SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

:රටම කතාවෙන පාස්කු යුක්තියේ පරස්පරය

 

ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක මෙන්ම සමාජයේ

දැඩි කතාබහට ලක්වූ සිදුවීම් ද්විත්වයක් ඊයේ (25) දිනය තුළ වාර්තා විය. එක් පසෙකින් දශක තුනකට ආසන්න කාලයක් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, අනෙක් පසින් පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඉබ්‍රහිම් පවුලට අයත් රන්භාණ්ඩ සහ මැණික් මුදාහරින ලෙස අධිකරණයෙන් එම CIDයටම නියෝග ලැබිණි.

 

 

පුද්ගලයින් 273 දෙනෙකුට ජීවිත අහිමි කළ 2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සැබෑ යුක්තිය ඉටුවනවාද, නැතහොත් එය හුදෙක් දේශපාලනික සහ වෘත්තීයමය න්‍යාය පත්‍රයන් සඳහා භාවිතා වන්නේද යන්න පිළිබඳව බරපතල සංවාදයක් මෙම සිදුවීම් දාමය හරහා නිර්මාණය වී තිබේ.

 

 

සුරේෂ් සලේව අත්අඩංගුවට ගත් හැටි සහ එල්ල වන චෝදනා

 

ඊයේ පෙරවරු 8.10ට පමණ පෑලියගොඩ පිහිටි සිය කාර්යාලය වෙත සේවය සඳහා යමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සුරේෂ් සලේ ව අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මේ වනවිට ප්‍රකට රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ විසින් පවත්වාගෙන යනු ලබන 'ෆාත්ෆයින්ඩර්' (Pathfinder) ජාත්‍යන්තර සංවිධානයේ විධායක නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියේය.

 

 

වාර්තා වන අන්දමට, පොලිස් නිලධාරීන් 50කට වැඩි පිරිසක් පැය ගණනාවක් ඔහුගේ නිවස සෝදිසි කර ඇති අතර, ඔහු භාවිත කළ පරිගණක, ජංගම දුරකථන සහ ලිපිගොනු රැගෙන ගොස් ඇත. අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.

 

 

අත්අඩංගුවට ගැනීමට පදනම් වූ පසුබිම:

 

  • චැනල් 4 චෝදනාව: බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ වාර්තාමය වැඩසටහනකින්, රාජපක්ෂවරුන් යළි බලයට ගෙනඒම සඳහා රට තුළ අනාරක්ෂිත තත්ත්වයක් ඇතිකිරීමට සුරේෂ් සලේ සහ තවුහිද් ජමාත් සාමාජිකයන් අතර හමුවක් පැවති බවට චෝදනා එල්ල විය.

 

  • මූලාශ්‍රය: මෙම චෝදනාවට ප්‍රධාන පදනම වී ඇත්තේ කලක් පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කර, මේ වනවිට ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන අසාද් මව්ලානා විසින් සිදුකළ ප්‍රකාශයකි.

 

  • CID විමර්ශනය: මේ සම්බන්ධයෙන් CIDය සිදුකළ රහසිගත විමර්ශන වාර්තා මෑතකදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන සිට ඒවා වසන් කළේද යන්න සහ ප්‍රහාරයට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වේ.

 

 

විශේෂඥ මතය: නොකැළැල් බුද්ධි නිලධාරියෙකු දඩයම් කිරීමක්ද?

 Rohan Gunaratna profile at Nanyang Technology University

 

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ, මහාචාර්ය රොහාන් ගුණරත්න ප්‍රබල අදහසක් සමාජගත කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ මෙය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවූ නිලධාරියෙකුට කරන බරපතල අසාධාරණයක් බවයි.

 

  • ප්‍රහාරය සිදුවන සමයේ විදේශගතව සිටීම: ප්‍රහාරය සිදුවන විට සුරේෂ් සලේ මැලේසියාවේ සේවය නිමවා, ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) පාඨමාලාවක් හදාරමින් සිටි බව ඔහු පෙන්වා දෙයි.

 

  • විශිෂ්ඨ සේවා වාර්තාව: 1987 හමුදාවට බැඳුණු ඔහු, දශක තුනක් පුරා රජයන් පහකට සේවය කර ඇති අතර පැරිසියේ සහ මැලේසියාවේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ද කටයුතු කළ පළපුරුදු නිලධාරියෙකි. මහාචාර්යවරයා පවසන පරිදි, දේශපාලන රැකවරණ පතන පුද්ගලයෙකුගේ ප්‍රකාශ මත පදනම්ව බුද්ධි නිලධාරීන් ඉලක්ක කිරීමෙන් සතුටු වන්නේ ත්‍රස්තවාදීන් සහ හමුදාවට දොස් පවරන කණ්ඩායම් පමණි.

 

යුක්තියේ පරස්පරය: බෝම්බකරුවන්ගේ රන් මුදාහැරීම

 Ibrahim 260225

 

බුද්ධි ප්‍රධානියෙකු මාංචු දමා, ඔහුගේ නිවසට නිලධාරීන් 50ක් යවා සෝදිසි කරද්දී, ඊට සමගාමීව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී තවත් සුවිශේෂී නියෝගයක් නිකුත් විය. පාස්කු දින ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බය පුපුරුවාගත් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් සහ දෙමටගොඩ නිවසේදී බෝම්බ පුපුරුවාගත් ඉන්ෂාෆ් අහමඩ් යන දෙදෙනාගේ පවුලට අයත් රන් භාණ්ඩ සහ මැණික්, ඔවුන්ගේ සහෝදරයාට සතියක් ඇතුළත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද නියෝග කළේය.

 

 

මෙම නියෝගයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, මෙම භාණ්ඩ මුදාහැරීමට එරෙහිව විරෝධතා දැක්වීමට CIDයට අධිකරණය විසින් ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබියදීත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් කිසිදු කරුණක් අධිකරණයට ඉදිරිපත් නොකිරීමයි.

 

 

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 'නිහඬ පිළිවෙත'

 

බෝම්බකරුවන්ගේ පියා වන මොහොමඩ් ඉබ්‍රහිම් යනු වත්මන් පාලක පක්ෂය හා සබැඳි දේශපාලන ඉතිහාසයක් ඇති අයෙකි. එවැනි පසුබිමක, බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේදී අතිශය කඩිනම් සහ දැඩි පිළිවෙතක් අනුගමනය කරන වත්මන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්තවාදීන්ගේ පවුල්වල දේපල සම්බන්ධ නඩු කටයුතුවලදී 'නිහඬ පිළිවෙතක්' අනුගමනය කිරීම විචාරකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.

 

 

දැනටමත් පාස්කු ප්‍රහාරයේ නඩු විභාගයන්හි තොරතුරු සමාජයට ගලා ඒම අවම වී ඇති පසුබිමක, වින්දිතයින්ගේ ලේ මතින් දේශපාලන යුක්තියක් සහ වෘත්තීයමය එදිරිවාදිකම් පිරිමසා ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන්නේද යන සාධාරණ සැකය මහජනතාව තුළ මතු වී ඇත. ජාතික ආරක්ෂාව සමඟ සෙල්ලම් කිරීම දේශපාලන අධිකාරිය විසින් වහාම නැවැත්විය යුතු අතර, බුද්ධි අංශ දුර්වල කිරීම සහ රාජ්‍ය යාන්ත්‍රණයේ අපක්ෂපාතීත්වය බිඳවැටීම සමස්ත රටේම අනාගතය අනතුරේ හෙළන ඛේදවාචකයක් වනු නොඅනුමානය.

 

 

#සමාරා පරණවිතාන

නවතම ලිපි