SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ප්‍රමිතියෙන් තොර එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රුපියල් කෝටි 14කට අධික

රජයේ මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්ෂි විභාගය මේ වන විට රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ තීරණාත්මක කරුණු රැසක් හෙළිදරව් කරමින් සිටී.

 

 

පැමිණිල්ලේ 29 වන සාක්ෂිකරු ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු (මුදල් අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්) ලබා දුන් සාක්ෂි තුළින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ඇතැම් නිලධාරීන් නීතිමය රාමු සහ සදාචාරාත්මක වගකීම් උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති ආකාරය ලිඛිත සාක්ෂි සහිතවම අධිකරණය හමුවේ අනාවරණය විය.

 Untitled 40

 

 

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ පරිපාලනමය ගැටුම

මෙහිදී වඩාත්ම අවධානයට ලක්විය යුතු කරුණ වන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් සහ ඖෂධ නියාමන අධිකාරී පනත නොසලකා හරිමින් ඖෂධ ආනයනයට අමාත්‍යාංශ නිලධාරීන් දැක්වූ දැඩි උනන්දුවයි.

ඖෂධවල ගුණාත්මකභාවය තහවුරු කරන තුරු, විශේෂ ක්‍රමවේදය (Waiver of Registration - WOR) හෝ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය යටතේ ආනයනය කළ ඖෂධ රේගුව භාරයේ තබාගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබිණි. එසේ තිබියදීත්, විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධ ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දිගින් දිගටම ඉල්ලීම් කර ඇත. ඊට ප්‍රතිචාර ලෙස 2023.03.17 දින NMRA අධ්‍යක්ෂ මණ්ඩලය විසින් විශේෂ ක්‍රමවේදය යටතේ සහතික නිකුත් කිරීම නැවැත්වීමට සාමූහික තීරණයක් ගෙන තිබේ.

 2021 12 31

 

 

අධිකරණයේදී මතු වූ තීරණාත්මක ප්‍රශ්න කිරීම්: ලිඛිත සාක්ෂි ඔස්සේ

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සහ සාක්ෂිකරු අතර වූ ප්‍රශ්න කිරීම් හරහා මෙම ක්‍රියාවලියට අදාළ නිලධාරීන්ගේ සෘජු ලිඛිත මැදිහත්වීම් මනාව පැහැදිලි වේ:

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:

"අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට දින 18කට පමණ පෙර 12වන විත්තිකරු (හිටපු NMRA සභාපති විජිත් ගුණසේකර) එවූ ඊමේල් පණිවිඩයෙන් මොකක්ද දන්වා තිබුණේ?"

සාක්ෂිකරු:

"සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කර තිබූ පෙර කිව් ඉල්ලීම තමයි ඔහු එවා තිබුනේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කර තිබූ පෙර කිවූ විශේෂ ක්‍රමවේදය නැවත බලන්න යැයි කියන ඉල්ලීමට එකඟතාවය දක්වන බව ඔහු මට දන්වා තිබුණා."

මෙහිදී පැහැදිලි වන ප්‍රධානතම කරුණ නම්, නැවතත් WOR ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙසට වන උපදෙස් ඇතුළත් ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් බවයි. එම ලිපිය මගින් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් ලැබුණු බවට ලේකම්වරයා විසින් සඳහන් කර තිබුණද, අමාත්‍යවරයාගේ සෘජු අත්සනින් යුත් ලිඛිත නියෝගයක් ඒ සඳහා ඉදිරිපත්වී නොමැති බව සාක්ෂි අනුව ගම්‍ය වේ. එබැවින්, මෙම පරිපාලනමය ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ ලිඛිත වගකීම සෞඛ්‍ය ලේකම්වරයා සහ ඊට එකඟතාවය පළකළ එවකට NMRA සභාපතිවරයා (12 වන විත්තිකරු) මත පැටවේ.

සාක්ෂිකරු (වැඩිදුරටත්):

"ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ වන විට ලබා දී තිබූ නියෝගය උල්ලංඝනය වන අයුරින් හා ඖෂධ නියාමන අධිකාරී පනතට පටහැනිව කටයුතු කිරීමට අපි (අධ්‍යක්ෂ මණ්ඩලය) එකඟ නොවන බව දන්වා යැව්වා... නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට අපි තීරණය කළා."

 images 2

 

 

නිලධාරීන්ගේ වෘත්තීය උල්ලංඝනයන් සහ සදාචාරාත්මක කඩවීම්

මෙම නඩු වාර්තාවෙන් හෙළි වන කරුණු අනුව, රාජ්‍ය සේවයේ සහ වගකිවයුතු නිලධාරීන්ගේ බරපතළ සදාචාරාත්මක සහ නීතිමය කඩවීම් කිහිපයක් නිරීක්ෂණය කළ හැක:

