රුපියල් මිලියන 140 කට අධික (කෝටි 14ක්) මහජන මුදලක් වංක ලෙස ව්‍යපහරණය කරමින්, ප්‍රමිතියෙන් තොර
ප්‍රතිදේහ එන්නත් (Immunoglobulin) සහ Rituximab එන්නත් මෙරටට ගෙන්වීමේ සිද්ධියට අදාළව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව මේ වන විට තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට එළඹ තිබේ.
ඊයේ (17) පැවති නඩු විභාගයේදී, විත්තියේ නීතිඥවරුන්ගේ තියුණු හරස් ප්‍රශ්න ඇසීමත්, පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියගේ මූලික සාක්ෂි විමසීමත් හරහා ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන ක්‍රියාවලියේ පවතින බරපතල හිඩැස් සහ ලේඛන ව්‍යාජකරණය පිළිබඳ විමර්ශනාත්මක කරුණු රැසක් අනාවරණය විය.
ඖෂධ ලියාපදිංචිය: 'මුල් පිටපත' වෙනුවට 'ඡායාස්ථ පිටපතින්' ඇරඹෙන සැක කටයුතු ගනුදෙනුව
ඊයේ දිනයේදී පළමුවන විත්තිකාර 'සීදුව අයිසොලෙස් බයෝටෙක් ෆාමා' සමාගමේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල විසින් පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය වන ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ඇගයීම් නිලධාරිනි නිශානි ලංකා කරුණාතිලක ගෙන් හරස් ප්‍රශ්න ඇසීම සිදු කෙරිණි. මෙහිදී විදේශීය ඖෂධ මෙරට ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක් විය.
විදේශ රටක නිෂ්පාදිත ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී, නිෂ්පාදිත රටේ බලධාරීන්ගෙන් ලබාගත් සහතිකයේ (CoPP - Certificate of Pharmaceutical Product) 'මුල් පිටපත' (Original Certificate) මුල් අවස්ථාවේදී අනිවාර්ය නොවන බවත්, අයදුම් පත්‍රය සමඟ එහි ඡායාස්ථ පිටපතක් (Photocopy) ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බවත් සාක්ෂිකාරිය අධිකරණය හමුවේ පිළිගත්තාය.
විත්තියේ නීතිඥ:
"ඖෂධ ආනයනකරු ඉදිරිපත් කරන නිෂ්පාදනයට හෝ ලියාපදිංචියට අදාල කරුණු තහවුරු කරගන්නවාද මුල් අවස්ථාවේදීම?"
සාක්ෂිකාරිය:
"නෑ මුල් අවස්ථාවේදී බලන්නේ ලියාපදිංචියට අදාල මුල් පිටපත තිබෙනවාද කියලා විතරයි."
කෙසේ වෙතත්, අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේද හරහා අදාළ රටේ නිල වෙබ් අඩවිවලට පිවිස එම නිෂ්පාදනය සත්‍ය වශයෙන්ම සිදු කරන්නේදැයි සෙවීම් කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය. එහෙත්, නීතිඥවරයා විසින් සාක්ෂිකාරියට ඉදිරිපත් කළ අංක 38 දරන ඖෂධ ලියාපදිංචියට අදාළ ලිපි ගොනුව සම්බන්ධයෙන් සාක්ෂිකාරිය ලබා දුන්නේ ඉතා බරපතල පිළිතුරකි.
සාක්ෂිකාරිය:
"මේ ගොනුව ඖෂධ ඇගයීම් කමිටුවට ඉදිරිපත් වූ ගොනුවක් නොවන බව මම වගකීමෙන් කියනවා."
මෙම ප්‍රකාශය තුළින් ගම්‍ය වන්නේ, නිසි ඇගයීම් කමිටු ක්‍රියාවලියෙන් (Evaluation Committee Process) බාහිරව ලිපිගොනු පවත්වාගෙන යාමේ හෝ නිර්මාණය කිරීමේ අදෘශ්‍යමාන හස්තයක් අධිකාරිය තුළ ක්‍රියාත්මක වී ඇති බවයි.
