SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

රුපියල් බිලියන 7.7 ක ඇස්තමේන්තුගත වියදමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත අනුරාධපුර

පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන, ආගමික හා නෛතික ක්ෂේත්‍රයන්හි දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ. හුදු යටිතල පහසුකම් නැංවීමක් ලෙස රජය හඳුන්වා දෙන මෙම වැඩපිළිවෙළ පිටුපස ඉන්දියාවේ දිගුකාලීන උපායමාර්ගික අරමුණු හා රනිල් වික්‍රමසිංහ රජය තුළ යෝජනා කෙරුනු ‘රාමායණ මංපෙත’  [Ramayana Trail project] වැනි සංස්කෘතික ව්‍යාපෘති ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව මේ වන විට බරපතළ කතිකාවක් ගොඩනැගී ඇත.

 

 

 

2024 දී සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමූහය විසින් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සංවිධානය කරන ලද "රාමායණ මංපෙත - පූජනීය මෙහෙවර" ව්‍යාපෘතියේ නිල දියත් කිරීමේ උත්සවයේදී ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ලංකා රජය නියෝජනය කරමින් සාගල රත්නායක.

 

අර්බුදයේ වත්මන් තත්ත්වය සහ මතවාදී බෙදීම

2025 අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස අනුරාධපුර පූජා නගර සංකීර්ණය සංවර්ධනය කිරීමට ඉන්දියාව සිය සහයෝගය ප්‍රකාශ කළේය. යටිතල පහසුකම් දියුණු කිරීම, වන්දනාකරුවන්ගේ සහ සංචාරකයන්ගේ පහසුකම් නැංවීම මෙන්ම උරුමයන් සංරක්ෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි.

 

කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැතිර යන විවිධ මතවාද අතර කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙකු The Island පුවත්පත වෙත පැහැදිලි කර ඇත්තේ, රුපියල් බිලියන 7.7 ක ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් අවසන් කර නොමැති බවයි. ශ්‍රී ලංකා රජයෙන් තමන් වෙත ලැබී ඇත්තේ ව්‍යාපෘතියේ මූලික දළ සැලැස්මක් පමණක් බව පවසන එම ප්‍රකාශකයා, ඒ සඳහා වැය වන ආධාර ප්‍රමාණය තීරණය කිරීමට හා අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට නම් ශ්‍රී ලංකා රජයේ පිරිවිතරයන්ට අනුකූල සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් තවමත් අපේක්ෂාවෙන් සිටින බව සඳහන් කර තිබේ.

 

ව්‍යාපෘතිය පිළිබඳ පූර්ණ විනිවිදභාවයක් නොමැති වීමත් සමඟ මෙරට සමාජය තුළ පැහැදිලි මතවාදී බෙදීමක් නිර්මාණය වී ඇත. රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල චෝදනා කර තිබුණේ, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා බෞද්ධ සංස්කෘතියට එරෙහි න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන බැවින් අනුරාධපුර ව්‍යාපෘතියේ සමස්ත අරමුණු පිළිබඳව දැඩි සැකයක් පවතින බවයි.

 

විශේෂයෙන්ම අභාවප්‍රාප්ත ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සාමාජිකාවක ලෙස කටයුතු කරමින් ආචාර්ය හරිනි අමරසූරිය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය ඉවත් කිරීමට අතීතයේදී යෝජනා කළ ආකාරය ඔහු සිහිපත් කළේය. එහෙත් නොවැම්බර් 16 වනදා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සමඟ පැවති මාධ්‍ය හමුවේදී රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති හා වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් මෙම ව්‍යාපෘතියෙන් කිසිදු හානියක් සිදු නොවන බවට දුන් සහතිකය හේතුවෙන් තම විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවා ඉදිරි වර්ධනයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියේය.

