SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ඇමරිකා එක්සත් ජනපදය පුරා මේ දිනවල භික්ෂූන් වහන්සේලා 19 නමක් කිලෝමීටර් 2300ක පමණ

දුරක් ගෙවා යමින් සාම පා ගමනක යෙදී සිටිති. ඔක්තෝම්බර් මාසයේදී ටෙක්සාස් (Texas) හි පිහිටි විපස්සනා භාවනා මධ්‍යස්ථානයකින් ආරම්භ කළ මෙම සාම පා ගමන, මේ වන විට ලුසියානා, ඇලබාමා, කැරොලිනා සහ වර්ජිනියා යන ප්‍රාන්ත පසුකරමින් වොෂින්ටන් ඩී.සී. (Washington D.C.) වෙත ළඟා වෙමින් පවතී.

 

 hq720

 

 

මෙම පා ගමනෙහි යෙදෙන භික්ෂූන් වහන්සේලා කවුරුන්ද?

 

මෙම සාම පා ගමන කිසියම් රටක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක මෙහෙයවීමෙන් සිදු වන්නක් නොවේ. එසේම මෙය මෙම භික්ෂු පිරිස ජනප්‍රිය වීම සඳහා කරන පා ගමනක් ද නොවේ. එහෙත්, මේ වන විට මෙම කුඩා කණ්ඩායම වෙත ඇමරිකාවේ පමණක් නොව මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට හැකි වී තිබේ. සමහරෙක් පාර දෙපස රැඳී සිට මල් පිළිගන්වමින් මෙම භික්ෂූන් වහන්සේලා වෙත ඔවුන්ගේ හෘදයාංගම හැඟීම් ප්‍රකාශ කරති; ඇතැමෙක් හැඟුම්බර වී හඬති. තවත් තැනක දහස් ගණනක් ජනයා මෙම භික්ෂූන් වහන්සේලාගේ පා ගමන සමඟ එක්වී යම් දුරක් එකට ගමන් කරති. ඒ ඒ පළාත්වල ප්‍රජා සංවිධාන විසින් මෙම භික්ෂූන් වහන්සේලා ඉමහත් ගෞරවයෙන් පිළිගනු ලබන අතර, එම පළාත්වල උත්කර්ෂවත් පිළිගැනීමේ උත්සව ද සංවිධානය කෙරේ.

 

 

සාමය සඳහා වියට්නාම් භික්ෂූන්ගේ භූමිකාව

 698251961912641f1190702c buddhist monks virginia peace walk

 

 

මෙම භික්ෂූන් වහන්සේලාගෙන් කීප නමක්ම පා වහන් පවා නොමැතිව පා ගමනේ යෙදෙති. උන්වහන්සේලාගෙන් බහුතරයක් වියට්නාමයේ ථේරවාදී සම්ප්‍රදායට අයත් ය. මෙම භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙක් වියට්නාම් ජාතිකයන් වුවත්, ඔවුන්ගෙන් වැඩි පිරිසක් දැනට ජීවත් වන්නේ ඇමරිකාවේය.

 

 