"වෛද්‍ය සුනෙත් අල්විස් කවුද කියා මා දන්නේ නෑ" - පද්ධතියේ සන්නිවේදන බිඳ වැටීම
දසවන විත්තිකාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන ගෙන ආ තර්කය පද්ධතිමය දුර්වලතාව මැනවින් විදහා දැක්වීය. ඔහු විසින් 2022.12.12 දිනැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ ජාතික ඖෂධ නියාමන පනතේ 109 වගන්තිය (ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ වගන්තිය) යටතේ නිකුත් කර ඇති ලේඛනයක් සාක්ෂිකාරියට පෙන්වන ලදී.
එහි 'වෛද්‍ය සුනෙත් අල්විස්' ලෙස නිල මුද්‍රාවක් තිබුණද, එසේ අත්සන් කර ඇත්තේ කවුරුන්දැයි හෝ වෛද්‍ය සුනෙත් අල්විස් යනු කවුරුන්දැයි තමන් නොදන්නා බව NMRA ඇගයීම් නිලධාරිනිය අධිකරණයට පැවසුවාය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම තනතුරක් දරන අතිරේක ලේකම්වරයෙකුගේ නම සහ අනන්‍යතාවය, ඊට සෘජුවම සම්බන්ධ ඖෂධ නියාමන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවා නොදැන සිටීමෙන් තහවුරු වන්නේ ආයතන අතර පවතින බරපතල සම්බන්ධීකරණ සහ විනිවිදභාවයේ අඩුවයි.
නඩුවේ තීරණාත්මකම හෙළිදරව්ව: ව්‍යාජ ලෙස නිර්මාණය කළ අනුමැති ලිපි
පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම ගේ සාක්ෂි මෙහෙයවීමේදී අතිශය තීරණාත්මක කරුණක් අධිකරණය හමුවේ අනාවරණය විය. ඒ, ප්‍රශ්නගත Immunoglobulin සහ Rituximab එන්නත් ලියාපදිංචිය මුදා හැරීමට අදාළව නිකුත් කර ඇති ලිපි සම්බන්ධයෙනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:
"ඉමියුහෝග්ලොබිලීන් එන්නත් සම්බන්ධයෙන් ඖෂධ ලියාපදිංචිය මුදා හැරීම පිළිබඳ එම ලිපිවල සඳහන් වුණාද? ප්‍රශ්න ගත එකී එන්නත් වලට අමතරව Rituximab එන්නත් ලියාපදිංචිය මුදා හැරීමට අදාලව ලිපි දෙක ඔබ දුටුවාද?"
සාක්ෂිකාරිය:
"ඖෂධ නියාමන සුරක්ෂිත කමිටුව විමසූ අවස්ථාවේ එම ලිපි පෙන්වා සිටියා... ඒවා ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කර නොමැති බව තහවුරු කළා."
මෙම සාක්ෂිය නඩුවේ හදවත බඳුය. කෝටි ගණනක මහජන මුදල් ගෙවා ජනතාවගේ රුධිරයට එන්නත් කළ මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ සඳහා අනුමැතිය දුන් බව කියන ලිපි, සැබැවින්ම ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කළ ඒවා නොවන බවත්, ඒවා හිතාමතා සකස් කළ ව්‍යාජ ලේඛන (Forged Documents) බවත් මින් මනාව තහවුරු වේ.
එපමණක් නොව, ඖෂධ ඇගයීම් කමිටුව විසින් යොමු කර තිබූ නිර්දේශ 105 ක් එවකට NMRA සභාපතිවරයා (12 වන විත්තිකරු) විසින් ආපසු හරවා එවා තිබූ බවද මෙහිදී හෙළි විය. සාමාන්‍ය පරිපාලන රාමුවෙන් පිටතට ගොස් ඉහළ නිලධාරීන් විසින් තාක්ෂණික කමිටු වාර්තා මෙලෙස ආපසු හැරවීම, විමර්ශනයට ලක්විය යුතු සැකකටයුතු පරිපාලන හැසිරීමකි.
