SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"නීතිපති නියෝජිතයා අධිකරණ  වරප්‍රසාද අවභාවිතයෙන්  පරඬැලක් වන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය"


 

​නූතන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පදනම් වී ඇත්තේ පුද්ගල කේන්ද්‍රීය

මතිමතාන්තර, දේශපාලන අවශ්‍යතා හෝ මහජන ආවේග මත නොව, අපක්ෂපාතී අධිකරණයක් ඉදිරියේ මෙහෙයවනු ලබන පරිශ්‍රමශීලී සාක්ෂි විභාගයක් මතය. ඕනෑම අපරාධ නඩු විභාගයක රන්වන් සූත්‍රය වනුයේ "වරදකරු කරනු ලබන තෙක් සෑම තැනැත්තෙකුම නිර්දෝෂී තැනැත්තෙකු ලෙස පූර්ව නිගමනය කළ යුතුය" යන්නයි.

 

 

​කෙසේ වෙතත්, මෑතකාලීනව ශ්‍රී ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණ මට්ටමින් විභාග වන ඇතැම් ආන්දෝලනාත්මක නඩුවලදී, චූදිතයන් නිල වශයෙන් වරදකරු කිරීමටත් පෙර, රජයේ පැමිණිලි පාර්ශවය (නීතිපති දෙපාර්තමේන්තුව) සහ මාධ්‍ය සාමූහිකව ක්‍රියා කරමින් චූදිතයා සමාජය ඉදිරියේ "අතිශය පිළිකුල් සහගත අපරාධකරුවෙකු" ලෙස හංවඩු ගැසීමේ භයානක ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතී. සාක්ෂි මගින් තහවුරු නොවූ, තනි පුද්ගලයන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වූ මනඃකල්පිත මතයන් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරමින් , චූදිතයන්ට එරෙහිව අගතිදායක මහජන මතයක් (Prejudicial Public Opinion) නිර්මාණය කිරීම හරහා බිඳවැටෙන්නේ යුක්තියේ පදනමයි.

 

​මහේස්ත්‍රාත් අධිකරණ නඩු විභාගවලදී සිදුවන මෙම අයිතිවාසිකම් උල්ලංඝනය වීම, ඒ සඳහා බලපාන දේශීය හා ජාත්‍යන්තර නීතිමය ප්‍රතිපාදන සහ ඊට එරෙහිව වින්දිත චූදිතයන්ට ගත හැකි නෛතික පියවරයන් කවරේද යන්න පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම කාලීන අවශ්‍යතාවයක් වී ඇත.


 

පොලිස් ප්‍රකාශ සහ "මනඃකල්පිත" සත්‍යයන්ගේ අර්බුදය

​සාක්ෂි ආඥාපනත (Evidence Ordinance) සහ අපරාධ නඩු විධාන සංග්‍රහය (Criminal Procedure Code) පිළිබඳව මැනවින් අවබෝධයක් ඇති  ඕනෑම අයෙකු දන්නා මූලික සිද්ධාන්තයක් ඇත. එනම්, අපරාධ විමර්ශන අවස්ථාවකදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110 වගන්තිය යටතේ පුද්ගලයන් විසින් පොලිසියට ලබාදෙන ප්‍රකාශ  යනු නීතිය ඉදිරියේ කිසිසේත්ම "තහවුරු කරන ලද සාක්ෂි" (Substantive Evidence) නොවන බවයි. ඒවා හුදෙක් විමර්ශන මෙහෙයවීම සඳහා නිලධාරීන් ලබාගන්නා තොරතුරු මාත්‍රයක් පමණි. එම ප්‍රකාශ ලබාදුන් පුද්ගලයන් විවෘත අධිකරණයේ සාක්ෂි කූඩුවට නැග, දිවුරුම් දී, විත්ති පාර්ශ්වයේ දැඩි හරස් ප්‍රශ්න කිරීම්වලට ලක්වී ජයගන්නා තෙක්, ඒවා "තහවුරු කළ සත්‍යයන්" ලෙස සැලකීමට නීතිමය පදනමක් නැත.