මෙම භික්ෂූන් වහන්සේලාගෙන් වැඩි දෙනෙක් සිවුරු පොරවන්නේ ථේරවාද සම්ප්‍රදායට අනුවයි. මූලිකත්වය ගෙන වැඩම කරවන පඤ්ඤාකර (Pannakara) භික්ෂූන් වහන්සේ දරන සිවුර විවිධ වර්ණයන්ගෙන් යුක්තය. ඉතා කුඩාවට කැපූ රෙදි කැබලි එකතු කර මෙම සිවුර (කඩ සිවුර) සකසා ඇත. වියට්නාමයේ බහුතර ජනතාව අදහන ආගම බුදු දහම වන අතර, බොහෝ භික්ෂූන් වහන්සේලා අනුගමනය කරන්නේ චීන මහායාන (සෙන්) සම්ප්‍රදායයි. එහෙත් දකුණු වියට්නාමයේ කාම්බෝජයට මායිම්ව පිහිටි කොටසෙහි යම් පිරිසක් ථේරවාද සම්ප්‍රදාය අනුගමනය කරති. ථේරවාද, මහායාන හෝ භික්ෂු, භික්ෂුණී භේදයකින් තොරව වියට්නාම් සියලු භික්ෂූන් වහන්සේලා එකම සංඝ පරිපාලනයකට (වියට්නාම් භික්ෂු සංඝ සභාවට) බැඳී සිටිති. එය අපට ද වටිනා ආදර්ශයකි. මන්දයත්, ශ්‍රී ලංකාවේ ඇත්තේ එකම ථේරවාදී සම්ප්‍රදාය වුවත් විවිධ කුලමල භේද මත නිකායන්ට බෙදී සිටින බැවිනි.

 

 

වියට්නාම් භික්ෂු සම්ප්‍රදාය සෙන් දහමේ ආභාෂය ලබා ඇත. විශේෂයෙන්ම මෑත කාලයේ මහායාන දහම ඔස්සේ මතු වූ 'සමාජ පරිවර්තනයක් සඳහා භික්ෂුව පෙනී සිටිය යුතුය' යන්න ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඒ අනුව ථේරවාද මහායාන භේදයකින් තොරව බොහෝ දෙනෙක් බෝධිසත්ව සංකල්පය අනුගමනය කරති. ආරාමයෙන් ජනතාව අතරට ගොස් සමාජ පරිවර්තනයක් සඳහා බුදු දහම අභ්‍යාස කළ යුතුය යන අදහස (Engaged Buddhism) සමාජය තුළ ව්‍යාප්ත වූයේ ලෝක ප්‍රකට වියට්නාම් ජාතික තික් නට් හන් (Thich Nhat Hanh) හිමියන්ගේ මඟ පෙන්වීම යටතේය.

 

 

 

ක්වාන් ඩක් හිමිගේ අධිෂ්ඨානය

 

WhatsApp Image 2026 02 07 at 13.36.31

 

 

මෙම භික්ෂූන් වහන්සේලාගේ පා ගමන තුළ දැඩි වීර්යයෙන් යුතුව 'සමාජය සඳහා කැපවෙමු' යන ආකල්පය තදින් මුල් බැසගෙන තිබෙන බව පැහැදිලිව පෙනේ. වියට්නාම් බෞද්ධ සංඝයාගේ මෙම අධිෂ්ඨානය ඇමරිකාව විසින් තම රට යටත් කරගෙන සිටි මොහොතේ ඉතා තදින් කැපී පෙනුණි.

 

 

WhatsApp Image 2026 02 07 at 13.34.02

 

 

එහි එක් සුවිශේෂ අවස්ථාවක් වූයේ, බෞද්ධ ජනතාවගේ ආගමික නිදහස වෙනුවෙන් තික් ක්වාන් ඩක් (Thich Quang Duc) හිමියන් 1963 ජුනි 11 වැනි දින වයස අවුරුදු 65 දී තම සිරුරට ගිනි තබා ගනිමින් මුළු ලෝකයම කම්පනයට පත් කිරීමයි. එවකට ඩින් ඩියම් (Ngo Dinh Diem) යටතේ පැවති ඇමරිකන් හිතවාදී ආණ්ඩුව ප්‍රකාශ කළේ, වියට්නාම් ගරිල්ලන් ලක්ෂයක් දිවි පිදීමට වඩා තම රජයට මෙම භික්ෂුවගේ සියදිවි නසා ගැනීම බලපෑ බවයි.