 

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව - LNW Sinhala

 

 

මීට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් දරන මාධ්‍යවේදීන් වන තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩුවරගෙදර පෙන්වා දෙන්නේ අනුරාධපුර සංවර්ධන ව්‍යාපෘතිය වත්මන් රජයේ අලුත් අදහසක් නොව පැවති සෑම රජයක් විසින්ම ඉදිරියට ගෙන ආ වැඩපිළිවෙළක් බවයි. රටට විශාල ප්‍රතිලාභයක් අත්කර දිය හැකි සංවර්ධන ව්‍යාපෘතියක් ඇතැම් කණ්ඩායම් පටු දේශපාලන වාසි තකා අවභාවිත කරමින් සිටින බවට ඔවුහු චෝදනා කරති. මේ අතර මෙම සංවේදී ජාතික ප්‍රශ්නය හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුගමනය කරන නිහඬ පිළිවෙත පිළිබඳවද ජාතිකවාදී කඳවුරෙන් දැඩි විවේචන එල්ල වී තිබේ.

 

 

 යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනපති එක්  වෙයි - දිනමිණ

 

රාමායණ මංපෙතේ සෙවණැල්ල සහ ඉන්දීය මෘදු බල උපායමාර්ගය

මෙම විවාදය වඩාත් තීව්‍ර වීමට බලපෑ ප්‍රධානතම සාධකයක් වන්නේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ ප්‍රකාශක ආචාර්ය වසන්ත බණ්ඩාර මතු කළ අනතුරු ඇඟවීමයි. අනුරාධපුර ව්‍යාපෘතිය ඉන්දියාව විසින් ප්‍රවර්ධනය කරනු ලබන ‘රාමායණ මංපෙත’ (Ramayana Trail) සංචාරක ව්‍යාපෘතියේ කොටසක් බවට පත්වීමේ සැඟවුණු න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

 

හින්දු මහා කාව්‍යයක් වන රාමායණයේ සඳහන් රාම, සීතා, හනුමාන් සහ රාවණා යන චරිත හා සිදුවීම්වලට සම්බන්ධ බවට විශ්වාස කෙරෙන ශ්‍රී ලංකාවේ ස්ථාන පනහකට අධික සංඛ්‍යාවක් — එනම් නුවරඑළිය සීතා එළිය, අශෝක වාටිකා, හක්ගල, මුන්නේෂ්වරම්, ත්‍රිකුණාමලය කෝනේෂ්වරම්, සීගිරිය හා රාවණා ඇල්ල වැනි ස්ථාන — එකම සංචාරක කලාපයකට ගොනු කර ප්‍රවර්ධනය කිරීම රාමායණ මංපෙත ව්‍යාපෘතියේ හරයයි. ඉන්දියාව ඇතුළු ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් සහ ආධ්‍යාත්මික සංචාරකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම මෙහි මූලික අරමුණ ලෙස දැක්වේ.

 

Ramayana by SriLankan

 

ඉන්දියාවට මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන උපායමාර්ගික වාසි බහුවිධය.

පළමුව, ශ්‍රී ලංකාව යනු ඉන්දීය මහා සංස්කෘතික කලාපයේම (Greater Indian Cultural Sphere) අඛණ්ඩ දිගුවක් බව කලාපීයව සහ ජාත්‍යන්තරව තහවුරු කිරීම සඳහා ප්‍රබල සංස්කෘතික රාජ්‍යතාන්ත්‍රිකභාවයක් හෙවත් මෘදු බලයක් (Soft Power) මෙමගින් ඉන්දියාවට හිමිවේ.

දෙවනුව, ඉන්දියාව තුළ හින්දු සංස්කෘතික පුනරුදයට ප්‍රමුඛත්වය දෙන වත්මන් දේශපාලන නායකත්වයට දේශසීමාවෙන් ඔබ්බට ගිය රාමායණ උරුමය ප්‍රවර්ධනය කිරීම හරහා සිය දේශීය ඡන්ද පදනම තුළ ඉහළ දේශපාලන ආකර්ෂණයක් දිනාගත හැකිය.

තෙවනුව, ඉන්දීය සංචාරක සමාගම්, ගුවන් සේවා සහ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයට ශ්‍රී ලංකාව තුළ සෘජු ආර්ථික හා වෙළඳපොළ ආධිපත්‍යයක් පුළුල් කර ගැනීමට මෙයින් මඟ පෑදේ.

 

ශ්‍රී ලංකාවේ පැත්තෙන් බලන විට මෙහි ආර්ථික හා සංස්කෘතික බලපෑම් ද්විත්ව ස්වරූපයක් ගනී. ඉන්දියාවේ අතිවිශාල මධ්‍යම පාන්තික සංචාරක වෙළඳපොළෙන් කුඩා ප්‍රතිශතයක් හෝ ආකර්ෂණය කර ගැනීමෙන් මෙරටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් සහ ප්‍රාදේශීය රැකියා අවස්ථා හිමිවන බව සැබෑවකි.

