ආණ්ඩුවේ දේශපාලන සූදුව සහ පොහොට්ටුවේ නව ද්විත්ව රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ
(NPP) රජය යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන භූමිය උඩුයටිකුරු වෙමින් පවතින මොහොතක, හිටපු පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සිය දේශපාලන පැවැත්ම සහ නීතිමය වගවීම්වලින් ගැලවීම උදෙසා ඉතා සූක්ෂ්ම ද්විත්ව රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් මෙන්ම දේශීයව අනුකම්පාව දිනාගැනීමේ ප්‍රබල ව්‍යාපෘතියක් ද ආරම්භ කර තිබේ.
නාමල්ගේ අත්අඩංගුවට ගැනීම, ආණ්ඩුවේ දේශපාලන සූදුව සහ 12 අනුරාධපුර රැලිය
මෙම දේශපාලන නාටකයේ කූටප්‍රාප්තිය සනිටුහන් වන්නේ නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමත් සමඟය. මෑතකාලීනව නාමල් රාජපක්ෂ දේශපාලන වේදිකාව තුළ යම් කැපී පෙනෙන පිබිදීමක් ගොඩනගමින් සිටි බව රහසක් නොවේ. විශේෂයෙන්ම අර්බුද සමයේදී පොහොට්ටුව අතහැර ගිය ඇතැම් පිරිස් යළිත් පක්ෂය වටා රොද බඳිමින් සිටින පසුබිමක් නිර්මාණය වෙමින් පැවතිණි. මෙවන් වාතාවරණයක් තුළ, සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත දැවැන්ත මහා රැලිය සහ ඊට ගලා එනු ඇතැයි අපේක්ෂිත සෙනඟ පිළිබඳව ආණ්ඩුවට මනා තක්සේරුවක් තිබෙන්නට ඇත.
නව රජයේ දූෂණ විරෝධී මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස නාමල් රාජපක්ෂව හරියටම මෙම රැලියට දින කිහිපයකට පෙර අත්අඩංගුවට ගැනීම හුදු නීතිමය ක්‍රියාදාමයකට එහා ගිය, ආණ්ඩුවේ දේශපාලන ගණනය කිරීමක් විය හැකිය. එහෙත්, මෙමඟින් ආණ්ඩුව අපේක්ෂා කළ ප්‍රතිඵලය ලැබේද යන්න බරපතළ ප්‍රශ්නයකි. මන්දයත්, නාමල් සිරගත කිරීම හරහා 12 වැනිදා රැලියට පැමිණෙන සෙනඟ අඩුවීමක් කිසිසේත් අපේක්ෂා කළ නොහැකි අතර, ඒ වෙනුවට එයින් නිර්මාණය වන 'සානුකම්පිත රැල්ල' (sympathy wave) සහ දේශපාලන උණුසුම හේතුවෙන් ජන සහභාගීත්වය තවදුරටත් වැඩිවීමට ඉඩ ඇත. නීතිය ඉදිරියේ සිදුවන විමර්ශන, "දේශපාලන දඩයමක්" ලෙස හුවා දක්වමින් ජනතා අධිකරණයට යාමේ පැරණි තුරුම්පුව ඔවුන් යළිත් අදිනු ඇත. නාමල්ගේ සිරගතවීම පලිහක් කරගනිමින්, කාලයකට පසු මහින්ද රාජපක්ෂ යළිත් වේදිකාවට නැගීම හරහා පොහොට්ටුවේ බිඳවැටුණු ග්‍රාමීය ඡන්ද පදනම යළි අවදි කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් බවට මෙම අත්අඩංගුවට ගැනීම පත්කර ගැනීමට පොහොට්ටුව නිසැකවම කටයුතු කරනු ඇත.
ළිමිනි රාජපක්ෂගේ ආගමනය සහ රාජපක්ෂ මාධ්‍ය මෙහෙයුමේ සූක්ෂ්මතාව
මේ අතර, 12 වැනිදා අනුරාධපුර රැලිය සම්බන්ධයෙන් මතුව ඇති තවත් අතිශය වැදගත් මාතෘකාවක් වන්නේ, නාමල් රාජපක්ෂ වෙනුවට ඔහුගේ බිරිඳ වන ළිමිනි රාජපක්ෂ එම රැලියට සහභාගී වන බවටත්, ඇය සක්‍රීය දේශපාලනයට පිවිසෙන බවටත් දැන් කලක සිටම නිර්මාණය කරමින් පවතින කතිකාවතයි. ඇත්ත වශයෙන්ම මෙම මාධ්‍ය කතිකාව අහඹු එකක් නොව, එය නාමල් රාජපක්ෂගේ දේශපාලන ප්‍රවර්ධන ව්‍යාපෘතියේම (Campaign) තවත් එක් සූක්ෂ්ම දිගුවක් පමණි.
