SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවේ බදු රාමුව තුළ ප්‍රධාන වෙනස්කම් රැසක් සිදු කරමින් 2017 අංක 24 දරන

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පෙබරවාරි 24 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.

 

 

මෙම නව සංශෝධන ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී එය නීතියක් ලෙස සම්මත වීමෙන් පසුවය. මෙහි අඩංගු ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:

 

 

1. ප්‍රාග්ධන ලාභ බදු (CGT) ඉහළ නැංවීම

 

ඉඩම්, ගොඩනැගිලි හෝ කොටස් විකිණීමෙන් ලබන ලාභය මත අය කරන බද්ද මෙහිදී සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇත.

  • පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර: දැනට පවතින 10% බදු අනුපාතය 15% දක්වා ඉහළ යනු ඇත.
  • භාර (Trusts), ඒකක භාර, අන්‍යෝන්‍ය අරමුදල් සහ රාජ්‍ය නොවන සංවිධාන: දැනට පවතින 10% බදු අනුපාතය 30% දක්වා තුන් ගුණයකින් ඉහළ දැමීමට යෝජනා කර ඇත.

 

2. රඳවා ගැනීමේ බද්දට (WHT) අලුතින් එක්වන වෘත්තිකයන්

 

මීට පෙර මෙම බදු දැලට හසු නොවූ වෘත්තිකයන් සහ නිදහස් සේවකයන් (Freelancers) රැසක් 5% ක රඳවා ගැනීමේ බද්දට යටත් කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව පහත සේවාවන් සඳහා ගෙවීම් කිරීමේදී 5% ක බද්දක් කපා හැරීමට සිදුවේ:

 

  • පුද්ගලික පුහුණුකරුවන් (Personal Trainers), ක්‍රීඩා පුහුණුකරුවන්, රූපලාවන්‍ය ශිල්පීන් සහ චිකිත්සකයින්.
  • ඡායාරූප ශිල්පීන්, විනෝදාස්වාද ශිල්පීන් සහ සන්නාම තානාපතිවරුන් (Brand Ambassadors).
  • සමාජ මාධ්‍ය විශේෂඥයින් (Social Media Specialists), විගණකවරුන් සහ තක්සේරුකරුවන්.
  • ණය අයකරන්නන් (Debt Collectors).

 

3. හිඟ බදු ගෙවන්නන්ට සහනයක්

 

2023 මාර්තු 31 දින දක්වා ගෙවා නොමැති බදු සඳහා එකතු වී ඇති පොලිය නිදහස් කිරීමට මෙහිදී අවස්ථාව ලබා දී ඇත. නමුත් එම සහනය ලබා ගැනීමට නම්, මූලික බදු මුදල සහ දඩ මුදල් නව නීතිය ක්‍රියාත්මක වී මාස 6ක් ඇතුළත සම්පූර්ණයෙන් පියවිය යුතුය.

 

 

4. බදු වාර්තා ගොනු කිරීම සරල කිරීම

 

2026 අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක වන පරිදි 'ඇස්තමේන්තුගත බදු ප්‍රකාශය' (SET) ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ඉවත් කෙරේ. ඒ වෙනුවට, බදු ගෙවන්නන්ට පෙර වසරේ බදු අය කළ හැකි ආදායම පදනම් කරගෙන වාරික වශයෙන් බදු ගෙවීමට අවස්ථාව ලැබේ. මෙය ව්‍යාපාරිකයන්ගේ ලේඛන කටයුතු අවම කිරීමට ගත් පියවරකි.

 

 

5. නිසි පරිදි බදු ගෙවන්නන්ට විශේෂ සහතිකයක්

 

පෙර වසරට වඩා 120% ක හෝ ඊට වැඩි බදු මුදලක් ස්වේච්ඡාවෙන් ප්‍රකාශ කර ගෙවන පුද්ගලයන්ට, ඔවුන්ගේ බදු වාර්තා එලෙසම පිළිගැනීමේ ක්‍රමවේදයක් 2025 අප්‍රේල් 1 සිට හඳුන්වා දීමට නියමිතය. මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම වාර්තා පිළිබඳ නැවත ප්‍රශ්න කිරීම් හෝ සංශෝධිත ඇස්තමේන්තු නිකුත් කිරීමක් සිදු නොකරනු ඇත.

 

මෙම යෝජනා මගින් රජය බලාපොරොත්තු වන්නේ බදු පදනම පුළුල් කිරීම සහ ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමයි. කෙසේ වෙතත්, මෙහි අවසාන බලපෑම තීරණය වන්නේ පාර්ලිමේන්තුවේදී සම්මත වන අවසන් පනත් කෙටුම්පත මතය.

නවතම ලිපි