SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංවතුර, නාය යෑම් සහ

දැඩි සුළං පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදන නිකුත් කර ඇත. නවතම වාර්තා අනුව, නොවැම්බර් 16 සිට 27 දක්වා කාලය තුළ දිවයින පුරා ආපදා ආශ්‍රිත මරණ 40ක් වාර්තා වී ඇති අතර, 21 දෙනෙකු අතුරුදහන් වී ඇත. ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු විය යුතු බවට දැඩි ලෙස දැනුම් දෙයි.

(රජයේ අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සේවකයන්ට විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇත).


1. කලාවැව, රාජාංගන වැව අධි ගංවතුර අවදානම (අනුරාධපුරය)

 

කළා වැව දැනට උපරිම ධාරිතාවයෙන් විවෘත කර ඇති අතර, තත්ත්පරයට ඝන අඩි 44,000ක් පමණ රාජාංගනය ජලාශයට නිකුත් කරයි. ඒ අනුව, රාජාංගනය ජලාශයෙන් ද ඉදිරි පැය කිහිපයෙදී තත්ත්පරයට ඝන අඩි 35,000ක් පමණ ජල ප්‍රමාණයක් කළා ඔයට මුදා හැරීමට අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වය මත ද්‍රෝණියේ පිහිටි රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගංවතුර නිම්නයේ පහළ ප්‍රදේශවලට අධි ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබේ. එම නිසා, කළා ඔය ආශ්‍රිතව සියලු ක්‍රියාකාරකම්වලින් වැලකී සිටින ලෙසත්, සපත්තු පාලම් ආදිය ජලයට යටවිය හැකි බැවින්, එම ප්‍රදේශවල සිටින ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසත් දන්වා සිටියි.


 

2. මහවැලි ගඟෙහි මහා ගංවතුරක්: රතු නිවේදනය තීව්‍ර වෙයි

 

මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, මහවැලි ගඟ ද්‍රෝණිය ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර ජල මට්ටම් තවදුරටත් ඉහල යනු ඇත. නවතම වාර්තා අනුව, යටිනුවර සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව, කින්නියා, මූතූර්, කන්තලේ, මහියංගනය ඇතුළු මහවැලි ද්‍රෝණියේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 48 තුළ මහ ගංවතුර අවදානම බලපැවැත්වේ. (මඩකලපුව - පොළොන්නරුව මාර්ගය, ගල්ලෑල්ල ප්‍රදේශයෙන් සහ සෝමාවතිය රජමහා විහාර පිවිසුම් මාර්ගයද ජලයෙන් යටවීමේ අවදානමක් ඇති බැවින් බැතිමතුන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය.) ගංඟාව දෙපස පහත් බිම්වල වෙසෙන ජනයා හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීම වඩාත් සුදුසුය.


 

3. 'දිට්වා' (Ditwah) සුළි කුණාටුවේ බලපෑම සහ දැඩි කාලගුණ අවදානම

 

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට "දිට්වා" (Ditwah) සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී, මඩකලපුවට දකුණු දෙසින් කිලෝමීටර 60ක් පමණ ආසන්නයේ කේන්ද්‍රගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම සුළි කුණාටුව උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතී.

 

 

ගොඩබිම ප්‍රදේශය සඳහා දැඩි අවදානම

 

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ. උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 200 ට වැඩි ඉතා තද වැසි සහ, සබරගමුව, බස්නාහිර, බදුල්ල, සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැක. දිවයිනේ බොහෝ ප්‍රදේශවල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. (පහළ කඩුගන්නාව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් නායයෑම් වාර්තා වී ඇති අතර, ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම් සිදුව ඇත).

 

 

අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග:

කඳුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාව සහ ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව විමසිලිමත් වී වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු විය යුතුය. තාවකාලික ඉදි කිරීම් වලට හානි වීම, විදුලි රැහැන්වලට හානි වීම සහ ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බැවින්, කඩා වැටෙන ගස්වලින් සහ විදුලි රැහැන්වලින් ආරක්ෂා වන්න.

 

 

 

මුහුදු ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීම

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල පැ.කි.මී. (60-70) ක පමණ ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. 80 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක. පුත්තලම සිට කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (3.0 - 4.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.


 

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදු වූ මුළු ආපදා මරණ සංඛ්‍යාව 40ක් දක්වා ඉහළ ගොස් ඇත. අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර, හදිසි තත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහය පතන්න.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

නවතම ලිපි