 

 

එහෙත් විචාරකයන් මතු කරන බරපතළ ගැටලුව වන්නේ, පුරාවිද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ස්වාධීන ප්‍රාග්-ඓතිහාසික හා බෞද්ධ ශිෂ්ටාචාරය, සාහිත්‍යමය හා පුරාවෘත්තමය ආඛ්‍යානයකට (Mythological Narrative) යටපත් වීමේ අවදානමයි. අනුරාධපුරය වැනි ලෝක උරුම බෞද්ධ පුරවරයක් එවැනි පුළුල් ඉන්දීය සංස්කෘතික කොරිඩෝවකට ඈඳනු ලැබුවහොත්, ශ්‍රී ලංකාවේ අනන්‍ය ඓතිහාසික කතිකාව දියාරු වී යා හැකි බවට සාධාරණ බියක් සමාජය තුළ මතු වී ඇත.

 

 

මෙම පසුබිම තුළ අනුරාධපුර ව්‍යාපෘතිය හුදකලා සිදුවීමක් ලෙස නොව, ඉන්දියාවේ සමස්ත ශ්‍රී ලංකා උපායමාර්ගය තුළ තබා කියවිය යුතු බවට ආචාර්ය වසන්ත බණ්ඩාර සහ නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව කරන යෝජනාව විශ්ලේෂණාත්මකව බැහැර කළ නොහැකිය. 2025 අප්‍රේල් මාසයේදී අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් හත සහ පසුව අත්සන් කළ ආරක්ෂක ගිවිසුම් තුන මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබීම එම සැකය තවදුරටත් තීව්‍ර කරයි.

 

 

ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ ("Neighbourhood First") මූලික ලක්ෂණයක් වන්නේ කලාපීය ප්‍රතිවාදීන්ගේ, විශේෂයෙන්ම චීනයේ බලපෑම පාලනය කිරීම සඳහා යටිතල පහසුකම් ආයෝජනවලට අමතරව ආගමික හා සංස්කෘතික බැඳීම් උපායමාර්ගිකව භාවිත කිරීමයි. බෞද්ධ සංචාරක කලාපය සහ රාමායණ මංපෙත යන දෙකම ඉන්දියාව භාවිත කරන්නේ ශ්‍රී ලංකාවේ මහජන මතය තමන් වෙත නම්මවා ගැනීමේ සහ දිගුකාලීන අනුග්‍රාහකත්වයක් ගොඩනගා ගැනීමේ මෙවලම් ලෙසිනි.

 

 

එබැවින් මෙම ඉන්දීය මැදිහත්වීම හුදු නිස්සරණාධ්‍යාශයෙන් කරන ආගමික පුණ්‍යකර්මයක් ලෙස හෝ සම්පූර්ණයෙන්ම අහිතකර ආක්‍රමණයක් ලෙස හෝ සරලව වර්ග කළ නොහැකි අතර, එය භූ-දේශපාලනික උපායමාර්ගයක් සහිත මෘදු බල ආයෝජනයක් ලෙස හඳුනා ගැනීම වඩාත් නිවැරදිය. එහි වාසිය හෝ අවාසිය තීරණය වන්නේ ඉන්දියාවේ අභිලාෂය මත නොව, ශ්‍රී ලංකා රජය සිය ස්වෛරීභාවය, නීතිය සහ සංස්කෘතික අනන්‍යතාව රැකගනිමින් අදාළ ව්‍යාපෘති යෝජනාව සකස් කරන ආකාරය මතය.

 

 

ගඩොල් හා ගල්වලින් ඔබ්බට ගිය වාරි ශිෂ්ටාචාරය සහ නෛතික අනතුරු ඇඟවීම

දේශපාලන වාද විවාදවලින් ඔබ්බට ගොස් අනුරාධපුරය දෙස බැලිය යුතු සැබෑ කෝණය ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්තිමාලා ගුණසේකර විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම විනිසුරුවරුන් දෙපළකගේ ඓතිහාසික තීන්දු ඇසුරින් පෙන්වා දෙනු ලැබේ. අනුරාධපුරය යනු හුදු දාගැබ් හා නටබුන් සහිත සංචාරක කලාපයක් පමණක් නොව, ජල කළමනාකරණය, කෘෂිකර්මාන්තය, පරිසර සංරක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය සහ බෞද්ධ දර්ශනය එකට බැඳුණු ලෝකයේ විශිෂ්ටතම වාරි ශිෂ්ටාචාරයකි.

