SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

- තුම්මුල්ලේ 'හෝම්ලෑන්ඩ්ස්' ව්‍යාපෘතියෙන් අනාරක්ෂිත වූ නාගරික අයිතිය කා සතුද?

 

 

ශ්‍රී ලංකාවේ නාගරික පදිංචිකරුවන්ගේ ඉරණම පිළිබඳව තීරණාත්මක සිදුවීම් දාමයක් නිර්මාණය වූ දිනයක් ලෙස

පසුගියදා (2026 පෙබරවාරි 09) ඉතිහාසයට එක්විය. රජය විසින් අත්තනෝමතික ලෙස ගෙන ඒමට උත්සාහ කළ "පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ" (Protection of Occupants) පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එල්ල වූ දැඩි නීතිමය අභියෝග හමුවේ, එම පනත හකුලා ගැනීමට රජය තීරණය කර තිබේ.

 

 

එහෙත්, උත්ප්‍රාසය වන්නේ අධිකරණය හමුවේ "පදිංචිකරුවන්ගේ අයිතිය" ගැන කතා කරන රජයේම විධායක හස්තය වන නාගරික සංවර්ධන අධිකාරිය (UDA), කොළඹ තුම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින් දැවැන්ත නිවාස ව්‍යාපෘතියකට (Home Lands Skyline - Fentara) නීති විරෝධී අනුමැතියක් ලබා දී තිබීමයි.

 

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණාත්මක හැරවුම

 

"පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ" පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ විශේෂ නිර්ණායක පෙත්සම් (SC/SD/06/2026 සිට SC/SD/09/2026 දක්වා) ඊයේ (09) ගරු විනිසුරු මහින්ද සමයවර්ධන, ගරු විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ගරු විනිසුරු සම්පත් බී. අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණි.

 

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම  ඇතුළු නීතිඥ මණ්ඩලය පනතේ ඇති බරපතල නීතිමය දෝෂ පෙන්වා දුන්හ. ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණයට දැනුම් දුන්නේ, "යෝජිත පනත විශේෂඥ කමිටුවක් මගින් පුළුල් සමාලෝචනයකට ලක් කර, සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති" බවයි.

 

 

මෙය සිවිල් සමාජය ලැබූ ජයග්‍රහණයක් වුවද, නීතියේ ආධිපත්‍යය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව බරපතල ගැටලුවක් තුම්මුල්ල දෙසින් පැන නගී.

 

 

තුම්මුල්ල 'ෆෙන්ටාරා' ව්‍යාපෘතිය: UDA නීතිය නැමූ අයුරු

 

අධිකරණය හමුවේ හකුලා ගත් පනතින් "ආරක්ෂාව" ගැන කතා කළද, නාගරික සංවර්ධන අධිකාරිය විසින් තුම්මුල්ල ප්‍රදේශයේ "විශේෂ ප්‍රාථමික නේවාසික කලාපයක" (SPRDZ) ඉදි කිරීමට යෝජිත මහල් 40ක දැවැන්ත ගොඩනැගිල්ලකට අනුමැතිය ලබා දී ඇත්තේ තමන්ගේම රෙගුලාසි උල්ලංඝනය කරමිනි.

 

අප විසින් සිදුකළ ගවේෂණයේදී හෙළි වූ ප්‍රධාන නීති විරෝධී කරුණු මෙසේය:

  1. උස සීමාවන් උල්ලංඝනය කිරීම (Height Violation): අදාළ කලාපයේ (SPRDZ) නීත්‍යානුකූලව ඉදි කළ හැක්කේ උපරිම මීටර් 50ක් (ආසන්න වශයෙන් තට්ටු 15ක්) උස ගොඩනැගිල්ලකි. එහෙත් UDA නිලධාරීන් විසින් ඉඩම් කොටස් ඒකාබද්ධ කිරීමේ (Amalgamation) නීතිමය හිඩැසක් අවභාවිතා කරමින්, මෙය "මිශ්‍ර සංවර්ධන කලාපයක්" ලෙස අර්ථකථනය කර මීටර් 130ක් (තට්ටු 40ක්) දක්වා උසකට අනුමැතිය ලබා දී ඇත.
  1. මාර්ග පළල පිළිබඳ වංචාව (Frontage Fraud): මෙවැනි අධි උස ගොඩනැගිල්ලක් සඳහා ප්‍රධාන මාර්ගයේ පළල අවම වශයෙන් මීටර් 30ක් විය යුතුය. අදාළ ඉඩමේ එම පළල නොමැති බැවින්, අතුරු මාර්ගයක පළලද ප්‍රධාන මාර්ගයට එකතු කර පෙන්වමින් ව්‍යාජ ලෙස තාක්ෂණික වාර්තා සකසා අනුමැතිය ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වේ.

අනුමැතිය දුන් සැණින් මුල්ගල් තැබීමේ අබිරහස

 

වඩාත් සැකසහිත කරුණ වන්නේ, මෙම මතභේදාත්මක අනුමැතිය ලබා දුන් දිනට පසු දිනම ව්‍යාපෘතියේ මුල්ගල් තැබීමට විෂය භාර අමාත්‍යවරයා සහ UDA ප්‍රධානීන් සහභාගී වීමයි. පරිසර බලපෑම් ඇගයීමක් (EIA) හෝ ප්‍රදේශයේ ජල හා මලපවහන ධාරිතාව (Carrying Capacity) ගැන කිසිදු තැකීමක් නොකර සිදුකළ මෙම "හදිසි උත්සවය" පිටුපස ඇත්තේ කුමන ගනුදෙනුවක්ද?

 

 

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පත හරවා යැවීම මගින් තහවුරු කළේ නීතියට පටහැනිව කටයුතු කිරීමට රජයට නොහැකි බවයි. එසේ නම්, තුම්මුල්ලේ පදිංචිකරුවන්ගේ අයිතිය උදුරා ගනිමින්, කොළඹ නගර සැලැස්ම (2022-2031) විකෘති කරමින් සිදු කරන මෙම ව්‍යාපෘතිය නතර කිරීමට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?

 

 

"පදිංචිකරුවන් ආරක්ෂා කිරීම" යනු පාර්ලිමේන්තුවට ගෙනෙන පනතක් පමණක් නොව, එය මහපොළොවේ ක්‍රියාත්මක විය යුතු යථාර්ථයක් බව බලධාරීන් වටහා ගත යුතුය.

 

 

මූලාශ්‍ර සටහන:

  • පෙත්සම් අංක: SC/SD/06/2026, SC/SD/07/2026, SC/SD/08/2026, SC/SD/09/2026
  • නීතිඥ සහාය: ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා.

නවතම ලිපි