අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු
ආගමන හා විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්තැම්බර් 23) වසර දෙකක සිර දඬුවම් නියම කළේය.
ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, වගඋත්තරකරු අධිකරණයට බරපතළ අපහාසයක් කර ඇති බවයි.
නඩුවට හේතු වූ සිදුවීම
මෙම නඩු තීන්දුවට හේතු වූයේ, හිටපු රජය සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයයි. එම තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ අතර, වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමවේදය යළි ක්‍රියාවට නංවන ලෙස ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට නියෝග කර තිබිණි.
කෙසේ වෙතත්, එවකට ආගමන හා විගමන පාලක ජනරාල්වරයා වූ හර්ෂ ඉලුක්පිටිය එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරියේය. මේ සම්බන්ධයෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ එම්. ඒ. සුමන්දිරන්, රවුෆ් හකීම් සහ පාඨලී චම්පික රණවක විසින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, 2024 අංක 08 දරණ අධිකරණ ආයතනවලට අපහාස සම්බන්ධ පනත යටතේ ඔහුට චෝදනා ගොනු කෙරිණි.
නඩු විභාගය සහ තීන්දුව
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඉලුක්පිටිය මුලින් තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කළේය. නමුත්, සාක්ෂි සටහන් කර ගැනීමේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කටයුතු භාර කොමසාරිස්වරයා සාක්ෂි දෙමින් කියා සිටියේ, අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරන ලෙස ඉලුක්පිටිය තමන්ට උපදෙස් ලබා නොදුන් බවයි.
මෙම සාක්ෂියෙන් පසුව, ඉකුත් ජූලි මස 01 වනදා නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, තමන් කලින් දුන් ප්‍රකාශය ඉවත් කර ගන්නා බවත්, අදාළ චෝදනාවලට වරද පිළිගන්නා බවත් ඉලුක්පිටිය අධිකරණයට දැනුම් දුන්නේය.
විනිසුරු යසන්ත කෝදාගොඩ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, විත්තිකරු අධිකරණයට බරපතළ අපහාසයක් සිදු කර ඇති බවයි. ඔහුට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් නියම කරන බවත්, ඉන් ඔහු රිමාන්ඩ් භාරයේ පසු වූ වසරක කාලය අඩු කිරීමෙන් පසු වසර දෙකක සිර දඬුවමක් ක්‍රියාත්මක කරන බවත් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකරු අධිකරණයට බරපතළ අපහාසයක් කර ඇති බවත්, තමන්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වන බව වටහාගෙන උපක්‍රමශීලීව වරද පිළිගැනීමට කටයුතු කර ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළේය. මෙම තීන්දුව, රාජ්‍ය සේවකයන් විසින් අධිකරණ නියෝග නොසලකා හැරීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පණිවිඩයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරේ.
මාධ්‍යවේදී කේ.සංජීව තම සටහනකින් දක්වා ඇත්තේ හිටපු අමාත්‍යවරයෙකු වූ ටිරාන් අලස්ගේ බලපෑම මත වැරදිකරු වූ හිටපු ආගමන හා විගමන පාලක ජනරාල්වරයා මෙම ක්‍රියාව සිදු කළ බවය.
මෙය රාජ්‍ය සේවකයන්ට දේශපාලනඥයන්ගේ නීතිවිරෝධී බලපෑම්වලට යටත් නොවන ලෙස ලබා දෙන අනතුරු ඇඟවීමක් ලෙස දක්වන ඔහු "අමාත්‍යවරුන් පස්සේ කොන්ද කඩාගෙන ෆුක ඉරාගෙන දුවන රාජ්‍ය සේවකයන්ට මේවා හොඳ පාඩම්..!" යනුවෙන් ද දක්වා ඇත. (කේ.සංජීවගේ සටහන පහත දැක්වේ)
ටිරාන්ගේ ටොෆිය කෑ හර්ෂ හිරේට...! (කේ. සංජීව)
අමාත්‍යවරුන් පස්සේ කොන්ද කඩාගෙන ෆුක ඉරාගෙන දුවන රාජ්‍ය සේවකයන්ට මේවා හොඳ පාඩම්..!
හිටපු අමාත්‍ය ටිරාන් අලස්ගේ කීම අසා අධිකරණ නියෝගයක් පයිසයකට ගනන් නොගෙන හිඳීමේ පරිප්පුව, හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට කන්න වෙලා තිබෙන බව අධිකරණ ආරංචිවලින් දැනගන්නට ලැබෙනවා.
මේක නම් මරේ මරු කියලා තමයි කියන්න වෙන්නේ.
පසුගිය රනිල් සීයගේ ආණ්ඩුව කාලේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට දෙන්න අමාත්‍ය මණ්ඩල තීරණය කළා. අමාත්‍ය මණ්ඩලය කීවට මේක තනිකරම ටිරාන් අලස්ගේ වැඩක්.
මේ ගනුදෙනුව අස්සේ අල්ලස්, කොමිස් මුදල් සංසරණය වුණා කියලා ඒ දවස්වල ලොකු හාහූවක් ගියා. අපිත් නොසෑහෙන්න ලීවා. ඒත් ඉතිං රනිල් සීයාගේ ආණ්ඩුව ඔහේ බලාගෙන හිටියා.
එහෙම බලාගෙන ඉන්නකොට මේ කැබිනට් තීරණය බල රහිත කරන්න කියලා නියෝගයක් ඉල්ලලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙච්ච රාවුෆ් හකීම්, පාඨලී චම්පික රණවක, එම්.ඒ.සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා.
ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් පවනවන්න කටයුතු කළා. හැබැයි බලධාරියා වුණ හර්ෂ මේක ගනන් ගත්තේ නෑ. අනිවාර්‍යෙන් ඔහු පිටුපස්සේ ටිරාන් අලස් කියන කුප්‍රකට අමාත්‍යවරයා ඉන්න ඇති. ඔන්න දැන් ප්‍රථිපල ඇවිත්..
උසාවියට අපහාස කිරීම යටතේ හර්ෂ ඉලුක්පිටියට අවුරුදු දෙකක් කල්දේරම් බත් කන්න වෙලා. දැන් ඉතිං තියෙන්නේ සීයගේ ආදර්ශය අරගෙන ධමනි විසඳුමක් හෝ දෙන්න කියලා අනූජ වගේ ලෝයර් කෙනෙක්ට කියන එක...
අමාත්‍යවරුන්ගේ පස්සේ කොන්ද කඩාගෙන ෆුක ඉරාගෙන දුවන රාජ්‍ය සේවකයන්ට මේවා හොඳ පාඩම්..! –
(කේ.සංජීව)