 

  • ලියාපදිංචි නොකළ සැපයුම්කරුවන් ප්‍රවර්ධනය කිරීම:

12 වන විත්තිකරු මාර්ගයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් හරහා, ජීවිත ගලවා ගැනීමේ අත්‍යවශ්‍ය ඖෂධ 38ක් ලියාපදිංචි ක්‍රමවේදය මඟහැර, "ලියාපදිංචි නොමැති සැපයුම්කරුවන්" මාර්ගයෙන් ගෙන්වීමට කටයුතු කර ඇත. නිසි ප්‍රමිතියක් හෝ ලියාපදිංචියක් නොමැති සැපයුම්කරුවන්ට රාජ්‍ය මුදල් සහ මහජන සෞඛ්‍යය භාර දීම පරිපාලන නිලධාරීන්ගේ බරපතළ වරදකි.

  • විශේෂඥ වෛද්‍යවරුන්ගේ විරෝධය නොසලකා හැරීම:

මෙලෙස පටිපාටියෙන් තොරව ඖෂධ ගෙන්වීමට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වූ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ සිල්වා සහ වෛද්‍ය කෝසල යන අය ලිඛිතව සිය අප්‍රසාදය පළ කර තිබියදීත්, අදාළ නිලධාරීන් එම විරෝධතා නොසලකා හරිමින් කටයුතු කර ඇත.

  • විකල්ප ක්‍රමවේද හරහා බලපෑම් කිරීම:

නීතිපති උපදෙස් පැතීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කිරීමෙන් පසු, සෞඛ්‍ය ලේකම්වරයා විසින් විශේෂ ක්‍රමවේදය වෙනුවට "අලුත් ක්‍රමවේදයක්" සකස් කරන ලෙස යෝජනා කර ඇත. මෙය අධිකරණ නියෝග මඟහැරීමට පරිපාලන නිලධාරීන් යෙදූ උපායශීලී ක්‍රමවේදයක් ද යන්න නීතිමය වශයෙන් විවාදයට තුඩු දෙන කරුණකි.

පළමුවන විත්තිකරු වෙනුවෙන් නීතිඥ හරේන්ද්‍ර බානගල විසින් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කර ඇති අතර, මෙම ලිඛිත සාක්ෂි සහ නිලධාරීන්ගේ තීරණ අභියෝගයට ලක්වීම ඉදිරියේදී දැකගත හැකි වනු ඇත.

ි්ඩෙ

 

මෙම නඩු විභාගය මගින් රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය තුළ මහජන සෞඛ්‍යය පරදුවට තබමින්, අධිකරණ නියෝග පවා අභිබවා යාමට තරම් ඇතැම් ඉහළ පෙළේ නිලධාරීන් කටයුතු කර ඇති ආකාරය සමාජය හමුවේ නිරාවරණය කරමින් පවතී. එය රාජ්‍ය ප්‍රසම්පාදන නීති සහ පරිපාලන වගවීම සම්බන්ධයෙන් අනාගතයට වැදගත් පූර්වාදර්ශයක් සපයනු ඇත.

 

 

නඩු වාර්තාව

25/02/2026

 

ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව නිසි  පරීක්ෂනයක් සිදුකර තම අධිකරණයට නිසි වාර්තාවක් ඉදිරිපත් කරන තුරු හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය හෝ ලියාපදිංචිය ලබාදීමේ ක්‍රමවේදය යටතේ ආනයනය කර තිබූ ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් නොකර රේගුව භාරයේම තබා ගන්නා ලෙසට  ශ්‍රේෂ්ඨාධිකරණය ඖෂධ නියාමන අධිකාරියට නියෝගයක් කොට තිබුනේ යැයි මුදල් අමාත්‍යංශයේ මානව සම්පත් කළමනාකරන හා පාර්ලිමේන්තු කටයුතු හා අමාත්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් මොහොට්ටි මුදියන්සේලාගේ චතුර පරාක්‍රම මොහොට්ටිගෙදර මහතා ඊයේ (25) පැවසීය.

 

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ප්‍රමිතියෙන් තොර එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා රජයට අයත් රුපියල් කෝටි 14කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් හෙතෙම එලෙස පැවසීය. නීතිපතිවරයා විසින් අධිචෝදනා 13 ක් යටතේ පවරා තිබූ එම නඩුවේ සාක්‍ෂි විභාගය ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේදී පැවැත්විණි.