යුක්තියේ විනිවිදභාවය: විත්තියටත් සාධාරණ අවස්ථාවක්
නඩු විභාගය අතරතුර, දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ කළ ඉල්ලීමකට අනුව, වෛද්‍ය සැපයුම් අංශය භාරයේ තිබෙන ඖෂධ 17 කට අදාළ ලේඛන අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරියේ පරීක්ෂා කර බැලීමට විනිසුරු මඩුල්ල අවසර ලබා දුන්නේය. විත්තියට තම නිරවද්‍යතාවය ඔප්පු කිරීම සඳහා අවශ්‍ය ලේඛන වෙත ප්‍රවේශ වීමට ලබා දෙන මෙම නීතිමය අවකාශය, නඩු විභාගයේ අපක්ෂපාතීත්වය මොනවට තහවුරු කරන්නකි.
ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාග වන මෙම නඩුව හුදෙක් පුද්ගලයින් කිහිප දෙනෙකුට එරෙහිව පනවන ලද්දක් පමණක් නොවේ. එය ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සහ නිලධාරීවාදයේ පවතින දූෂිත අඳුරු කලාපයන් නිරුවත් කරන නීතිමය කැඩපතක් බවට පත්වෙමින් තිබේ.
නඩුවේ වැඩිදුර විභාගය පෙබරවාරි 18 වැනිදා පෙරවරු 10.00 දක්වා කල් තැබිණි.
නඩු වාර්තාව
17/02/2026
විදේශ රටක නිෂ්පාදිත යම් ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී එම නිෂ්පාදනයට අදාළ මුල් සහතිකය අනවශ්‍ය බවත් අයදුම් පත්‍රය සමඟ නිෂ්පාදිත රටේ ඖෂධ අධිකාරියේ බලධාරීන්ගෙන් ලබාගත් නිෂ්පාදනයට අදාළ සහතිකයේ ඡායස්ථ පිටපතක් ඖෂධ ඇගයීම් කමිටුවට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බවත් ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීම් නිලධාරිනි නිශානි ලංකා කරුණාතිලක මහත්මිය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (17) පැවසුවාය.
එකී ඡායාස්ථ පිටපත මගින් පෙන්වා දී ඇති ඖෂධ එරටේ නිෂ්පාදනය කර අලෙවි කරන්නේද යන කරුණු අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේද අනුගමනය කර ගනිමින් සොයා බැලීමක් කරනා බවත් පළමු වන විත්තිකාර සීදුව අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා නැගූ, හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය වන නිශාණි ලංකා කරුණාතිලක මහත්මිය හයවන දිනටත් සාක්ෂි දෙමින් පැවසුවාය.
නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ; ඔබතුමිය පැමිණිල්ලේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් පැවසුවා ඖෂධවේදය පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඩිප්ලෝමා පාඨමාලාව හා විවෘත විශ්ව විද්‍යාලයෙන් ඖෂධ වේදය පිළිබඳ උපාධියක් ලැබූ බව. ඖෂධවේදය ඩිප්ලෝමා පාඨමාලාවේදී ඔබතුමිය හැදෑරූ විෂයයන් මොනවාද?
සාක්ෂිකාරිය ; ඩිප්ලෝමා පාඨමාලාවේදී විෂයන් 20 ක් පමණ හා උපාධිය හැදෑරීමේදී විෂයන් 30ක් පමණ උගන්වනවා. මට එකින් එක කියන්න බැහැ සහතික තියෙනවා පෙන්වන්න.
නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා ; මම අහන සරල ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. වසර දෙකක් වූ ඩිප්ලෝමා පාඨමාලාවේදී ඉගෙනගත් ප්‍රධාන විෂයන් මොනවාද?
සාක්ෂිකාරිය ; යම් ඖෂධයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඒ සඳහා බලපාන ඖෂධ පාලන පනත ඒ සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ඇතුළු ප්‍රධාන කරුණු එහිදී හදාරන්න ලැබෙනවා.