 

​නමුත් අවාසනාවකට, වර්තමාන අධිකරණ ශාලා තුළ සිදුවන්නේ අනෙකකි. මෙම තහවුරු නොකළ පොලිස් ප්‍රකාශ, මුළුමනින්ම සත්‍ය තොරතුරු ලෙස සලකා, ඒවාට තමන්ගේ පුද්ගලික මනඃකල්පිත අදහස් හා අලංකාරෝපනයන් ද මුසු කරමින් රජයේ ඇතැම් නීතිඥවරුන් විවෘත අධිකරණයේදී දීර්ඝ දේශන පවත්වති. තමන් උසාවිය තුළ පවසන මෙම ආවේගශීලී සහ ඒකපාර්ශ්වික ප්‍රකාශ, පිටත සිටින මාධ්‍යවේදීන් විසින් එලෙසම උපුටා දක්වමින් ප්‍රධාන සිරස්තල  ලෙස සමාජගත කරන බව ඔවුහු මැනවින් දනිති. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ, නඩුව විභාග වීමටත් පෙර චූදිතයා සමාජය ඉදිරියේ මුළුමනින්ම වැරදිකරුවෙකු වී, ඔහුගේ හෝ ඇයගේ ආත්ම ගෞරවය සදාකාලිකවම ඝාතනය වීමයි.


 

​පරම වරප්‍රසාද (Absolute Privilege) සිමෙන්ති පවුරක් නොවේ

​නීතිපතිවරයා නියෝජනය කරමින්  රජයේ නීතිඥවරුන් මෙලෙස විවෘත අධිකරණයේදී සීමාවන් ඉක්මවා යමින් ප්‍රකාශ සිදුකරන්නේ, උසාවිය තුළ කියන දෑ සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අපහාස කිරීම් හෝ සිවිල් නඩු පැවරිය නොහැකි බවට ඇති "අධිකරණ පරම වරප්‍රසාද" (Absolute Privilege) නමැති නෛතික ආවරණය හොඳින්ම දන්නා බැවිනි. නමුත් වරප්‍රසාද යනු නීතිය අවභාවිත කිරීමට දුන් බලපත්‍රයක් නොවේ.

 

 

ප්‍රේමචන්ද්‍ර එරෙහිව මොන්ටේගු ජයවික්‍රම

(Premachandra v. Major Montague Jayawickrema [1994] 2 Sri L.R. 90)  නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කොට සිටියේ නීතියේ ආධිපත්‍යය පවතින රටක අසීමාන්තික (unfettered) අභිමත බලයක් පැවතිය නොහැකි බවත් රාජ්‍ය නිලධාරියෙකු හෝ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් සතු සෑම බලයක්ම පොදු යහපත උදෙසා, සාධාරණව සහ ජනතා විශ්වාසයට (Public Trust) යටත්ව භාවිත කළ යුතු බවයි..

 

 

එසේම චන්න පීරිස් සහ තවත් අය එදිරිව නීතිපති සහ තවත් අය 

(Channa Peiris and Others v. Attorney-General and Others [1994] 1 Sri L.R. 1 ) නඩුවේ දී ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කොට සිටියේ රාජ්‍ය බලය සහ අභිමතානුසාරී  බලතල නීතියේ ආධිපත්‍යය හා මූලික අයිතිවාසිකම්වලට අනුකූලව භාවිත කළ යුතු බවත්  ස්වාභාවික යුක්ති ධර්මයට පටහැනි අත්තනෝමතික ක්‍රියාමාර්ග මගින් පුද්ගල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට රාජ්‍ය නිලධාරීන්ට අවසර නොමැති බවත්ය.

  

 

ඒ අනුව  මාධ්‍ය සංදර්ශන මඟින් චූදිතයන්ගේ අයිතිවාසිකම් පාගා දැමීම සඳහා  නීතියෙන් කිසිදු අවසරයක් නැති බව පැහැදිලිය.


