SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් අද(04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වූ නඩුව, ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.

 

 

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ මෙම නඩුවේදී, දෙපාර්ශවයේ නීතීඥවරුන් දැක්වූ කරුණු සහ තර්ක විතර්ක හුදෙක් එක් සැකකරුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගොස්, මෙරට අධිකරණ වෛද්‍ය විද්‍යාවේ ස්වාධීනත්වය, ව්‍යවස්ථානුකූල මූලික අයිතිවාසිකම් සහ විධායකයේ බලතල පිළිබඳ ගැඹුරු සංවාදයක් නිර්මාණය කර තිබේ. දෙපාර්ශවයේ ඉල්ලීම් සම්බන්ධයෙන් වන තීරණාත්මක නියෝගය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 

 

ගැටලුවේ කේන්ද්‍රය: විශේෂඥ මනෝ වෛද්‍ය වාර්තාව

 

සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු විසින් අධිකරණයේ නියමය පරිදි විශේෂඥ මනෝ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සකසනු ලැබූ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවට අනුව සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේදී අවස්ථා 7කදී මානසික වධහිංසාවට ලක්ව ඇති බවත්, ඔහු සංකාව සහ විශාදය යන තත්ත්වයන්ගෙන් පෙළෙන බැවින් සියදිවි නසාගැනීමේ දැඩි අවදානමක් පවතින බවත් දක්වා තිබුණි.

 

මෙහිදී වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම වූයේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් එම රජයේ වෛද්‍ය වාර්තාව තරයේ ප්‍රතික්ෂේප කිරීමයි.

 

 

අධිකරණයේදී මතු වූ ප්‍රබල තර්ක සහ ප්‍රතිතර්ක

 

විත්තියේ සහ පැමිණිල්ලේ නීතීඥවරුන් අධිකරණය හමුවේ ගෙනහැර දැක්වූ අදහස් මෙසේය:

 

විත්තියේ තර්කය (ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු):

"එදා සිට අද දක්වාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ කෘෘර වධහිංසාවට සහ අමානුෂික නින්දිත සහගත සැලකිල්ලට මගේ සේවාදායකයා යටත් වෙලා තියෙනවා. ඒ බව වෛද්‍ය වාර්තාවල සඳහන් වෙලා තියෙනවා... මනෝ වෛද්‍යවරයා විසින් ලබා දුන් වෛද්‍ය වාර්තාවේ අවස්ථා 7ක මගේ සේවාදායකයා මානසික වද හිංසාවට ලක්ව තිබෙන බව සඳහන් වෙනවා."

 

"කෘෘර වධහිංසනයට ලක්වීමට එරෙහිව ජාත්‍යන්තර වගකීමක් තියෙනවා. ඒ සඳහා අභ්‍යන්තර නීති සකස් කර යුතුයි. 1984 වධහිංසනය පනත යටතේ මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුයි... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තියේ වධහිංසනයට ලක්වන්නන් සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒ අය සම්බන්ධයෙන් ස්වාධීනව කටයුතු කළ යුතු බවද එහි දක්වා තිබෙනවා."

 

පැමිණිල්ලේ තර්කය (අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්):

"ඔහු වේදිකාවක් කර ගත්තා අධිකරණය ඔබතුමා නොමඟ යවන්න... මෙයාල නාට්‍යයක් රඟපෑවා... දැන් දක්ෂ රංගනයක් කරනවා ඔස්කාර් සම්මාන දෙන්න පුළුවන්."

 

"අධිකරණ වෛද්‍යවරයා ගාව අඬන්නේ නැතුව මනෝ වෛද්‍යවරයා ගාව අඬලා, මෙයාලා පතෝලා චරිත. ආතතිය කාංසාව ඕනම අපරාධකාරයෙක්ට දැනෙන දෙයක්... වෛද්‍යවරු අංශ කිහිපයක්ම සැකකරුට කිසිම රෝගී තත්ත්වයක් නැහැ කියලා තියෙද්දි මොවුන් මනෝ වෛද්‍යවරයා ටාගට් කළා. මානසික ආබාධයක් කියලා පෙන්නලා මෙම නඩුව වෙනත් පැත්තකට හරවන්න."

අගතියට පත් පාර්ශවයේ අදහස (ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න):

"ඕනෙම කෙනෙක් ඩිටෙන්ෂන්වලට පත්වුණාම මූඩ් එක විශාදය තත්වයට පත් වෙනවා. අපිව හෙට අනිද්දා පත් වුණත් අපිටත් වෙන්න පුළුවන්."

 

නීතිමය සහ ව්‍යවස්ථානුකූල විචාරය

මෙම නඩු විභාගය තුළින් පැන නගින ප්‍රධාන නීතිමය ගැටලු කිහිපයක් පිළිබඳව විග්‍රහ කළ හැකිය.

 

රජයේ වෛද්‍ය වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රතික්ෂේප කිරීම

මෙය ලාංකීය නීති ඉතිහාසයේ ඉතා කලාතුරකින් දැකිය හැකි තත්වයකි. සාමාන්‍යයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා පැමිණිල්ලේ (රජයේ) සාක්ෂි ලෙස පිළිගැනේ.

