ සැපයුමට කිසිදු බාධාවක් සිදු නොවන බවට මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවට සහතික විය.
ලංකා විදුලිබල මණ්ඩලය මෙලෙස රාජ්‍ය සමාගම් කිහිපයකට බෙදා වෙන් කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ කළමනාකරණය තුළ පාරදෘශ්‍යභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම බව පෙන්වා දෙන මාධ්‍ය ප්‍රකාශකවරයා, මෙය මෙරට විදුලිබල ඉතිහාසයේ සිදු වූ වැදගත්ම ප්‍රතිසංස්කරණයක් බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
ප්‍රතිව්‍යුහගත කිරීමේ පසුබිම සහ අයි.එම්.එෆ් (IMF) බලපෑම
මෙම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සහ විසුරුවා හැරීම පිළිබඳ වත්මන් ක්‍රියාවලියට අදාළ මූලික සාකච්ඡා සහ සැලසුම් බහුලව ආරම්භ වූයේ සහ වේගවත් වූයේ 2022 ආර්ථික අර්බුදයෙන් පසු බලයට පත් වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාලන සමය යටතේ කාංචන විජේසේකරගේ මූලිකත්වයෙනි.
බොහෝ මාධ්‍ය වාර්තා සහ ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන පරිදි, මෙම දැවැන්ත ප්‍රතිසංස්කරණය ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම් (Extended Fund Facility) වැඩසටහන යටතේ පනවා ඇති ප්‍රධාන සහ අනිවාර්ය කොන්දේසියක් සපුරාලීම සඳහා සිදුවන්නකි.
විශේෂිත කරුණක් වන්නේ, එවක මෙම විදුලිබල මණ්ඩලය විසුරුවා හැරීමේ සැලසුම්වලට සහ 2024 විදුලිබල පනතට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, වර්ජන සහ විරෝධතා දියත් කළේ වත්මන් ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවට සම්බන්ධ හෝ කිට්ටු සබඳතා පවත්වන ලංවිම ඉංජිනේරු සංගමය ඇතුළු ප්‍රධාන වෘත්තීය සමිති සහ වෘත්තීයවේදීන්ගේ කණ්ඩායම් වීමයි.
@සමාරා පරණවිතාන

