SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබූ මූල්‍ය රෙගුලාසි සහ පොලී අනුපාත සීමාවන් අමු අමුවේ උල්ලංඝනය කරමින්,

Dialog Axiata PLC සමාගමට අනුබද්ධ Dialog Finance PLC ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන 'Genie App' හරහා අතිවිශාල පොලී අනුපාතයකට පාරිභෝගිකයින් සූරාකමින් සිටින බවට බරපතල තොරතුරු අනාවරණය වී තිබේ.

 

 

මෙරට ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සපයන්නා ලෙස පෙනී සිටින ඩයලොග් සමාගම, සිය මූල්‍ය අංශය (Fintech) හරහා මෙලෙස නීතියට පටහැනිව ක්‍රියා කිරීම ආර්ථික විශේෂඥයින්ගේ සහ පාරිභෝගිකයින්ගේ දැඩි විමතියට හේතු වී ඇත.

 

45% ක මාරාන්තික පොලිය

 

අප වෙත ලැබී ඇති විශ්වසනීය තොරතුරු සහ සාක්ෂි (රිසිට්පත්) වලට අනුව, Genie App හරහා ලබා දෙන 'Quick Loans' සඳහා අය කරන වාර්ෂික පොලී අනුපාතය 45% (45.00% p.a.) දක්වා ඉහළ අගයක් ගනී.

WhatsApp Image 2026 02 10 at 13.24.31

 

උදාහරණයක් ලෙස, රුපියල් 70,000 ක ණය මුදලක් සඳහා ඔවුන් රුපියල් 3,500 ක සැකසුම් ගාස්තුවක් (Processing fee) අය කරන අතර, 45% ක පොලියක් යටතේ මාසික වාරිකය රුපියල් 10,289.89 ක් ලෙස නියම කර ඇත. මෙය සාමාන්‍ය ජනතාව ණය උගුලක සිර කරන ක්‍රියාවලියකි.

 

 

මහ බැංකුවට කොකා පෙන්නූ හැටි

 

 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අගෝස්තු 25 වැනිදා නිකුත් කරන ලද අංක 01 දරන නියෝගය (Monetary Law Act Order No. 01 of 2023) අනුව බැංකු සහ මූල්‍ය ආයතන සදහා උපරිම පොලී අනුපාත සීමාවන් පනවා තිබේ. එම නියෝගයන්ට අනුව කෙටි කාලීන ණය සදහා වුවද උපරිම පොලී සීමාව 28% ක් ලෙස දක්වා ඇතැයි සැලකේ.

 

එසේ තිබියදී, ඩයලොග් ෆිනෑන්ස් (Dialog Finance PLC) නමින් ලියාපදිංචි මූල්‍ය සමාගම් බලපත්‍රයක් හිමි ආයතනයක් විසින් මහ බැංකු නියෝග නොතකා 45% ක පොලියක් අය කිරීම මෙරට මූල්‍ය නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කිරීමකි.

 

 

සල්ලි යන්නේ කොහාටද?

 

මෙම ක්‍රියාවලිය පිටුපස ඇති බරපතලම කාරණය වන්නේ මෙම අධික ලාභය රට තුළ ඉතිරි නොවීමයි. Dialog Axiata PLC හි කොටස් අයිතියෙන් 73.7% ක බහුතරයක් හිමිව ඇත්තේ මැලේසියාවේ 'Axiata Group Berhad' සමාගමටය. එසේම තවත් 10.36% ක කොටස් ඉන්දියාවේ 'Bharti Airtel Ltd' සතුවේ.

 

ඒ අනුව, මෙරට අහිංසක පාරිභෝගිකයින්ගෙන් 45% ක පොලියක් ලෙස අය කරගන්නා මුදලින් අති විශාල ප්‍රමාණයක් ලාභාංශ ලෙස මැලේසියාවට සහ ඉන්දියාවට ඇදී යයි. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුකරන බරපතල රුධිර වහනයකි.

 

 

බලධාරීන් නිදිද?

 

ඩිජිටල් තාක්ෂණයේ මුවාවෙන් මෙවැනි මූල්‍ය මංකොල්ලයන් සිදුවන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අධීක්ෂණ අංශ අන්ධව සිටින්නේ මන්දැයි යන්න ගැටළුවකි. සාමාන්‍ය මිනිසාට නීතිය තදින් ක්‍රියාත්මක කරන බලධාරීන්, බහුජාතික සමාගම් ඉදිරියේ නලා හංගා ගන්නේද?

 

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා, නීති විරෝධී පොලී අනුපාත අය කිරීම නතර කිරීමටත්, පාරිභෝගිකයින්ට සාධාරණය ඉටු කිරීමටත් වගකිවයුතු අංශ වහා මැදිහත් විය යුතුය.

 

නවතම ලිපි