ආණ්ඩුවේ "සිස්ටම් චේන්ජ්" සටන් පාඨය ඉදිරියේ තවත් බරපතල ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්,
මෙරට බලශක්ති ක්ෂේත්‍රය යළිත් අඳුරු ආගාධයකට ඇද දැමීමේ සූදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ. අද (10) රැස්වන කැබිනට් අනුකමිටුව ගන්නා තීරණය මත මෙරට පුනර්ජනීය බලශක්ති කර්මාන්තයේ ඉරණම සහ විදුලි පාරිභෝගිකයාගේ සාක්කුවේ ඉරණම තීරණය වනු ඇත.

සූර්ය බලශක්තියට කන කොකා හැඬීම
වාර්තා වන අන්දමට කුමාර ජයකොඩි, වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත සහ සුනිල් හඳුන්නෙත්ති යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත කැබිනට් අනුකමිටුව අද දිනයේ තීරණාත්මක සාකච්ඡාවකට එළැඹේ. එහි මූලික අරමුණ වන්නේ සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය සඳහා ගෙවන මිල ඒකකයක් සඳහා රුපියල් 37ක් දක්වා පහත හෙළීමයි.
මෙහි ඇති බරපතලකම වන්නේ, මීට පෙර රුපියල් 45ක මිලක් යෝජනා වී තිබියදීත් ආයෝජකයින්ට ලැබෙන ලාභාංශය 9%ක් වැනි අවම අගයක පැවතීමයි. එවන් තත්ත්වයක් තුළ රුපියල් 37 වැනි මිලක් නියම කිරීම යනු වක්‍රාකාරව දේශීය සූර්ය බලශක්ති කර්මාන්තය වළපල්ලට යැවීමක් බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙයි.
මෙය හුදෙක් මිල ගණන් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙය ඩොලර් ඉතිරි කරන, පරිසර හිතකාමී බලශක්තියක් අධෛර්යමත් කර, නැවතත් ඩොලර් දහස් ගණන් වැය කරන ආනයනික ඉන්ධන මත යැපීමට බලධාරීන් විසින්ම පාර කැපීමකි.

ගල් අඟුරු ජාවාරමේ අලුත් සෙල්ලම
සූර්ය බලශක්තියට මෙලෙස වැට බඳිද්දී, නොරොච්චෝලේ බලාගාරය ආශ්‍රිතව සිදුවන ගල් අඟුරු ගනුදෙනු පිළිබඳව බරපතල සැකයක් මතුව තිබේ. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික හෙළිදරව් කරන ආකාරයට, දැනට ගොඩබාමින් පවතින ගල් අඟුරු තොගවල ප්‍රමිතිය බාල මට්ටමක පවතී.
වඩාත් සැකසහිත කරුණ වන්නේ සාමාන්‍ය සම්ප්‍රදාය අභිබවා නෞකා දෙකක ගල් අඟුරු එකවර ගොඩබෑමට කටයුතු කිරීමයි. මෙය බාල ගල් අඟුරු සහ උසස් ගල් අඟුරු මිශ්‍ර කර (Blending), සාම්පල පරීක්ෂණවලදී සැබෑ තත්ත්වය වසන් කිරීමට ගත් උත්සාහයක් ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතු වේ.

දිනකට රුපියල් ලක්ෂ 358ක පාඩුවක්!
මෙම බාල ගල් අඟුරු භාවිතයේ ප්‍රතිඵල මේ වන විටත් දත්ත මගින් තහවුරු වී ඇත. පෙබරවාරි 06 වැනිදා පමණක් නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රවල කාර්යක්ෂමතාව බිඳවැටීම නිසා සිදුව ඇති පාඩුව රුපියල් ලක්ෂ 358කි. (දෙවැනි ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් පැය 738ක් සහ තුන්වන යන්ත්‍රයෙන් මෙගාවොට් පැය 435ක් අහිමි වී ඇත).
මෙම පාඩුව අවසානයේ පටවනු ලබන්නේ අහිංසක විදුලි පාරිභෝගිකයාගේ කර මතටයි.
ගෙවන්නේ කවුද?
මෙහි ඇති උත්ප්‍රාසය නම්, දූෂණයට එරෙහිව හඬ නැගූ සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ වැනි චරිත සිටින කමිටුවක් හරහාම මෙම තීරණ ක්‍රියාත්මක වීමට නියමිත වීමයි.
එක් පැත්තකින් ලාභදායී පුනර්ජනීය බලශක්තිය (සූර්ය බලය) කඩා වැටීමට සැලැස්වීමත්, අනෙක් පැත්තෙන් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වා බලාගාර අකර්මණ්‍ය කර පාඩු ලැබීමත් යන කාරණා දෙක එකිනෙක ගැටගැසී ඇත. සූර්ය බල කර්මාන්තය අඩපණ කළහොත් ඇතිවන විදුලි හිඟය පියවීමට නැවතත් ගල් අඟුරු මාෆියාවටම රට බිලිදීමට සිදුවනු ඇත.
ක්ෂේත්‍ර ප්‍රධානීන් අනතුරු අඟවන පරිදි මෙම තීරණ ක්‍රියාත්මක වුවහොත් නුදුරේදීම විදුලි බිල 10%කින් පමණ ඉහළ යාම වැළැක්විය නොහැක. අද කැබිනට් අනුකමිටුව ගනු ලබන තීරණය, ඔවුන් ජනතාවට වගකියනවාද නැතහොත් පැරණි ජාවාරම්කරුවන්ටම ඉඩ දෙනවාද යන්න තීරණය කරන කඩඉමක් වනු ඇත.