 

ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ ඉදිවූ කලා වැව සහ බලලු වැව, වියළි කාලයේදී තණබිම් මතු වී දුර්ලභ ඇතුන් ඇතුළු අලි ඇතුන්ට අභයභූමියක් සපයන කුඹුක් වනාන්තරයෙන් හෙබි කලා වැව ජාතික වනෝද්‍යානය, ක්‍රිස්තු වර්ෂ 459 දී ඉදිවූ සැතපුමකට අඟල් හයක සියුම් බෑවුමකින් කිලෝමීටර් 87 ක් දුරට තිසා වැව දක්වා ජලය ගෙන යන යෝධ ඇළ, සහ බදාම පවා නොමැතිව සියුම් ලෙස කැපූ ගල් කුට්ටිවලින් නිමවා ජල පීඩනය පාලනය කළ විස්මිත බිසෝකොටුව තාක්ෂණය මේ සියල්ල අනුරාධපුර පූජා නගරයෙන් වෙන් කළ නොහැකි ඒකාබද්ධ ජාතික උරුමයකි.

 

 

මෙවැනි භූමියක කවර හෝ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය විසින් තහවුරු කරන ලද ප්‍රබල නෛතික මූලධර්ම රජයකට මඟහැර යා නොහැකිය. 2000 වසරේදී ප්‍රකාශයට පත් කළ ඓතිහාසික එප්පාවල පොස්පේට් නඩු තීන්දුවේදී (බුලන්කුලම සහ පිරිස එදිරිව ෆ්‍රීපෝට්-මැක්මොරන්) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.ආර්.බී. අමරසිංහ තම සෙසු විනිසුරුවරුන් දෙදෙනාගේ එකඟතාවයෙන් යුතුව ප්‍රකාශ කළේ, රජය යනු රාජ්‍ය ඉඩම්වල හෝ ස්වභාවික සම්පත්වල හිමිකරු නොව අනාගත පරපුර වෙනුවෙන් ඒවා රැකගන්නා තාවකාලික භාරකරුවෙකු පමණක් බවයි.

 

 

මහජන භාරකාරත්ව සිද්ධාන්තය තහවුරු කළ එම තීන්දුවට අනුව, තනි දාගැබක් හෝ පුරාවිද්‍යා ස්මාරකයක් පමණක් ආරක්ෂා කිරීම ප්‍රමාණවත් නොවන අතර, එය වටා පිහිටි යෝධ වැව හා පෞරාණික වාරි පද්ධතිය, භූගත ජල මූලාශ්‍ර හා සමස්ත සංස්කෘතික භූ දර්ශනය විනාශ වුවහොත් එම උරුමයේ සැබෑ හරය වැනසී යයි. ව්‍යාපෘති සැලසුම් මහජනයාට විවෘත නොකර ඉන් සිදුවිය හැකි හානිය තක්සේරු කළ නොහැකි බැවින් එවැනි අවස්ථාවක ව්‍යාපෘතියක් ඉදිරියට ගෙන නොයා යුතු බවත්, දෙපාර්ශ්වයක් අතර ඇති කරගන්නා රහසිගත ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරී නීතිය මඟහැර යා නොහැකි බවත් එම නඩු තීන්දුව පැහැදිලිව අවධාරණය කරයි.

 

විනිසුරු අමරසිංහගේ මෙම නඩු තීන්දුවට පදනම් වූ ජාත්‍යන්තර නෛතික දැක්ම ඊට වසර තුනකට පෙර, එනම් 1997 වසරේදී ජාත්‍යන්තර අධිකරණයේ හිටපු උප සභාපති විනිසුරු සී.ජී. වීරමන්ත්‍රී විසින් හංගේරියාව සහ ස්ලෝවැකියාව අතර පැවති ගැබ්චිකෝවෝ-නැගිමාරොස් නඩුවේදී ලොවට ගෙනහැර දක්වනු ලැබීය.