මෑත ඉතිහාසය තුළ ජ්‍යෙතිර්වේදීන් කිහිප දෙනෙක්ම කියන ලද කාරණයක් වූයේ ලංකාවේ මීළඟට නායකත්වයට පත්වන්නේ කාන්තාවක්ය යන්නය. මේ නිසා පහුගිය කාලය පුරාවට හරිනි අමරසූරියට, ළිමිනිට පමණක් නොව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා පිළිබඳව පවා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් වේය යන්න පෙන්වමින් හොඳ හෝ නරක විවිධ ප්‍රහාරයන් එල්ලවිය. ළිමිනි රාජපක්ෂ සම්බන්ධයෙන් ඉදිරිපත් වන ජ්‍යෝතිෂ අනාවැකි සහ ඇයගේ ජන්ම පත්‍රයේ ඇතැයි කියන 'රාජ යෝග' පිළිබඳ පුවත් මැවීම, හුදෙක් රාජපක්ෂලාගේ සැලසුම් සහගත මාධ්‍ය මෙහෙයුමක කොටසක් ලෙස ක්‍රියාත්මක වන්නකි.
මෙහි ඇති වඩාත් උත්ප්‍රාසාත්මක කරුණ නම්, මෙම සැලසුම නොදැනුවත්වම හෝ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වයන් පවා මේ මොහොතේ මෙම කතිකාවට උඩගෙඩි දෙමින්, නාමල්ලාගේ දේශපාලන ව්‍යාපෘතිය සක්‍රීය කරන ප්‍රවර්ධකයන් බවට පත්ව සිටීමයි. තමන්ට එරෙහිව එල්ල වන පීඩනයම සිය වාසියට හරවා ගනිමින්, ප්‍රතිවාදීන් ලවාම සිය දේශපාලන න්‍යාය පත්‍රය සමාජගත කිරීමට තරම් රාජපක්ෂවරුන් තුරුම්පු ගැසීමට දක්වන කපටිකම සහ දේශපාලන සූක්ෂ්මතාව මෙයින් යළිත් වරක් මනාව තහවුරු වේ. ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන් මෙම රාජපක්ෂ උගුලට අසුවීම ඔවුන්ගේ දේශපාලන කියවීමේ දුර්වලතාවක් ද පෙන්වා දෙයි.
චීනය සමඟ ඓතිහාසික සබඳතා අලුත් කිරීම: මහින්ද - වේ හුවාෂියැං හමුව
දේශීයව ජනතාවගේ අනුකම්පාව දිනාගැනීමේ මෙහෙයුම එලෙස දියත් වෙද්දී, ජාත්‍යන්තරය දිනාගැනීමේ පොහොට්ටු මෙහෙයුම කොළඹදී සහ ජිනීවාහිදී එකවර ක්‍රියාත්මක විය. සැප්තැම්බර් 9 වනදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අභිනව චීන තානාපති වේ හුවාෂියැං (Wei Huaxiang) මහතා කොළඹදී හමුවිය. පොහොට්ටුවේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ද මෙම හමුවට සහභාගී වීම හරහා පෙනී යන්නේ මෙය හුදු පුද්ගලික හමුවක් නොව, චීන කොමියුනිස්ට් පක්ෂය (CPC) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ආයතනික සබඳතාව අලුත් කිරීමක් බවයි.
අගෝස්තු 25 ජනාධිපතිවරයාට අක්තපත්‍ර භාරදුන් චීන තානාපතිවරයා, සැප්තැම්බර් 1 JVP ප්‍රධාන ලේකම්වරයා ද හමුවී තිබිණි. චීනයේ මෙම හැසිරීම ඉතා පැහැදිලිය. වර්තමාන රජය සමඟ රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු පවත්වන අතරම, කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි (BRI) ව්‍යාපෘතිවල ඓතිහාසික හවුල්කරුවන් වූ රාජපක්ෂවරුන් ද අත්නොහැර තබාගැනීමට චීනය උත්සාහ කරයි. චීනයේ මෙම "ද්විත්ව තුලනය" රාජපක්ෂවරුන්ට ජාත්‍යන්තර බලයක් ආරෝපණය කරන අතර, තමන් තවදුරටත් භූ දේශපාලනික අනාථයන් නොවන බව ආණ්ඩුවට පෙන්වීමට ඔවුන්ට අවකාශ ලැබී ඇත.