 

​නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය යනු කුමක්ද?

​මෙම මූලධර්මයේ සරල අර්ථය නම්, යම් පුද්ගලයෙකුට එරෙහිව අපරාධ චෝදනාවක් එල්ල වූ පමණින් ඔහු වරදකරුවෙකු නොවන බවයි. ඔහුව වරදකරු කිරීමේ සහ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමේ සම්පූර්ණ බර පවතින්නේ පැමිණිලි පාර්ශවය මතය.


 

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන

ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වැනි පරිච්ඡේදයේ දැක්වෙන මූලික අයිතිවාසිකම් යටතේ 13(5) ව්‍යවස්ථාව මගින් මෙම අයිතිය නිරපේක්ෂව තහවුරු කර ඇත ඒ අනුව නිසි අධිකරණයකින් නඩු විභාහ කොට විධිමත් පරිදි "වරදකරුවෙකු කරනු ලබන තෙක් සෑම තැනැත්තෙකුම නිර්දෝෂී තැනැත්තෙකු ලෙස පූර්ව නිගමනය කරනු ලැබීමට හිමිකම් ඇත්තේය."

 

​එසේම, ව්‍යවස්ථාවේ 13(3) ව්‍යවස්ථාව මගින් ඕනෑම සිරභාරයට ගත් හෝ චූදිත පුද්ගලයෙකුට සාධාරණ නඩු විභාගයකට  ඇති අයිතිය සහතික කරයි. සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට නම්, විනිසුරුවරයා කිසිදු පූර්ව නිගමනයකින් හෝ බාහිර මහජන බලපෑමකින් තොරව නඩුව ඇසිය යුතුය.


 

​ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිති

​ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 14(2) වගන්තිය ප්‍රකාශ කරන්නේ ද නීත්‍යානුකූලව වරදකරු කරන තෙක් සෑම පුද්ගලයෙකුටම නිර්දෝෂී ලෙස සැලකීමට ඇති අයිතිය උදුරා ගත නොහැකි බවයි. ශ්‍රී ලංකාව තුළ   2007 අංක 56 දරන ICCPR පනත මගින් ද මෙම ප්‍රතිපාදන දේශීය නීතියට අන්තර්ග්‍රහණය කර ඇත.


 

නීතිපතිවරයාගේ භූමිකාව: රජයේ නීතිඥයාද, යුක්තියේ පාලකයාද?

​ශ්‍රීලංකා නෛතික ඉතිහාසය තුළ නීතිපතිවරයා  යනු හුදෙක් ආණ්ඩුවේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින පක්ෂග්‍රාහී නීතිඥයෙකු නොවේ. ඔහු පොදු මහජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම භාරව සිටින අධිකරණයේ නිලධාරියෙකි 


 

පැමිණිල්ලේ භූමිකාව: කෙසේ හෝ කොටු කිරීම නොව, යුක්තිය සෙවීමයි

 

අපරාධ නඩුකරයකදී රජයේ පැමිණිල්ල මෙහෙයවන නිලධාරියෙකුගේ (Prosecutor) කාර්යභාරය සැකකරු කෙසේ හෝ වරදකරු කර හිරගෙට යැවීම නොවේ. ලංකා නෛතික ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ, බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලය (Privy Council) දක්වා අභියාචනය වූ සුප්‍රකට The King v. Seneviratne (1936) 38 N.L.R. 208 නඩුවේදී පැහැදිලිවම පෙන්වා දුන්නේ රජයේ පැමිණිල්ල මෙහෙයවන්නන් තමන්ට වාසිදායක සාක්ෂි පමණක් තෝරා බේරා ගනිමින් චූදිතයාට අගතියක් වන පරිදි ක්‍රියා නොකළ යුතු බවත්, සත්‍යය මතු කර ගැනීම සඳහා සියලු සාක්ෂි සාධාරණව අධිකරණයට ඉදිරිපත් කිරීම ඔවුන්ගේ වගකීම බවත්ය.