 

 

ලොවම අභිෂේකයට පත් 'ආලෝකා'

 

images 20

 images 21

 

මෙම භික්ෂූන් වහන්සේලා මීට පෙරද මෙවැනි පා ගමනක් ඉන්දියාවේදී දියත් කළ ද මෙවැනි පිළිගැනීමක් ලැබුණේ නැත. අහම්බෙන් මෙන් එදා මුම්බායි වීදියක සිටි බල්ලෙක් මොවුන් සමඟ එක්විය. පුදුමයකට මෙන්, එම සුනඛයා අද ඇමරිකාවේ සිදුවන මෙම සාම පා ගමනේදී ප්‍රබල සාමාජිකයෙක් බවට පත්ව සිටී.

 

නමක් ගමක් හෝ අයිතිකාරයෙක් නැතිව සිටි මෙම වීදි සුනඛයාට අලුත් නමක් ලැබිණි; ඒ "ආලෝකා" ය. දැන් ආලෝකා ඇමරිකාව පමණක් නොව මුළු ලෝකය පුරාම නොමඳ ආදරයට පාත්‍ර වූ සුරතලෙකි. ආලෝකා ධනය රැස් නොකරයි; ලැබෙන ඕනෑම තැනක නිදයි; භික්ෂූන් වහන්සේලා වළඳන දෙයක් අනුභව කරයි. ඔහු සැම දෙනා සමඟම ආදරය බෙදා ගනී. කිසිදු බැඳීමකින් තොරව නිදහසේ භික්ෂූන් වහන්සේලා සමඟ පියවර නගන ආලෝකා, වෙහෙසකර ගමනේදී උන්වහන්සේලාට මානසික සහනයක් ගෙන දෙන කලණ මිතුරෙකු බඳුය. මේ වන විට භික්ෂුත්වයේ හා පිවිතුරු ආදරයේ සංකේතය බවට ආලෝකා පත් වී ඇත.

 

 

6945c4f1b875616878aba665 buddhist monks peace walk dog

 

 

මුළු ලෝකයේම මෙතරම් ආදරයට පාත්‍ර වූ එකම සුරතල් සත්වයා සමහරවිට ආලෝකා විය හැකිය. ආලෝකාගේ හැසිරීම මේ වන විට ධර්ම සංකේතයකි. ඔහු වෙනුවෙන් මේ වන විට සිය ගණනක් ගීත පවා ලියැවී ඇත.

 

 

යුද අනතුරක පාමුල ඇසෙන සාමයේ හඬ

 

ඇමරිකාවේ මෙම සාම පා ගමන ක්‍රියාත්මක වන මේ සමය වන විට මුළු ලෝකයම යුද උණුසුමින් රත්වී ඇත. ඇමරිකාවේ මෙම පා ගමනට මෙතරම් අවධානයක් ලැබී ඇත්තේ ද ලොව පුරා ජනතාව යුද භීතිකාවකින් ඇලලී සිටින මොහොතක් නිසා විය හැකිය. යුද විරෝධී ජනතාවගේ හඬ බවට මෙම පා ගමන පත්වී ඇත. කෙතරම් යස ඉසුරු සම්පත් තිබුණ ද මනුෂ්‍ය සංහතියට දැන් අවශ්‍ය වී ඇත්තේ මානුෂීය බැඳීමයි.

 

 Image 40 1500x1125

 

 

වර්තමාන පරිභෝජනවාදී සමාජ ආකල්ප මගින් මව්-පිය-දූ-දරු සබඳතා බිඳී ගිය යාන්ත්‍රික මිනිසෙක් බිහි වී ඇත. මෙම භික්ෂූන් වහන්සේලාගේ සරල වචන කීපය වියළි කතරට අමා වැස්සක් බවට පත් වී ඇත්තේ ඒ නිසාය. මෙම පා ගමන නියම කාලයට දියත් වූවකි.

 

 

ලෝකයට ආදරය කරන්න

 

 

මොවුන්ගේ පණිවුඩය තුළ අන්තර්ගත වී ඇත්තේ "ලෝකයට ආදරය කරන්න, සිහියෙන් යුතුව ගමනේ යෙදෙන්න, පළමුව ඔබ තුළ සාමය ගොඩනගා ගන්න" යන්නයි. ඒ සඳහා ඔබගේම හුස්මට අවධානය යොමු කරන්න.

