SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පාලක ජවිපෙ-ජාජබ (JVP-NPP) රජයේ අමාත්‍යවරයෙකුට එරෙහිව ගොනු කෙරුණු පළමු දූෂණ නඩුව වන,

බලශක්ති අමාත්‍ය පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩිට එරෙහි නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල පත් කර තිබේ. මෙම නඩුව ලබන සතියේ විභාගයට ගැනීමට නියමිතය.

 

 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් මේ සතියේදී අමාත්‍ය ජයකොඩිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙලෙස අධිචෝදනා ගොනු කරන ලදී. ඒ, කොන්ත්‍රාත්කාර පෞද්ගලික සමාගමකට අනිසි මූල්‍ය ලාභයක් ලබා ගැනීමට ඉඩ සැලසීම හරහා රජයට රුපියල් මිලියන 8.8 කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මතය.

 

ලංකා පොහොර සමාගමේ සේවිකාවක වන දර්ශනී පෙරේරා මහත්මිය කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් මෙම විමර්ශනය සිදු කර තිබේ. 2014 වසරේදී හුණුපිටිය ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස කටයුතු කරමින් සිටියදී, සමාගම් පරිශ්‍රයේ 'ඉන්ටර්ලොකින්' (interlocking) ගල් ඇල්ලීමේදී ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් අර්ත්මූවර්ස් (D.S. Construction and Earth Movers Ltd) නමැති පෞද්ගලික සමාගමට අයුතු මූල්‍ය ලාභයක් ලබා ගැනීමට නීතිවිරෝධී ලෙස පහසුකම් සැලසීම තුළින් දූෂණය නමැති වරද සිදු කර ඇති බවට අමාත්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා පත්‍රයේ සඳහන් වේ.

 

මෙම නඩුව සඳහා පැමිණිල්ල විසින් සාක්ෂිකරුවන් 21 දෙනෙකු සහ නඩු භාණ්ඩ 29 ක් නම් කර ඇත. මේ සම්බන්ධයෙන් මාධ්‍යය විසින් අමාත්‍යවරයාගෙන් විමසීමට ගත් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ සඳහා ඔහුගෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද වාර්තා වේ.

 

 

නවතම ලිපි