විත්තියේ නීතිඥ ; ප්‍රායෝගික දැනුම ලබා ගන්නේ කොහොමද?
සාක්ෂිකාරිය ; රසායනාගාර මගින් ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනවා.
විත්තියේ නීතිඥ ; විදේශ රටවල නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ලංකාවේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාදාමය ගැන ඔබ කීවා. මම ඔබගෙන් අහන්නේ යුරෝපා රටවල නෙමෙයි ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධයක් එරටේ ලියාපදිංචි කරන ආයතනය මොකක්ද? එකී ලියාපදිංචියට අදාල නිවැරදි භාවය තහවුරු කරගන්නේ කොහොමද?
සාක්ෂිකාරිය ; ඒ සඳහා පිළිගත් අන්තර්ජාතික ක්‍රමවේදයක් තිබෙනවා. එරටේ නිල වෙබ් අඩවියට පිවිසිලා සැබෑවටම එම නිෂ්පාදනය එරටේ සිදුකරනවාද කියලා සොයා බලන්න පුළුවන්. ආනයනකරු ඖෂධ ලියාපදිංචියට අදාළ සහතිකයක පිටපතක් ඉදිරිපත් කළත් එහි නිර්වද්‍යභාවය තහවුරු කරගන්න පුළුවන්.
විත්තියේ නීතිඥ ; ඖෂධ ආනයනකරු ඉදිරිපත් කරන නිෂ්පාදනයට හෝ ලියාපදිංචියට අදාල කරුණු තහවුරු කරගන්නවාද මුල් අවස්ථාවේදීම?
සාක්ෂිකාරිය ; නෑ මුල් අවස්ථාවේදී බලන්නේ ලියාපදිංචියට අදාල මුල් පිටපත තිබෙනවාද කියලා විතරයි.
මෙම අවස්ථාවේ දී විත්තියේ නීතිඥවරයා සාක්ෂිකාරියට ලිපි ගොණුවක් ඉදිරිපත් කර අංක 38 දරණ එම ගොනුවේ ඖෂධ ලියාපදිංචියට අදාල සීඕපීපී (copp) සහතිකය එහි ඇතිදැයි විමසයි.
සාක්ෂිකාරිය ; කොප් සහතිකය ලංකාවට නිකුත් කළ යුතු එකක් වෙන්න ඕන නෑ. එකී නිෂ්පාදන වෙනත් රටවල අලෙවි කර ඇති බව සනාථ කිරීමට අදාළ සහතික අපි ඉල්ලා සිටිනවා.
විත්තියේ නීතිඥවරයා ; මා ඔබට ඉදිරිපත් කළ ඖෂධ ලියාපදිංචියට අදාළ ලිපි ගොනුවේ නිවැරදිභාවය තහවුරු කරන්න අවශ්‍ය ලේඛන ඇගයීම් කමිටුවට ඉදිරිපත් කර තිබෙනවාද? ඔබතුමියට කියන්න පුළුවන්ද ඒක ඇගයීම් කමිටුවට ඉදිරිපත් කළා කියලා?
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; මම එම ප්‍රශ්නයට විරුද්ධයි. ඇගයීම් කමිටු වාර්තා ගොනු පන්දාහක් විතර තියෙනවා.
සාක්ෂිකාරිය ; මේ ගොනුව ඖෂධ ඇගයීම් කමිටුවට ඉදිරිපත් වූ ගොනුවක් නොවන බව මම වගකීමෙන් කියනවා.
දසවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා 36 වන ගොනුවේ පැ 116 ලෙස ලකුණු කර ඇති ලේඛනවල පස්වන පිටුවේ 2022.12.12 දිනැති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ යටතේ ඇති ලිපිය සාක්ෂිකාරියට පෙන්වයි.
ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා; මේ ලේඛනයේ අත්සන් කර ඇත්තේ කවුද කියලා ඔබ දන්නවාද?