 

 

මෙහි මූලිකත්වය ගෙන ගමන් කරන පඤ්ඤාකර භික්ෂූන් වහන්සේ කණ්ඩායමේ ප්‍රකාශකයා ලෙස කටයුතු කරති. උන්වහන්සේගේ ප්‍රකාශ ඉතා සරල හා පැහැදිලිය.

 

"සාමය ආරම්භ වන්නේ එක් එක් පුද්ගලයා තුළිනි. වේගය අඩු කරන්න, හුස්ම ගන්න, සහ තමා තුළම සාමය සොයා ගන්න." (News USA Today)

"මෙම පා ගමන අරමුණු කරන්නේ එදිනෙදා ජීවිතයේදී මෛත්‍රිය සහ අනුකම්පාව පුබුදුවාාලීමයි, එවිට සැමට වඩාත් සාමකාමීව ජීවත් විය හැකිය." "භික්ෂූන් වහන්සේලා හිතාමතාම සරල දිවි පෙවෙතක් ගත කරති: එළිමහනේ හෝ කූඩාරම්වල නිදාගැනීම සහ දිගු දුරක් පයින් ගමන් කිරීම තුළින් නිහතමානී සේවය සහ හවුල් මනුෂ්‍යත්වය ප්‍රදර්ශනය කරයි." (WKMG)

"අප මෙහි සිටින්නේ බුද්ධාගම දේශනා කිරීමට නොව, මිනිසුන්ට සන්සුන්කම, සමාව සහ සුවය සොයා ගැනීමට උපකාර කිරීමට බව පඤ්ඤාකර හිමියන් පවසයි." (WKMG)

 

 පා ගමන 4

 

 

යුද්ධයේ කම්පනය නිසා සත්‍ය සොයා ගිය සිදුහත්

 

බුදුන් වහන්සේ ගිහිගෙය හැර යාමට හේතු වූයේ සතර පෙර නිමිති දැකීම වැනි බොළඳ සිද්ධීන් පමණක් නොවේ. සුත්ත නිපාතයේ අට්ඨක වර්ගයේ 'අත්ත දණ්ඩ' සූත්‍රයට අනුව, සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙය හැර ගියේ එකිනෙකා බලකාමය වෙනුවෙන් මරා ගනිමින් සිදුවන යුද්ධය නිසා ඇතිවූ කම්පනයෙන් බව සඳහන් වේ.

 

අත‍්තදණ‍්ඩා භයං ජාතං - ජනං පස‍්සථ මෙධගං සංවෙගං කිත‍්තයිස‍්සාමි - යථා සංවිජිතං මයා. ඵන්‍දමානං පජං දිස‍්වා - මච‍්ඡෙ අප‍්පොදකෙ යථා, අඤ‍්ඤමඤ‍්ඤෙහි ව්‍යාරුද‍්ධෙ - දිස‍්වා මං භයමාවිසි.

(වතුර සිදී ගිය ජල තටාකයක මසුන් දඟලන්නාක් මෙන්, එකිනෙකා බලකාමයෙන් මත්ව කෙරෙන යුද්ධය දැකීමෙන් තම සිත සසල වූ බවත්, භීතියට පත්වූ බවත් මෙහි සඳහන් වේ).

 

බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් අවබෝධ කර ගත්තේ සැමට පොදු දහමකි. බෙදා වෙන් කර ගත් ලෝකය වෙනුවට සියලු දෙනාම සොබාදහමේ දරුවන් බව පෙන්වීම එම දහමේ හරය විය. බලකාමය හා මමත්වය නිසා මිනිසා කුලමල, ජාති, ගෝත්‍ර ලෙස බෙදී සිටින බව උන්වහන්සේ පැහැදිලි කළහ. උන්වහන්සේගේ මෙම පණිවුඩය යුගයෙන් යුගයට ගෙන යාම සඳහා පූර්ණ කාලීන සංවිධානයක් (සංඝ සමාජය) නොනැසී පවතින ලෙස ගොඩනැගූහ. සියවස් කීපයක් ඇවෑමෙන් ආසියාවේ සියලු ශිෂ්ට රටවල මෙම දහම පැතිරුණි.