 

 

වැසි දිය බිඳක් හෝ ජනතාවගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදීමේ පෞරාණික ශ්‍රී ලාංකේය ජල කළමනාකරණ ප්‍රඥාවත්, මෙම භූමියේ ජීවත්වීමට සතුන්ට හා පක්ෂීන්ටද මිනිසුන් හා සමාන අයිතියක් ඇති බවට මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජුට කළ දේශනාවත් ජාත්‍යන්තර නීතිය හමුවේ උපුටා දැක්වූ ඔහු, තිරසාර සංවර්ධනය යනු නවීන ජාත්‍යන්තර සංකල්පයක් නොව ශ්‍රී ලංකාව සියවස් ගණනාවක් පුරා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ ශිෂ්ටාචාරමය හරයක් බව පෙන්වා දුන්නේය.

 

 

මෙම අධිකරණ පූර්වාදර්ශයන්ට සමගාමීව 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත, 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත, 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥාපනත සහ අදාළ ප්‍රදේශ සඳහා 1979 අංක 23 දරන මහවැලි අධිකාරී පනත යන නීති සියල්ල ඒකාබද්ධව ක්‍රියාත්මක විය යුතුය. එමෙන්ම පරිසරය ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම රජයේ වගකීමක් ලෙස දක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(14) වගන්තියත්, ස්වභාවධර්මය හා එහි සම්පත් රැකගැනීම සෑම පුරවැසියෙකුගේම යුතුකමක් ලෙස දක්වන 28(f) වගන්තියත් හමුවේ රජයට මුහුණ දීමට සිදුවන කේන්ද්‍රීය ප්‍රශ්නය පැහැදිලිය.

 

 

පෞරාණික ජල පද්ධති, පුරාවිද්‍යාත්මක භූ දර්ශනය සහ නගරයේ පූජනීය අනන්‍යතාව ආරක්ෂා වන බවට විධිමත් පුරාවිද්‍යා, ජල විද්‍යා හා පාරිසරික අධ්‍යයනයන් මගින් පළමුව තහවුරු නොකර, කවර හෝ රජයකට අනුරාධපුරයේ සංචාරක හා යටිතල පහසුකම් ව්‍යාපෘති ආරම්භ කළ හැකිද?

 

 

අවස්ථා සහ අවදානම් අතර තුලනය

අනුරාධපුර ප්‍රතිසංවිධාන ව්‍යාපෘතිය නිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට හා විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කළහොත් මෙරට ආගමික සංස්කෘතියට හා ආර්ථිකයට සැලකිය යුතු ධනාත්මක ප්‍රතිලාභ අත්කර ගත හැකිය. වන්දනාකරුවන්ට වඩාත් විධිමත්, පිරිසිදු හා පහසුකම් සහිත වන්දනා පරිසරයක් නිර්මාණය වීම, පූජනීය ස්ථාන නඩත්තුව සඳහා ණය බරකින් තොර ප්‍රදාන (Grants) හිමිවීම, නවීන තාක්ෂණය ඔස්සේ ක්ෂය වෙමින් පවතින උරුමයන් සංරක්ෂණය කිරීම සහ ජාත්‍යන්තර බෞද්ධ සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස අනුරාධපුරයේ අගය ලොවට තවදුරටත් ප්‍රචලිත වීම ඒ අතර ප්‍රධාන වේ.

 

 

එහෙත් නිසි නියාමනයකින් හා විවෘතභාවයකින් තොරව කටයුතු කළහොත් ඉන් ඇතිවිය හැකි සෘණාත්මක බලපෑම් අතිශය බරපතළය. අධි-වාණිජකරණය (Commercialization) හරහා පූජා නගරයේ සියවස් ගණනාවක් පැවති ශාන්ත හා ආධ්‍යාත්මික පරිසරයට හානි සිදුවීමේ අවදානමක් පවතින අතර, පිටස්තර සංස්කෘතික හා ආගමික ආඛ්‍යානවලට අනුගත වීමෙන් ශ්‍රී ලංකාවේ ස්වාධීන ථේරවාදී හා වාරි ශිෂ්ටාචාරමය කතිකාව ඉන්දීය මූලික කලාපීය ආඛ්‍යානයක උප කොටසක් බවට පත්වීමේ තර්ජනය මතු වේ.