 

එබැවින් විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම මත සෞඛ්‍ය නියාමන අධිකාරිය ඉල්ලීමක් කොට තිබූ නමුත් විශේෂ ක්‍රමවේදය යටතේ හෝ ලියාපදිංචිය ලබාදීමේ ක්‍රමවේදය මත ( way of Registran) සහතික නිකුත් කිරීම නැවැත්වීමට 2023.03.17. වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සාමූහික තීරණයක් ගත් බවද ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස නිල බලයෙන් පත්ව සිටි එම සාක්ෂිකරු අධිකරණය හමුවේදී පැවසීය.

 

එහිදී පැමිණිල්ලේ 29 වන සාක්‍ෂිකරු ලෙස නම් කොට තිබූ එම සාක්ෂිකරු මාර්ගයෙන් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණය එකී අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත්වූ විවිධ ඉල්ලීම් යෝජනා හා අධ්‍යක්ෂ මණ්ඩල සටහන් අධිකරණය හමුවේදී පැමිණිල්ලේ සාක්‍ෂි ලෙස ලකුණු කිරීමට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය පියවර ගත්තාය.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; 2023.03.17 වැනිදා පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී පෙර තිබූ කරුණට අමතරව ඔබ සාමාජිකත්වය දැරූ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් වෙනත් තීරණ මොනවාද ? එදින නැවත විශේෂ ක්‍රමවේදය ගැන සාකච්ඡා වුණාද?

 

සාක්‍ෂිකරු ; අපි තීරණය කළා එහිදී ඩබ්ලිව් ඕ ආර් සහතික එම කමිටුව හරහා පමණක්ම නිකුත් කළ යුතුයි කියලා. ඒ වන විට විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධ ආනයනය කිරීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ ලිපියක් ලැබී තිබුණා. අපි ඒ ගැනත් සාකච්ඡා කළා. අපි එම ලිපිය දැක්කා. ඒක කියෙව්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම ඉල්ලීම 2023.03.30 දිනැති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක් යටතේ තමයි කර තිබුණේ. 2023.04.21 වැනිදා පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඒ පිළිබඳව සලකා බලන ලෙසට මෙම නඩුවේ 12 වන විත්තිකාර එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විජිත් ගුණසේකර මහතා මටත් ඊමේල් පණිවිඩයක් මගින් 2023.04.03 වැනිදා යොමු කර තිබුණා.

 

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය; අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම පැවැත්වීමට දින 18කට පමණ පෙර 12වන විත්තිකරු එවු' එම ඊමේල් පණිවිඩයෙන් මොකක්ද දන්වා තිබුණේ.

 

සාක්ෂිකරු ; සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කර තිබූ පෙර කිව් ඉල්ලීම තමයි ඔහු එවා තිබුනේ. තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කර තිබූ පෙර කිවූ විශේෂ ක්‍රමවේදය නැවත බලන්න යැයි කියන ඉල්ලීමට එකඟතාවය දක්වන බව ඔහු මට දන්වා තිබුණා.

 

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ; එයට පෙර එලෙස ඊමේල් පණිවිඩය මගින් ඔබට එවැනි ඉල්ලීමක් කර තිබුණාද?

 

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එම ඉල්ලීමට අත්සන් කර තිබුනා ඔහු ලේකම්වරයා දන්වා තිබුණා. 2023.03.27වැනිදා ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී එම තීරණය ගත් බව එමඟින් දන්වා තිබුණා. එම රැස්වීමේදී විශේෂ ක්‍රමවේදය යටතේ නැවත ඖෂධ ගෙන්වීමට ඩබ්ලිව් ඕ ආර්  සහතික නිකුත් කිරීමට අමාත්‍යවරයා උපදෙස් දුන් බව තමයි එහි සඳහන්ව තිබුණේ. ඒ වන විට අපි නවත්වා තිබූ විශේෂ ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුන්න බව තමයි එහි සඳහන්ව තිබුණේ.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; කවුද එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ?

 

සාක්ෂිකරු ; කෙහෙළිය රඹුක්වැල්ල මහතා.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; ඔබ 12වන චූදිතට ඒ ගැන පිළිතුරක් යැව්වාද?

 

සාක්ෂිකරු ; එහෙමයි ස්වාමීනී. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒවන විට ලබා දී තිබූ නියෝගය උල්ලංඝනය වන අයුරින් හා ඖෂධ නියාමන අධිකාරී පනතට පටහැනිව කටයුතු කිරීමට අපි එකඟ නොවන බව දන්වා යැව්වා. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත සේරසිංහ මහතා දන්වා සිටියා එම ඉල්ලීමට එකඟ නොවන බවට අපි සියලු දෙනා තීරණය කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට.

