වත්මන් ආණ්ඩුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ
සභානායක ධුරය දරන බිමල් රත්නායක, ශ්‍රී ලංකා – පලස්තීන සහයෝගීතා සංගමයේ (Sri Lanka-Palestine Solidarity Association) සභාපති ධුරයෙන් මීට දින කිහිපයකට ඉහතදී ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
විපක්ෂයේ සිටියදී පලස්තීනය වෙනුවෙන් දැඩි හඬක් නැගූ සහ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ ජනතා විමුක්ති පෙරමුණ (JVP) නායකත්වයේ සාමාජිකයෙකු වන අමාත්‍ය රත්නායක, ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසු මෙලෙස හදිසියේම එම ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සංගමයේ සෙසු සාමාජිකයන් අතර දැඩි කතාබහට ලක්ව තිබේ.
විශේෂයෙන්ම, දැනට පලස්තීන අර්බුදය උග්‍ර තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවක, බිමල් රත්නායක මෙලෙස ඉල්ලා අස්වීම ඇමෙරිකාව හෝ වෙනත් බටහිර පාර්ශ්වයකගේ බලපෑමකට යටත්ව සිදුවූවක් ද යන්න පිළිබඳව එම සාමාජිකයන් සැක පහළ කරති. ඔවුන් පෙන්වා දෙන්නේ විපක්ෂයේ සිටියදී පලස්තීනය වෙනුවෙන් පෙනී සිටි පිරිස් ආණ්ඩු බලය ලැබීමෙන් පසු නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් එය කිසියම් බාහිර බලපෑමක ප්‍රතිඵලයක් විය හැකි බවයි.
මෙම සංගමයේ සභාපති ධුරය මුල සිටම හොබවා ඇත්තේ පවතින රජයට සම්බන්ධ දේශපාලනඥයෙක් හෝ දේශපාලනයට සම්බන්ධ අයකු වීම විශේෂත්වයකි. මහින්ද රාජපක්ෂ, ඉමිතියාස් බාකිර් මාකර්, සහ අතාවුද සෙනෙවිරත්න මීට පෙර මෙම සභාපති ධුරය හොබවා ඇති අතර, අතාවුද සෙනෙවිරත්න ගෙන් පසු සභාපති වූයේ බිමල් රත්නායක ය.
බිමල් රත්නායක අමාත්‍යවරයාගේ හදිසි ඉල්ලා අස්වීම හේතුවෙන් මේ වන විට එම තත්ත්වය වෙනස් වී ඇති අතර, ඔහුගේ ක්‍රියාව සංගමයේ සාමාජිකයන්ගේ දෝෂ දර්ශනයට ලක්ව ඇති බවටද වැඩිදුරටත් වාර්තා වේ.