 

 

මෙම සාම්ප්‍රදායික රීතිය නූතන සමාජයට ගැලපෙන පරිදි යළිත් වරක් අතිශය ප්‍රබල ලෙස තහවුරු කරනු ලැබුවේ  කරුණාරත්න එදිරිව නීතිපති( Karunarathne v. Attorney General (SC Appeal No. 32/2020) ) නඩුවේදීය. එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා අවධාරණය කළේ පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිඥවරයා යනු අධිකරණයේ නිලධාරියෙකු  මිස, කෙසේ හෝ චූදිතයා කොටු කිරීමට වෙහෙසෙන පුද්ගලයෙකු නොවන බවයි. එහිදී  විනිසුරුතුමා  මෙසේ සඳහන් කොට ඇත "ඕනෑම මිලක් ගෙවා චූදිතයා වරදකරු කරවීම රජයේ නීතිඥවරයාගේ කාර්යය නොවේ. ඔහුගේ පරම වගකීම සත්‍යය මතු කරමින් යුක්තිය පසිඳලීමට අධිකරණයට සහාය වීමයි” 

 

නමුත් මීට පටහැනිව සමහර රජයේ නීතිඥයන්ගේ ඒකායන අරමුණ චූදිතයා කෙසේ හෝ වැරදිකරු කිරීම බව පැහැදිලිවම පෙනී යයි. 


 

නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය

​1988 දෙසැම්බර් 30 දිනැති අංක 538/23 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශිත නීතිඥවරුන් සඳහා වන ශ්‍රේෂ්ඨාධිකරණ ආචාරධර්ම රීති (Supreme Court Conduct and Etiquette Rules) අනුව, කිසිදු නීතිඥවරයෙකු අධිකරණය නොමඟ යවන සුළු, සාක්ෂි මත පදනම් නොවන හෝ සාධාරණ නඩු විභාගයකට (Fair Trial) බාධා වන අන්දමේ පූර්ව නිගමන සහිත ප්‍රකාශ විවෘත අධිකරණයේ හෝ ඉන් පිටත සිදු නොකළ යුතුය.  විශේෂයෙන්ම එම ආචාර්ය ධර්ම රීති අංක 53 හි දක්වා ඇත්තේ නීතිඥවරයෙකු විසින් විරුද්ධ පාර්ශ්වයට හෝ සාක්ෂිකරුවෙකුට හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකුට අපහාස කිරීමට හෝ පහත් කිරීමට පමණක් ප්‍රශ්න කිරීම හෝ කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ යුතු බවයි.

 

 

රජයේ නීතිඥවරයා යනු යුක්තියේ මිතුරෙකු (Amicus Curiae) මිස, විත්තිකරු කෙසේ හෝ හිරේ යැවීමට ද්වේෂසහගතව කටයුතු කරන පෞද්ගලික පාර්ශවකරුවෙකු නොවන බව යළිත් අවධාරණය කළ යුතුය.

.

 

මාධ්‍ය මගින් නඩු විභාග කිරීම’ (Trial by Media) සහ එහි අගතිදායක ස්වභාවය

​සාධාරණ අධිකරණ ක්‍රියාවලියට පෙර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් පුද්ගලයෙකු වරදකරු කිරීම, වර්තමාන අධිකරණ ස්වාධීනත්වයට එල්ල වී ඇති ලොකුම තර්ජනයකි.

 

​පැමිණිලි පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ඒකපාර්ශවීය ප්‍රකාශ  සමාජගත වූ විට, මහජනතාව උපකල්පනය කරන්නේ චූදිතයා 100% ක්ම වරදකරු බවයි. පසුව, දීර්ඝ නඩු විභාගයකින් පසු චූදිතයා නිදොස් කොට නිදහස් වුවද, සමාජය ඉදිරියේ ඔහුට අහිමි වූ කීර්ති නාමය, රැකියාව හෝ ජීවිතය නැවත ලබාගත නොහැක.