 

සාක්ෂිකරු ; පසුව අපේ අධ්‍යක්ෂ මණ්ඩලයට සෞඛ්‍ය ලේකම්වරයා යෝජනාවක් කර තිබුණා විශේෂ ක්‍රමවේදය වෙනුවට හදිසි අවස්ථාවකදී පාවිච්චි කළ හැකි අලුත් ක්‍රමවේදයක් හදන්න කියලා. ඒ ක්‍රමවේදය ඩබ්ලිව් ඕ ආර්  කමිටුව, ඖෂධ ඇගයීම් කමිටුව අනුමැතියට යටත්ව ක්‍රියාත්මක කරන්න සලකා බලන ලෙස අපිට දන්වා තිබුණා.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එම නඩුවේ 29වන සාක්ෂිකරු දෙවන දිනටත් සාක්ෂි ලබාදීම ආරම්භ කළ අවස්ථාවේදී  12වන විත්තිකරු මාර්ගයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කොට තිබූ කැබිනට් පත්‍රිකාවක් සාක්ෂිකරුගෙන් එහි සඳහන් කරුණු පිළිබඳව විමසීමක් කළ අතර ජීවිත ගලවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය  ඖෂධ 38ක් ලියාපදිංචි ක්‍රමවේදය මගහැර ලියාපදිංචි නොමැති සැපයුම්කරුවන් මාර්ගයෙන් ආනයනය කිරීමට එමඟින් අනුමැතිය ලබා දී ඇතැයි හෙතෙම අනාවරණය කළේය. එකී ඖෂධ 38 සඳහා ඖෂධ ඇගයීම් කමිටු සහතික නිකුත් කර ඇති බව ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා මගින් දැනගත් බවත් එහිදී සාක්ෂි දෙමින් පැවසූ පැවසූ එම සාක්ෂිකරු එම ක්‍රියාදාමයට එවකට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ සිල්වා  මෙන්ම තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු  වූ කෝසල මහතා ලිඛිතවම සිය අප්‍රසාදය පළ කළ බවද පැවසීය.

 

එකී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු සියලු සාමාජිකයන්ගේ අප්‍රසාදය ඒ සම්බන්ධයෙන් පළවී ඇතිි බවත් 12වන චූදිතට දැනුම් දුන් පසු ලබන සතියේ සෞඛ්‍ය අමාත්‍යතුමා සමග සාකච්ඡාවක් පැවැත්වෙනවා. එහිදී ඒ පිළිබඳව සාකච්ඡා කරන ඔහු තමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හමුවේ පැවසූ බවද සාක්ෂිකරු පැවසීය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය ඇතුළු මූල්‍ය පහසුකම් යටතේ ඖෂධ ආනයනය කිරීමට ලබා දී තිබූ ඖෂධ ඇගයීම් කමිටු සහතික සති 12 සිට මාස හය දක්වා දීර්ඝ කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අධ්‍යක්ෂ මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ ඉල්ලීමකට තම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දුන් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් එම සාක්ෂිකරු පැවසීය. ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් එකී ඖෂධය ලබාගැනීමේ ක්‍රියාවලියකට තම අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දෙනු ලැබුවේ එවකට පැවැති වාතාවරණය කෙරෙහි සැලකිල්ලට ගෙන වන්නේ යයිද පැවසූ සාක්ෂිකරු ඒ පිළිබඳ වෛද්‍ය සැපයුම් අංශයට හා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දැනුම්වත් කළ යුතු බවට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළේ යැයිද පැවසීය.

 

එකී විශේෂ ක්‍රමවේදය යටතේ ඖෂධ ඇගැයීම් කමිටු සහතික සහ රජයට සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් එකී අයදුම්පත් කැඳවිය යුතු බවට පමණක් කළ යුතු බවට එහිදී තීරණය කළ බවද සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.

 

එම සාක්ෂිකරුගෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මූලික සාක්ෂි මෙහෙයවීම පස්වරුවේ අවසන් කළ අතර පළමුවන චූදිත වෙනුවෙන් පෙනී සිටි. නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. විත්තියේ වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම අද (26) වැනි දින පෙරවරු 10.00 දක්වා කල්තැබූ විනිසුරු මඩුල්ල තෙවන දිනටත් අද (26) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සාක්ෂිකරුට අවවාද කළේය.

 

මෙතෙක් දින නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ආරම්භ කොට තිබූ එම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය මේ වන විට ඉදිකරමින් පවතින මින් පෙර වසරක පමණ කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණ ශාලා පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ හතරවන මහලේ ශාලාවක ඊයේ (26) ආරම්භ කළේය.

 

වැඩිදුර විභාගය අද (26) දක්වා කල් තැබිණි.

 

 

 

 

 

නවතම ලිපි