 

 

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විශේෂඥ මනෝ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් මඩුල්ලක වාර්තාවක් "රංගනයක්" ලෙස හඳුන්වමින් ප්‍රතික්ෂේප කිරීම, රජයේම ආයතන දෙකක් (නීතිපති දෙපාර්තමේන්තුව/පොලිසිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥයින්) අතර ඇතිවන බරපතල ගැටුමක් පෙන්නුම් කරයි. නීතිමය වශයෙන් ඕනෑම සාක්ෂියක් අභියෝගයට ලක් කිරීමට පැමිණිල්ලට අයිතියක් ඇතත්, අධිකරණ නියෝගයක් මත පත් කළ රජයේ විශේෂඥ මණ්ඩලයක මතය සෘජුවම ප්‍රතික්ෂේප කිරීමෙන්, අනාගතයේදී රජයේ වෛද්‍ය වාර්තාවල විශ්වසනීයත්වය පිළිබඳව සමාජය තුළ ගැටලු මතු විය හැකිය.

 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය සහ වධහිංසාව

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය මගින් කවරෙකු හෝ කෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට හෝ දඬුවමකට යටත් නොකළ යුතු බව පැහැදිලිව දක්වා ඇත. මෙය කිසිදු අවස්ථාවක (ත්‍රස්තවාදී චෝදනා යටතේ වුවද) සීමා කළ නොහැකි පරම අයිතිවාසිකමකි.

 

විත්තියේ නීතිඥවරයා නිවැරදිව පෙන්වා දෙන පරිදි, වෛද්‍ය වාර්තාවකින් මානසික වධහිංසාවක් සිදුව ඇති බවට කරුණු ඉදිරිපත් වන්නේ නම්, එය නොසලකා හැරිය නොහැක. 1994 අංක 22 දරන වධහිංසා පනත යටතේ ඊට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගැනීමේ වගකීමක් රජයට ඇත.

 

ස්වාධීන වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමේ ගැටුම (විධායකය එදිරිව අධිකරණය)

අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා හරහා නව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කරන ලෙසයි.

 

එහෙත් විත්තිය ඊට විරුද්ධ වෙමින් තර්ක කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා යනු විධායකයට පක්ෂපාතී (දේශපාලන) පත්වීමක් බැවින්, එය ස්වාධීන නොවන බවයි. ඒ වෙනුවට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා (Chief JMO) හරහා එය සිදු කිරීම වඩාත් අධිකරණානුකූල බව විත්තිය පවසයි.

 

 

මෙය බලතල බෙදීමේ න්‍යාය (Separation of Powers) ආශ්‍රිතව මතු වූ ඉතා ප්‍රබල තර්කයකි. අධිකරණ කටයුත්තක් සඳහා විශේෂඥයින් පත් කිරීමේදී විධායකයේ මැදිහත්වීම අවම විය යුතු බව නීති විද්‍යාවේ මූලික පිළිගැනීමයි.

 

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ගේ තර්කය පිළිබඳ විග්‍රහය

අධිකරණයට අපහාසයක් නොවන අයුරින් විග්‍රහ කිරීමේදී, පැමිණිල්ල නියෝජනය කරන දිලීප පීරිස් මහතාගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ විමර්ශන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමයි. සැකකරුගේ පෙර හැසිරීම් රටාව, ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් පවතින බරපතල චෝදනා සහ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණවලදී රෝගී තත්ත්වයන් වාර්තා නොවීම යන කරුණු මත පදනම්ව ඔහු මෙම 'මනෝ වෛද්‍ය වාර්තාව' අභියෝගයට ලක් කරයි.

 

 

කෙසේ වෙතත්, වෛද්‍ය විද්‍යාත්මක නිගමනයක් නීතිමය තර්කයකින් පමණක් නිෂ්ප්‍රභ කිරීම ප්‍රායෝගිකව අපහසු බැවින්, ඔහු නව වෛද්‍ය මණ්ඩලයක් ඉල්ලා සිටීම නීතිමය ක්‍රමවේදය තුළ සාධාරණීකරණය කළ හැකි පියවරකි. එහෙත්, "ඔස්කාර් සම්මාන දිය හැකි රංගනයක්" වැනි චිත්තවේගීය යෙදුම් භාවිතය, නීතිපති දෙපාර්තමේන්තුවේ අපක්ෂපාතීත්වය සම්බන්ධයෙන් විත්තියට ප්‍රබල ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අවස්ථාවක් නිර්මාණය කර දී තිබේ.

 

 

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දීමට නියමිත නියෝගය, හුදෙක් සුරේෂ් සලේ නමැති සැකකරුගේ අනාගතය පමණක් නොව, මෙරට අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ සහ අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ අන්‍යෝන්‍ය විශ්වාසය තීරණය කරන තීන්දුවක් වනු ඇත.

 

 

රජයේ ආයතන තම තමන්ගේ වාර්තා එකිනෙකා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් තුළ, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කර ගැනීම අධිකරණය සතු දැවැන්ත අභියෝගයකි.

 

 

# නිරෝමී සුබ්‍රමනියම්

නවතම ලිපි