 

 

පා ගමන 2

 

 

මානුෂිකත්වය සහ කරුණාව පදනම් කර ගත් ජීවන ක්‍රමයක් ආසියාව තුළ ව්‍යාප්ත විය. සංගීතය, නාට්‍ය කලාව, බිතුසිතුවම් කලාව වැනි විවිධ කලා ක්ෂේත්‍ර ඔස්සේ මෙම දහමෙහි එන ආධ්‍යාත්මික නිවීම සහ කාරුණික බව මිනිස් හදවත් වලට රැගෙන ගියේය. ආසියාව පුරා පැතිරී ඇති බුද්ධ ප්‍රතිමා සහ බෝසත් ප්‍රතිමා ආදියෙන් පෙන්නුම් කෙරෙන්නේ ඉවසීම, සන්සුන්කම සහ උතුරා යන කරුණා මෛත්‍රීයයි.

 

 

සියවස් ගණනාවක් තුළ බුදු දහම යටපත් වී තිබුණ ද, එම හඬ යළිත් මෙම පා ගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේලා විසින් මතු කර ඇත. යළිත් එය ලෝකයේ බලගතුම රට තුළ, යුද බියෙන් ගිනි ගත් ලෝකයක් තුළ සාමයේ පණිවුඩයක් ලෙසින් අහිංසාවාදී පා ගමනක් ලෙස ආරම්භ වී ඇත. මෙය ලෝකය පුරා විසිරී සිටින සියලු භික්ෂූන් වහන්සේලාටත් බෞද්ධයන්ටත් ආදර්ශයකි. අප ගමන් කළ යුතු දිශාව පිළිබඳව පණිවුඩයක් මේ මගින් අපට ලබා දේ.

 

 

මෙම සාම පා ගමනින් දැනට ඇතිවීමට තතනන යුද ඛේදවාචක නතර නොවුණ ද, එය ගැඹුරු පණිවුඩයක් ලෝකයට ලබා දී ඇත. එමෙන්ම ලොව පුරා මෙම පා ගමනෙහි අධිෂ්ඨානය සිතට ගෙන කෝටි සංඛ්‍යාත ජනතාව සමඟ සියලු ආගමික කණ්ඩායම් මහ පාරට පැමිණේ නම්, එය යුද පීඩාවෙන් තොර සාමකාමී ලෝකයක් බිහි කිරීමට මඟ පෙන්වනු ඇත.

 

 

මෙම පා ගමනෙහි හඬ ඉදිරියට ගෙන යාමේ වගකීම ඔබ අප සතුය. ඔවුන් ආරම්භ කර ඇත්තේ ගැඹුරු ආදර්ශයකි. සැබෑ බෝසත්වරුන්ගේ හා මානුෂිකත්වය අගයන අප සැමගේ වගකීම මෙම ආරම්භය පෙරට ගෙන යාමයි. පල්ලි, පන්සල්, කෝවිල් වලින් එළියට පැමිණ මනුෂ්‍යත්වය උදෙසා මහා ජන ගඟක් ගලන්නට දැන් කාලයයි. මෙම පා ගමන අප සැමට දෙන පණිවුඩය එයයි. ලේ කඳුළුවලින් දුක් විඳින කෝටි සංඛ්‍යාත ජනතාවගේ ඉරණම වෙනස් කොට සාමකාමී ලෝකයක් ගොඩනැගීමට අධිෂ්ඨාන කරමු!

 

 

@ පූජ්‍ය අතුරලියේ රතන හිමි

නවතම ලිපි