 

​මෙම තත්ත්වය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාරාෂ්ට  රජය  එදිරිව රාජේන්ද්‍ර ජවන්මාල් ගාන්ධි  State of Maharashtra v. Rajendra Jawanmal Gandhi (1997) 8 SCC 386 නඩුවේදී දැඩි දෝෂදර්ශනයට ලක් කළේය:

​"මාධ්‍ය මගින් සිදුකරන නඩු විභාගයන්, නීතියේ ආධිපත්‍යයට කරන දැඩි අවමානයකි.   එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය දූෂිත කරන අතර, විනිසුරුවරුන්ගේ මනස කෙරෙහි ද දෘශ්‍යමාන නොවන බලපෑමක් ඇති කළ හැකිය."

 

ජනමාධ්‍ය මගින් සිදු කරන මෙවන් ප්‍රචාරයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) වගන්තිය මඟින් සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අනිසි ලෙස භාවිත කිරීමකි. ව්‍යවස්ථාවේ 15(7) වගන්තිය ප්‍රකාරව, අන් අයගේ කීර්ති නාමය රැකීම සහ අධිකරණයට අපහාස වීම වැළැක්වීම වෙනුවෙන් භාෂණයේ නිදහස සීමා කළ හැකිය. රජයේ නීතිඥවරයා මාධ්‍ය මෙහෙයුම්වලට දායක වෙමින් චූදිත නිලධාරියාගේ සමස්ත ජීවිතයම විනාශ කරන්නේ නම්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තිය (අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලින් නිදහස් වීමේ අයිතිය) යටතට ද ගැනීමේ නෛතික අවකාශයක් පවතී.පුද්ගලයෙකුගේ ආත්ම අභිමානය ඔහුගේ මරණයෙන් අනතුරුවත් ආරක්ෂා කළ යුතු බව ශ්‍රියානි සිල්වා එරෙහිව ඉද්දමල්ගොඩ (Sriyani Silva v. Iddamalgoda [2003] 2 Sri L.R. 359) නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කොට ඇත.

 

එහිදී අගවිනිසුරු සරත් එන් ද සිල්වා ප්‍රකාශ කොට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තිය මඟින් සහතික කර ඇති "වධහිංසාවලින්, කෲර හෝ අවමන් සහගත සැලකිලිවලින් නිදහස් වීමේ අයිතිය" සෘජුවම බැඳී පවතින්නේ මානව අභිමානය (Human Dignity) සමඟ බවයි.මනුෂ්‍යයෙකුට උපතින්ම  හිමිවිය යුතු  අයිතිවාසිකමක් වන 'ආත්ම ගෞරවයෙන් සහ ජීවත්වීමේ අයිතිය' (Inherent Dignity & Right to Life) ශ්‍රී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික අයිතිවාසිකම් තුළ ගැබ්ව ඇති බව මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවධාරණය කොට ඇත. මේ අනුව රාජ්‍ය නිලධාරීන් විසින් තහවුරු නොකළ  කරුණු මත එල්ල කරන චෝදනා මාධ්‍ය තුළින් ප්‍රචාරය කිරීම හේතුවෙන් ඔහුගේ ආත්මාභිමානයට සිදුවන අවමානය නිසැකවම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.


 

​අධිකරණයට අපහාස කිරීමේ මූලධර්මය සහ අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු ගැන  සිදු කරන ප්‍රකාශ පිළිබඳ  රීතිය

​අධිකරණයක විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන්, එහි තීන්දුවට හෝ විභාගයට බලපෑම් කළ හැකි ආකාරයේ  ප්‍රකාශ සිදුකිරීම (Sub Judice) මෙම රීතිය යටතේ සපුරා තහනම් වේ. එවැනි ක්‍රියා අධිකරණයට අපහාස කිරීමක්  ලෙස දණ්ඩනයට යටත් කළ හැකිය.

