නාගරික සංවර්ධන අධිකාරිය (UDA) යනු මෙරට දේශීය හා විදේශීය ආයෝජන සහ
නාගරික භූමි භාවිතය සම්බන්ධයෙන් සෘජුවම බලපාන තීරණ ගන්නා ප්‍රධානතම රාජ්‍ය ආයතනයකි. එහෙත්, එම අධිකාරියේ හිටපු නීති සේවා අධ්‍යක්ෂවරියට එරෙහිව එල්ල වූ රුපියල් බිලියනයකට අධික මූල්‍ය වංචා චෝදනා මාලාව, රටේ රාජ්‍ය අංශයේ ගැඹුරටම මුල් බැසගත් දූෂණ ජාලයක් පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරමින් සිටී.
අභ්‍යන්තර විනය පරීක්ෂණයෙන් චෝදනා සියල්ල ඔප්පු වෙලා...
අදාළ නීති අධ්‍යක්ෂවරියට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැවැති අභ්‍යන්තර විනය පරීක්ෂණයකින් චෝදනා හයම ඔප්පු වී ඇත. මේ හේතුවෙන්, ඇයව පසුගිය මස 16 වැනිදා සිට සේවයෙන් පහ කර තිබේ.
අභ්‍යන්තර විනය පරීක්ෂණයේ නිගමන සාරාංශය
පරීක්ෂණ නිලධාරීවරයාගේ සවිස්තරාත්මක නිගමන අනුව, චූදිත නිලධාරිනිය සියලු චෝදනාවලින් වරදකාරී බවට තීරණය කර ඇත.
| චෝදනා අංකය | චෝදනාවේ සාරාංශය | පරීක්ෂණ නිලධාරීගේ නිගමනය |
| 01 | නීති කටයුතුවලට අදාළ රාජ්‍ය සේවයේ අපචාරය. | වරදකරු බවට නිගමනය කරමි. |
| 02 | නිල කාර්යයන් සහ වගකීම් පැහැර හැරීම. | වරදකරු බවට නිගමනය කරමි. |
| 03 | රාජකාරි පැහැර හැරීම සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම. | වරදකරු බවට නිගමනය කරමි. |
| 04 | නීති කටයුතු ප්‍රමාද කිරීම. | වරදකරු බවට නිගමනය කරමි. |
| 05 | අධිකාරියේ නීතිමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම. | වරදකරු බවට නිගමනය කරමි. |
| 06 | (අතිරේක චෝදනාව) | වරදකරු බවට නිගමනය කරමි. |
විගණන කමිටුවෙන් දැඩි තීරණයක්: අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනියිද?
මෙම දැවැන්ත වංචාවට අදාළව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මගින් විමර්ශන කටයුතු මේ දක්වා කඩිනම් වී නොමැති බව වාර්තා වේ.
පසුගියදා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ පැවති විගණන කමිටු රැස්වීමේදී, මුදල් අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරියා විසින් අදාළ නිලධාරිනිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස තදබල ලෙසම දන්වා ඇති බව අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් දේශපාලකයන් ඇතුළු සමහර නිලධාරීන්ගේ විමර්ශන කඩිනමින් ඉටුකිරීමට පියවර ගත් ආකාරයටම, රාජ්‍ය සේවයේ විශාල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වරදකරු බවට පත්ව සිටින නීති අධ්‍යක්ෂවරියගේ විමර්ශන ප්‍රමාද වීම විවිධ සැක සංකා පහළ කිරීමට සමත් වී ඇත.
දූෂණ ජාලය ඉහළ පුටු දක්වා
ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් කියැවෙන්නේ, මෙම වංචාවන් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ ඉහළ පුටුවල සිටි කිහිපදෙනෙකුටද චෝදනා එල්ල වී ඇති බවයි.
අධිකාරියේ හිටපු සභාපතිවරයාටද මේ වනවිට තුම්මුල්ලේ 'පොන්ටාරා හෝම් ලෑන්ඩ්' සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට දෙන ලද අනුමැතියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.
අභ්‍යන්තර නිල නොවන ආරංචිමාර්ග පවසන්නේ, අමාත්‍ය බිමල් රත්නායක විසින් ඔහුව සභාපති ධූරයෙන් සහ පසුව ලබාදී තිබූ අමාත්‍යාංශ ලේකම් තනතුරින් ඉවත් කිරීමට නියෝග කර ඇති බවය.
නාගරික සංවර්ධන අධිකාරියේ දූෂිත තත්වයන් වෙනස් කිරීමට සමත්යැයි ජනතාව විශ්වාස කරන අමාත්‍යවරයෙක් පත්ව සිටින මේ මොහොතේ, ඔහු එම විශ්වාසය කෙසේ රකියිද යන්න ඉදිරියේ දී දැකගත හැකි වනු ඇත. දූෂණ විරෝධී ක්‍රියාමාර්ග කඩිනම් වීම රටේ යහපාලනයට අත්‍යවශ්‍ය සාධකයකි.