සාක්ෂිකාරිය ; නෑ ස්වාමීනි
ජනාධිපති නීතිඥවරයා ; එහි වෛද්‍ය සුනෙත් අල්විස් යැයි සඳහන් නිල මුද්‍රාවක් තබා තිබෙනවා නේද? ඒ වෛද්‍ය සුනෙත් අල්විස් කවුද කියලා ඔබ දන්නවාද?
සාක්ෂිකාරිය ; නෑ ස්වාමීනී ඔහු ගැන දන්නේ නෑ.
ජනාධිපති නීතිඥවරයා ; එම ලේඛනය අනුව ඖෂධ ඇගයීම් කමිටු සහතික ලබා දීම ගැන ජාතික ඖෂධ නියාමන පනතේ 109 වගන්තිය යටතේ නිකුත් කර ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනේත් අල්විස් අත්සන් කර ඇති බවත් සඳහන් නේද? එමගින් ඖෂධ ඇගයීම් කමිටුවේ නිර්දේශ ඉල්ලා සිටින ඖෂධ වර්ග හය මොනවාද ?
(සාක්ෂිකාරිය එම ඖෂධවල නම් විවෘත අධිකරණය හමුවේ කියවයි)
එකී ඖෂධ ඇගයීම් වාර්තා නිකුත් කළ ආයතන හයේ නම් එකී ආවරණ ලිපියේ සඳහන් වෙනවා නේද?
සාක්ෂිකාරිය ; ඔව් ස්වාමීනි
පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊයේ (17) පෙරවරු 10.00 ට පමණ හයවන දිනටත් එම සාක්ෂිකාරියගේ මූලික සාක්ෂි මෙහෙයවීම සිදුකළ අතර දහවල් 12.06 ට පමණ මූලික සාක්ෂි මෙහෙයවීම අවසන් කළාය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයූම් අංශයට සපයා රුපියල් කෝටි 14 කට අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි. එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි.
එම නඩුව කැඳවූ අවස්ථාවේදී දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා අධිකරණය අමතමින් මෙලෙස පැවසීය.
ස්වාමීනි, පී දෙක ලෙස නම් කර ඇති වෛද්‍ය සැපයුම් අංශය භාරයේ තිබෙන ඖෂධ 17 ක් සැපයීමට අදාල ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පසුගිය ජනවාරි 17 වැනිදා මෝසම් පත්‍රයක් මගින් මා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. මගේ සේවා දායකයා වෙනුවෙන් හරස් ප්‍රශ්න නැගීමේදී එකී ලේඛන ඉතා වැදගත් වන නිසයි මා එම ඉල්ලීම කළේ. ඒ අනුව එම ලේඛන අද දින අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.
නීතිඥ අසේල සේරසිංහ මහතා කළ ඉල්ලීම අධිකරණය නිකුත් කළ නියෝග අනුව වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රධාන ඝණකාධිකාරීවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන ගොනු අධිකරණ රෙජිස්ටාර්වරිය ඉදිරියේදී වෛද්‍ය සැපයුම් අංශයේ ඝනකාධිකාරිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පරීක්ෂා කර බැලීමට විනිසුරු මඩුල්ල නීතිඥ අසේල සේරසිංහ මහතාට අවසර ලබා දුන්නේය. එහිදී පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ඉගිරිහාගම මෙනෙවිය හයවන දිනටත් පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය වෙත ලේඛන රැසක් ඉදිරිපත් කොට ඒවා පැමිණිල්ලේ සාක්ෂි ලෙස එම සාක්ෂිකාරිය මගින් අධිකරණය හමුවේ ලකුණු කිරීමට පියවර ගත්තාය.