ජිනීවාහි බටහිර මෙහෙයුම: මිලින්දගේ UN කතාව සහ ජූලි චෑන්ග් හමුව
මෙම නාටකයේ වඩාත් උත්ප්‍රාසාත්මක අංශය දිගහැරෙන්නේ ජිනීවා නුවරදීය. අතීතයේදී බටහිර රටවල් සහ UNHRC සංවිධානය "අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණකරුවන්" ලෙස හැඳින්වූ පොහොට්ටුව, අද සිය ගැලවුම්කරුවන් ලෙස දකින්නේ ඔවුන්වමය.
සැප්තැම්බර් 8 වනදා, ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතූ මිලින්ද රාජපක්ෂ, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සිවිල් නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් අනුර කුමාර දිසානායක රජයට එරෙහිව බරපතළ චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය. නාමල් රාජපක්ෂ සහ සුරේෂ් සලේ රඳවා තබාගැනීම "දේශපාලන පළිගැනීමක්" ලෙස අර්ථකථනය කළ ඔහු, ආණ්ඩුව ගෙන එන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ නව දූෂණ විරෝධී පනත හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බව පවසමින්, ශ්‍රී ලංකාවේ නීතිමය ක්‍රියාදාමයන් නිරීක්ෂණය කරන ලෙස UNHRC යෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී වඩාත්ම අවධානයට ලක්විය යුතු කරුණ නම්, මිලින්ද රාජපක්ෂ ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ හිටපු බලපෑම් සහගත ඇමරිකානු තානාපතිනි ජූලි චෑන්ග් (Julie Chung) හමුවීමයි. පොහොට්ටුවේ නියෝජිතයෙකු ඇයව හමුවීම හරහා පැහැදිලි වන්නේ, දේශීය දූෂණ විමර්ශනවලින් ගැලවීම සඳහා මානව හිමිකම් සහ සිවිල් නිදහස යන ලේබල භාවිත කරමින් ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරේ සහයෝගය ලබාගැනීමට පොහොට්ටුව අතිශය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම නව දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ගය තුළින් ඔවුන්ගේ දේශපාලන කපටිකම සහ පැවැත්ම උදෙසා ඇති අසීමිත තෘෂ්ණාව මනාව ප්‍රදර්ශනය කරයි. නාමල් අත්අඩංගුවට ගැනීම හරහා පොහොට්ටුවේ නැගිටීම අඩාල කිරීමට ආණ්ඩුව ගත් උත්සාහය, අවසානයේ 12 වැනිදා අනුරාධපුර රැලියට අතිවිශාල ජනකායක් ඇදගන්නා, ජ්‍යෝතිෂ අනාවැකි සහ ළිමිනි රාජපක්ෂ වැනි චරිත හරහා ආණ්ඩුවේ පාර්ශ්වයන් ලවාම සිය ප්‍රවර්ධනය සිදුකරගන්නා, මෙන්ම මහින්දට යළි වේදිකාවට නැගීමට පාර කපන ස්වර්ණමය අවස්ථාවක් බවට රාජපක්ෂවරුන් විසින් පෙරළාගෙන ඇත.
එලෙස දේශීය වශයෙන් අනුකම්පාව දේශපාලන ප්‍රාග්ධනයක් කරගන්නා ඔවුහු, කොළඹදී චීනයට තුරුළු වී සිය කලාපීය ශක්තිය ප්‍රදර්ශනය කරති. ඒ අතරම, ජිනීවා ගොස් ඇමරිකානු හිටපු තානාපතිවරියන් හමුවෙමින්, දේශීය දූෂණ විමර්ශන 'මානව හිමිකම් උල්ලංඝනයන්' ලෙස හංවඩු ගසමින් බටහිර පලිහකට මුවා වීමට ද උත්සාහ දරති. මෙය නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් කරන සටනක් නොව, වගවීමෙන් මිදී යළි බලය ඩැහැගැනීම වෙනුවෙන් පෙරදිගත්, අපරදිගත්, දේශීයවත් එකවර ක්‍රියාත්මක කරන පැවැත්මේ සූදුවකි. ආණ්ඩුවට දැන් සිදුව ඇත්තේ නාමල්ගේ සිරගතවීම හේතුවෙන් අනුරාධපුරයෙන් ඇරඹෙන දේශීය දේශපාලන කුණාටුවට මෙන්ම, පොහොට්ටුව විසින් නිර්මාණය කරමින් පවතින ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පීඩනයට ද එකවර මුහුණ දීමටය.
# සමාරා පරණවිතාන