 

​ශ්‍රී ලංකාවේ මෑතකදී සම්මත වූ 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ (වැළැක්වීමේ සහ දණ්ඩනය පැමිණවීමේ) පනත මගින් ද අධිකරණ ක්‍රියාවලියට අගතිදායක වන පරිදි ප්‍රකාශ නිකුත් කිරීම පැහැදිලිවම සීමා කර ඇත. පනතේ ප්‍රතිපාදන අනුව, විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂිකරුවන්ට, විනිසුරුවරුන්ට හෝ චූදිතයන්ට අගතියක් වන සන්නිවේදනයන් සිදුකිරීම වරදකි. මේ අනුව අධිකරණයක නඩු විභාගයකදී නීතිඥවරයකු විසින් සිදු කරන එවන් අගතිගාමී ප්‍රකාශයක් සඳහා මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබාදීම ද මේ යටතේ වරදක් වන බව පැහැදිලි වේ.


​අගතිදායක තත්ත්වයන්ට එරෙහිව චූදිත නිලධාරියාට ගත හැකි නෛතික පියවර

​නීතිපතිවරයා හෝ විමර්ශන නිලධාරීන් විසින් තමන්ට එරෙහිව මනඃකල්පිත මත සමාජගත කරමින්, නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය බිඳදමන්නේ නම්, නිද්‍රාශීලීව නොසිට වහාම ක්‍රියාත්මක විය යුතුය. ඒ සඳහා පවතින නෛතික උපායමාර්ග කිහිපයක් ඇත.


 

මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගත හැකි පියවර.. 

අදාල තත්ත්වය සම්බන්ධයෙන් නීතිඥයන් මහේස්ත්‍රාත් අධිකරණයට ලිඛිතව කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාට පහත සඳහන් පියවර ගැනීමේ හැකියාව ඇත.

 

 

රහසිගත නඩු විභාග (In-Camera Proceedings):

අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන හෝ 2015 අංක 4 දරන වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ, නඩුවක සංවේදීතාව මත මාධ්‍යවේදීන් සහ පොදු මහජනතාව අධිකරණ ශාලාවෙන් ඉවත් කර, වසා දැමූ දොරවල් පිටුපස නඩු විභාගය පැවැත්වීමට මහේස්ත්‍රාත්වරයාට බලය ඇත.

 

​ රහසිගත නඩු විභාගයකදී සිදුවන දේ හෝ සාක්ෂිකරුවන්ගේ තොරතුරු පුවත්පත්, රූපවාහිනී හෝ සමාජ මාධ්‍ය හරහා පළ කිරීම තහනම් කිරීමට අධිකරණයට හැකිය. එය උල්ලංඝනය කළහොත්, එම මාධ්‍යවලට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මහේස්ත්‍රාත්වරයාට නිර්දේශ කළ හැකිය.

 

 

​අභියාචනාධිකරණය හමුවේ වාරණ නියෝග (Gag Orders) ඉල්ලා සිටීම

​චූදිතයාගේ නීතිඥයන්ට   අපරාධ නඩු විධාන සංග්‍රහය සහ අධිකරණයේ නෛසර්ගික බලතල (Inherent Powers) උපයෝගී කරගනිමින්, පැමිණිලි පාර්ශවය විසින් සිදුකරන ද්වේෂසහගත ප්‍රකාශ වැළැක්වීමට පියවර ගන්නා ලෙස ලිඛිතව අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළ හැක.

 

​එහිදී, විමර්ශනවලට අදාළ නොවන රහස්‍ය තොරතුරු හෝ ඔප්පු නොවූ ප්‍රකාශ මාධ්‍ය වෙත මුදාහැරීම වැළැක්වීමට විමර්ශන නිලධාරීන්ට සහ රජයේ නීතිඥවරුන්ට වාරණ. නියෝග (Restraining Orders) නිකුත් කරන ලෙස ඉල්ලා සිටීමේ හැකියාව ඇත..


​ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් (FR) නඩුකරයක් පැවරීම

​රාජ්‍ය නිලධාරීන් (නීතිපති දෙපාර්තමේන්තුව හෝ පොලීසිය) විසින් තමන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට චූදිතයාට ව්‍යවස්ථාවේ 126 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකිය.