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් එම සාක්ෂිකාරිය පැමිණිල්ලේ 130 ලෙස ලකුණු කළ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා එම ලිපිය යොමු කර තිබූ බවත් එවකට එම තනතුර දැරුවේ කවුදැයි? තමාට දැනුවත් භාවයක් නොමැති බවත් අධිකරණයට පැවසුවාය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැව් ලිපියක් 12 වන විත්තිකරුට ලැබී තිබුනේ කෙලෙසදැයි තමා නොදන්නා බවත් ඖෂධ ඇගයීම් කමිටුව විසින් යොමු කර තිබූ නිර්දේශ 105 ක් එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 12 වන විත්තිකරු ආපසු හරවා එවා එකී නිර්දේශ ලබාදීමට ප්‍රමාද වීමට අදාළ හේතු විමසීමක් කර තිබූ බවත් සාක්ෂිකාරිය එහිදී පැවසුවාය. පැ 130 ලෙස නම් කළ එම ගොනුව 2023.10.19 වැනිදා සිය අංශයට ඒවා තිබූ බවද පැවසූ සාක්ෂිකාරිය හියුමන් ඉමියුහෝග්ලොබිලින් එන්නත් සම්බන්ධයෙන් යම් විමර්ශනයක් ඖෂධ නියාමන සුරක්ෂිත කමිටුව විසින් සිදු කරමින් තිබූ බවට තමාට අවබෝධයක් ඇතැයි ද පැවසුවාය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඖෂධ නියාමන සුරක්ෂිත කමිටුවට අමතරව වෙනත් ආයතනයක් හෝ විමර්ශන අංශයක් පෙරකී හියුමන් හිමියුහෝග්ලොබිලීන් එන්නත් පිළිබඳව යම් විමර්ශනයක් සිදුකරමින් තිබූ බව ඔබ දන්නවාද ?
සාක්ෂිකාරිය ; නෑ ස්වාමීනී මට ඒ ගැන අවබෝධයක් නෑ.
නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; ආපසු හරවා එවන ලද එම ලිපි 105 අතරේ කුමන වර්ගයේ ලිපිද තිබුනේ ?
සාක්ෂිකාරිය ; ප්‍රධාන වශයෙන් ලිපි වර්ග තුනක් තිබුණා ඖෂධ සැපයීමට අදාලව ඖෂධ ඇගයීම් කමිටුව විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අදාළව නිකුත් කළ නිර්දේශ ඖෂධ පරිත්‍යාගයන්වලට හා පුද්ගලික ආයතන වෙත නිකුත් කරන ලද ඖෂධ ඇගයීම් කමිටු වාර්තා ඒ අතර තිබුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; ඉමියුහෝග්ලොබිලීන් එන්නත් සම්බන්ධයෙන් ඖෂධ ලියාපදිංචිය මුදා හැරීම පිළිබඳ එම ලිපිවල සඳහන් වුණාද ? ප්‍රශ්න ගත එකී එන්නත් වලට අමතරව Rituximab එන්නත් ලියාපදිංචිය මුදා හැරීමට අදාලව ලිපි දෙක ඔබ දුටුවාද?
සාක්ෂිකාරිය ; ඖෂධ නියාමන සුරක්ෂිත කමිටුව විමසූ අවස්ථාවේ එම ලිපි පෙන්වා සිටියා. දෙවන ලිපිය විමර්ශන නිලධාරීන් පෙන්වා සිටියා. ඒවා ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කර නොමැති බව තහවුරු කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; එම ලිපි හඳුනාගන්න පුළුවන්ද?
මෙම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් පැ 95 ගොනුවේ 190 පිටුව සාක්ෂිකාරියට පෙන්වා සිටියාය.
වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 18 වැනිදා පෙරවරු 10.00 දක්වා කල්තැබිණි. රජයේ අධිනීතීඥ ලිෂාන් රත්නායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවූූ අතර නීතිඥ හරේන්ද්‍ර බානගල, අසේල සේරසිංහ, ඉසුරු ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක සේරසිංහ, දිනුෂ් රන්දෙනිය, රහුල් ජයතිලක, රවිහංස විජේසිංහ, ඉසුරු අබේගුණවර්ධන, කසුන් සරච්චන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල, අමිත ආරියරත්න හා ගයන්ත විජය සුන්දර යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විත්තිය නියෝජනය කළේය.
සටහන - අචලා

