SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති මොහොමඩ් මුනීර් මුලාෆර් විසින්

නව වකුෆ් මණ්ඩලයක් පත් කිරීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කර ඇති බව කියන නාමලේඛනයක් මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

 

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කළ හෙළිදරව්වත් සමග, මෙම පත්වීම් පිටුපස ඇති සැඟවුණු න්‍යාය පත්‍රය සහ එයින් ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජනය පිළිබඳව බරපතළ සංවාදයක් සමාජය තුළ නිර්මාණය වෙමින් පවතී.

 

 

වකුෆ් සභාවේ අසීමිත බලය සහ අවදානම

 

මෙරට සියලුම මුස්ලිම් පල්ලි සහ ඒවායේ දේපළ පාලනය කරනු ලබන ඉහළම සහ ප්‍රධානතම ස්වාධීන ආයතනය වන්නේ වකුෆ් සභාවයි. එහි නෛතික බලය කොතරම්ද යත්, වකුෆ් පනතට අනුව එම සභාව විසින් ගන්නා ඇතැම් තීරණ දිස්ත්‍රික් අධිකරණයක තීන්දුවලට සමාන වේ. මෙවැනි අතිශය බලවත් සහ මුස්ලිම් ප්‍රජාවගේ ආගමික මධ්‍යස්ථාන සෘජුවම පාලනය කරන ආයතනයකට පත්වන සාමාජිකයන්ගේ පසුබිම පිළිබඳව දැඩි විමසිල්ලක් දැක්වීම රජයේ මෙන්ම බුද්ධි අංශවලද වගකීමකි. එසේ නොමැතිව, යම් හෙයකින් මෙම ආයතනය අන්තවාදී දෘෂ්ටිවාදයන් දරන්නන්ගේ ග්‍රහණයට නතු වුවහොත්, ඉන් රටේ ජාතික ආරක්ෂාවට සිදුවිය හැකි බලපෑම සුළුපටු නොවේ.

 

 

යෝජිත සාමාජික ලැයිස්තුවේ මතභේදාත්මක පසුබිම

 

නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් විසින් යෝජනා කර ඇති බව කියන සාමාජිකයන් අට දෙනාගේ (08) නාමලේඛනය පහත පරිදිය:

  1. ආචාර්ය මොහොමඩ් සිහාන් සරූක් (M.Z. Zarouk)
  2. මේජර් ජෙනරාල් ටුවාන් නසීර් මජීඩ් (T.N. Majeed)
  3. මුහම්මද් සලීම් මොහොමද් ඉෂාන් (M.S.M. Ihsan)
  4. මොහොමඩ් ඉල්යාස් මොහොමඩ් ෆවුසාන් (M.I.M. Fowzan)
  5. අකුරණ මුහම්දිරම්ලාගේ ජමාල්දීන් මොහොමඩ් ජවුෆර් (A.M.J.M. Jaufer)
  6. මුනීර් තවුෆීක් (M. Thoufeek)
  7. රිෆාක් අහමඩ් (R. Ahmed)
  8. වෛද්‍ය ඒ.එල්. අහමඩ් රිෂි (A.L.A. Rishi)

 

මෙම ලැයිස්තුව මතුපිටින් බලන කල විවිධ වෘත්තිකයන්ගෙන් සමන්විත බව පෙනී ගියද, ඒ පිළිබඳව එල්ල වන චෝදනා අතිශය බරපතළය. එක් අයෙක් මේජර් ජෙනරාල්වරයෙකි. ඥානසාර හිමියන් පෙන්වා දෙන පරිදි මෙම පිරිසෙන් ඇතැමුන් ඉතා දැඩි අන්තවාදී දෘෂ්ටිවාදයන් දරන්නන් වේ.

 

 

වඩාත් කනගාටුදායක තත්ත්වය වන්නේ, මෙම ලැයිස්තුවේ සිටින එක් අයෙකු ශ්‍රී ලංකාව තුළ තහනමට ලක්වූ ජමාත් ඉස්ලාම් සංවිධානයේ ශිෂ්‍ය අංශයට සම්බන්ධ අයෙකු බවට තොරතුරු වාර්තා වීමයි. තවත් අයෙකු කොළඹ නගර සභාවේ දේශපාලන බල අරගල වලදී සෘජුවම දේශපාලන පක්ෂග්‍රාහීත්වයක් දැක්වූ (නගරාධිපතිනියට සහය පළ කළ) අයෙකි. ස්වාධීනව කටයුතු කළ යුතු ආගමික මණ්ඩලයකට, තහනම් සංවිධානවලට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයන් සහ සෘජු දේශපාලන අනුගාමිකයන් පත් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කකි.

 

 

ආණ්ඩුවේ ද්විත්ව රංගනය සහ ජාතිවාදී දේශපාලනය

 

මෙහිදී මතු වන ප්‍රධානතම සහ බලවත්ම දේශපාලනික ප්‍රශ්නය වන්නේ, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්ගේ මෙම හදිසි අවශ්‍යතාවය පැන නගින්නේ කොතැනින්ද යන්නයි. ඥානසාර හිමියන් පෙන්වා දෙන පරිදි, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හැසිරීම් රටාව සහ ක්‍රියාකලාපය තුළින්ම ඔහු ආගමික අන්තවාදයට වක්‍රව හෝ සහාය දක්වන්නේද යන සැකය මතු වේ.

 

 

වත්මන් ආණ්ඩුව උතුරේ සහ නැඟෙනහිර සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල හඬක් නගමින් පෙනී සිටින බවක් සමාජයට පෙන්වයි. එහෙත්, තිරයෙන් පිටුපස මෙවැනි අතිශය තීරණාත්මක පත්වීම් හරහා සිදුවන්නේ කුමක්ද? සුළු ජාතික අයිතිවාසිකම් සුරැකීමේ නාමයෙන්, ආණ්ඩුව යටිබිම්ගතව යළිත් වරක් ජාතිවාදී දේශපාලනයකට උඩගෙඩි දෙමින් සිටින්නේද යන්න පිළිබඳව බුද්ධිමත් පුරවැසියන් ප්‍රශ්න කළ යුතුව ඇත. ජාතික සමගිය ගොඩනගනවා වෙනුවට, යළිත් වරක් රට තුළ ආගමික අන්තවාදයකට සහ ජාතිවාදී දේශපාලන ගැටුමකට පාර කැපීමක් මෙම පත්වීම් හරහා සිදුවිය හැකිය.

 

 

වකුෆ් සභාව වැනි ආයතනයක් අන්තවාදීන්ගේ තිප්පොළක් බවට පත් වුවහොත්, එහි වින්දිතයන් බවට පත්වන්නේ සාමාන්‍ය මුස්ලිම් ජනතාව සහ සමස්ත ශ්‍රී ලාංකිකයන්මය. එබැවින් ජාතික ආරක්ෂාව පරදුවට තබමින් සිදු කිරීමට යන මෙම සැක සහිත පත්වීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ බලධාරීන් වහාම මැදිහත් වී පූර්ණ විමර්ශනයක් සිදු කළ යුතුව තිබේ.

 

 

නවතම ලිපි