 

​ව්‍යවස්ථාවේ 12(1) [නීතිය ඉදිරියේ සමානත්වය] සහ 13(5) [නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය] යන වගන්ති උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් සහ වන්දි ඉල්ලා සිටිය හැක.

 

​ ශ්‍රී ලංකා මානව හිමිකම් ඉතිහාසයේ සන්ධිස්ථානයක් බඳු වූ Dr. Shirani Bandaranayake v. Attorney General නඩුකරයන්හිදී පෙන්වා දුන්නේ, විධායකය හෝ පරිපාලන ආයතන විසින් පුද්ගලයෙකුගේ කීර්ති නාමයට සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතියට හානි වන ලෙස ක්‍රියා කරන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය ඊට මැදිහත් වන බවයි.නීතිපති ඇතුළු රජයේ නිලධාරීන්ද මීට අයත් වේ.


 

​අපහාස නඩුකර සහ වෘත්තීය ආචාරධර්ම උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි කිරීම

​නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිතාමතාම නීතිඥ ආචාරධර්ම උල්ලංඝනය කරමින් ක්‍රියා කරන්නේ නම්:

​ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) වෙත: උත්තරීතර අධිකරණයේ නීතිඥවරුන් ලෙස ඔවුන් බැඳී සිටින ආචාරධර්ම රීති (Supreme Court Conduct and Etiquette Rules) උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකිය.


​ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පාලන බලතල යටතේ පැමිණිලි කිරීම: 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 168 ව්‍යවස්ථාව යටතේ නීතිඥවරුන්ගේ ලියාපදිංචිය අවලංගු කිරීමට හෝ විනය පියවර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති සහජ බලය ආමන්ත්‍රණය කිරීම සිදුකළ හැක 


 

​ජාත්‍යන්තර ප්‍රවණතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ආදර්ශ

​ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මෙවැනි අවස්ථාවලදී ක්‍රියා කරන්නේ කෙසේදැයි අධ්‍යයනය කිරීම වටී.

​එක්සත් රාජධානියේ (UK)  උසාවියට අපහාස කිරීමේ  (Contempt of Court Act 1981) පනත මගින්, නඩුවක් සක්‍රීය වූ මොහොතේ සිට, චූදිතයාට අගතිගාමී වන කිසිදු කරුණක් ප්‍රකාශ කිරීම මාධ්‍යයට මෙන්ම පැමිණිලි පාර්ශවයට ද තහනම් වේ.

 

එසේම ඉංග්‍රීසි පොදු නීති සම්ප්‍රදාය තුළ, ‘ජනමාධ්‍ය මගින් නඩු ඇසීමේ  ප්‍රවණතාව අධිකරණ ක්‍රියාවලියට අහිතකර බව නීතිපති එරෙහිව  නිව්ස් ගෲප් පුවත්පත් (Attorney-General v News Group Newspapers Ltd [1987] QB 1)   නඩුව ඇතුළු නඩු තීන්දු ගණනාවකින් අවධාරණය කර ඇත. නඩුවක සාක්ෂි විභාග විය යුත්තේ අධිකරණය ඉදිරියේ මිස මහජන මත විමසුමකින් නොවන බවද එම තීන්දු මගින් පෙන්වා දී ඇත එසේම යුක්තිය ඉටුකරන රංග පීඨය අධිකරණය මිස පුවත්පත් පිටු නොවන  බවත් පැමිණිල්ල සතු සාක්ෂි විභාග විය යුත්තේ විනිසුරු ඉදිරියේ මිස මහජන ඡන්දයකින් නොවන බවත් එම නඩු තීන්දු වල අවධාරණය කොට ඇත.