 

 

ඊට අමතරව, පූර්ව විද්‍යාත්මක ඇගයීම්වලින් තොරව සිදු කෙරෙන ඉදිකිරීම් හේතුවෙන් භූගත පුරාවස්තු, පැරණි වැව් පෝෂක ප්‍රදේශ, භූගත ජලය සහ වනජීවී කලාපවලට නැවත හැරවිය නොහැකි විනාශයක් සිදුවිය හැකිය. සියල්ලටම වඩා සවිස්තරාත්මක සැලසුම් හා ගිවිසුම් පාර්ලිමේන්තුවෙන් සහ මහජනතාවගෙන් වසන් කර තබා ගැනීම නිසා රට තුළ සමාජ අවිශ්වාසය, ආගමික හා ජාතිකවාදී නොසන්සුන්තා වර්ධනය වී ද්වි-පාර්ශ්වික සබඳතාවලට පවා හානි පැමිණීම නොවැළැක්විය හැකිය.

 

 

අපි භාරකරුවන් මිස හිමිකරුවන් නොවෙමු

අනුරාධපුර පූජා නගරයේ යටිතල පහසුකම් නැංවීම හෝ සංරක්ෂණය කිරීම සඳහා විදේශීය ආධාර ලබා ගැනීම මූලධාර්මිකව වරදක් නොවේ. වත්මන් අර්බුදයේ මූලය ඇත්තේ ඉන්දියාව ආධාර කිරීමට ඉදිරිපත් වීම තුළ නොව, එම ව්‍යාපෘතියේ සැබෑ ස්වරූපය පිළිබඳ විනිවිදභාවය නොමැති වීම තුළය.

 

 

ඉන්දියාව පවා තවමත් සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවක් අපේක්ෂාවෙන් සිටින පසුබිමක, ශ්‍රී ලංකා රජය සතු ප්‍රමුඛතම වගකීම වන්නේ රහසිගත ගිවිසුම්වලින් බැහැරව සියලු සැලසුම් මහා සංඝරත්නයට, පුරාවිද්‍යාඥයන්ට, වාරි ඉංජිනේරුවන්ට, නීති විශාරදයන්ට සහ සමස්ත මහජනතාවට විවෘත කිරීමයි.

 

 

දේවානම්පියතිස්ස රජුගේ සිට විනිසුරු සී.ජී. වීරමන්ත්‍රී සහ විනිසුරු ඒ.ආර්.බී. අමරසිංහ යන විද්වතුන් අපට උරුම කර දුන් සදාතනික පණිවිඩය එකමය. අපගේ මුතුන්මිත්තන් වැව්, ඇළ මාර්ග, වෙහෙර විහාර සහ පූජනීය ස්මාරක ගොඩනැගුවේ තමන්ගේ පරපුර සඳහා පමණක් නොව අනාගත පරපුරට දායාද කළ යුතු ශිෂ්ටාචාරයක් ලෙසිනි.

 

 

අනුරාධපුරය යනු කවර හෝ රජයකට තම අභිමතය පරිදි වාණිජ හෝ සංචාරක සැලසුම් අත්හදා බැලිය හැකි හිස් බිමක් නොව, නූපන් පරපුර වෙනුවෙන් අප භාරයේ පවතින ජාතික උරුමයකි. සංවර්ධනය සෑමවිටම මෙම උරුමයට සේවය කළ යුතු මිස එය විනාශ කිරීමට හෝ දියාරු කිරීමට ඉඩ නොදිය යුතු අතර, විධිමත් විද්‍යාත්මක අධ්‍යයනයන් හා ශ්‍රී ලංකාවේ ස්වෛරී නීතිය මත පදනම් වූ විවෘත ක්‍රියාවලියක් හරහා පමණක් දේශපාලන සැකසංකා දුරු කරමින් අනුරාධපුරයට සැබෑ සංවර්ධනයක් දිනා දිය හැකි වනු ඇත.

 

 

-----------------------------------------------------

(මූලාශ්‍ර:- The Island පුවත්පත් වාර්තා, රූපවාහිනී කාලීන සංවාද, ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්තිමාලා ගුණසේකරගේ විශ්ලේෂණය, 2000 එප්පාවල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සහ විනිසුරු සී.ජී. වීරමන්ත්‍රීගේ 1997 ජාත්‍යන්තර අධිකරණ මතය ඇසුරිනි.)

 

 

#SamaaraParanavithana

නවතම ලිපි