 


මෙම තත්ත්වය වළක්වා ගැනීමට යෝජනා

​අධිකරණය යනු යුක්තිය පසිඳලන පූජනීය භූමියක් මිස, රජයේ නීතිඥවරුන්ට සිය වාග් චාටුකම හෝ පෞද්ගලික ප්‍රවාද ප්‍රදර්ශනය කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වන වේදිකාවක් නොවේ. පොලිසියට ලබාදෙන තහවුරු නොකළ, හරස් ප්‍රශ්න ඇසීමකට ලක් නොකළ ප්‍රකාශ මත පදනම්ව, චූදිත නිලධාරියාගේ ආත්ම ගෞරවය සහ වෘත්තීය ජීවිතය විනාශ වන පරිදි, මනඃකල්පිත කථා ගෙතීම වහාම නතර කළ යුතු නින්දිත ක්‍රියාවකි.

 

​මෙම තත්ත්වය පාලනය කර, යුක්තියේ පරමාර්ථය රැකගැනීම සඳහා පහත සඳහන් ප්‍රතිසංස්කරණ වහාම ක්‍රියාත්මක කිරීම කාලෝචිතවේ.


​අධිකරණ වාර්තාකරණ මාර්ගෝපදේශ

ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් අපරාධ විමර්ශන වාර්තාකරණයේදී මාධ්‍ය සහ රජයේ නීතිඥවරුන් අනුගමනය කළ යුතු සීමාවන් ඇතුළත් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් වහාම නිකුත් කළ යුතුය.


​මහේස්ත්‍රාත්වරුන්ගේ මැදිහත්වීම: 

මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් විසින් විවෘත අධිකරණයේදී නීතිමය කරුණුවලින් (Facts) බැහැරව රජයේ නීතිඥයන් සිදුකරන දේශපාලනික, පෞද්ගලික හෝ මනඃකල්පිත ප්‍රකාශ වහාම පාලනය කිරීමටත්, ඒවා මාධ්‍යයට වාර්තා කිරීම වැළැක්වීමටත් සෘජුව පියවර ගත යුතුය.


​නෛතික ක්‍රියාමාර්ග සක්‍රීය කිරීම: 

මෙවැනි අගතියකට පත්වන රාජ්‍ය නිලධාරීන් හෝ පුරවැසියන් තමන්ට පවතින නෛතික ප්‍රතිපාදන (මූලික අයිතිවාසිකම් නඩු, නිහඬ නියෝග, වෘත්තීය විෂමාචාර පැමිණිලි)  භාවිත කරමින් වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.



​යුක්තියේ මාවත නිවැරදි කිරීම

​මහේස්ත්‍රාත් අධිකරණයක පවතින නඩුවකදී චූදිත නිලධාරියා වැරදිකරුවෙකුද, නැද්ද යන්න තීරණය කිරීමේ තනි අයිතිය ඇත්තේ සාක්ෂි පනතේ නීතිරීතිවලට අනුකූලව සාක්ෂි මෙහෙයවීමෙන් පසු විනිසුරුවරයාට පමණි. නීතිපතිවරයා සතු අසීමිත බලතල සහ රාජ්‍ය සම්පත් භාවිත කරමින්, සාක්ෂි රහිත මනඃකල්පිතයන් මත සමාජ මතයක් ගොඩනැගීම "නීතියේ ආධිපත්‍යය" කැලෑ  නීතිය බවට පත්කිරීමකි.

 

 

​තමන් මෙවැනි අගතිදායක තත්ත්වයකට මුහුණ දී සිටින්නේ නම්, වහාම ක්‍රියාත්මක වී ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අදාළ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම චූදිත පුද්ගලයාගේ  අයිතියක් මෙන්ම සමස්ත අධිකරණ පද්ධතියේම පිරිසිදුභාවය වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකමකි. යුක්තිය සැමවිටම ඉටුවිය යුතු අතර, එය ඉටුවන බව ප්‍රසිද්ධියේ පෙනෙන්නට ද තිබිය යුතුය.

 

@ වෛද්‍ය නීතීඥ පාලිත බණ්ඩාර සුභසිංහ

2026.06.05 

නවතම ලිපි