රටට අවශ්‍ය නවීන පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මගින් වෙන් කර තිබුණද,
මෙම යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීම නිසා පිළිකා රෝගීන් බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.
මෙම ප්‍රමාදය හේතුවෙන් රජයේ රෝහල්වලින් නිසි වේලාවට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වන රෝගීන්ට ඉතා අධික මිලකට පුද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙය, රාජ්‍ය අංශයේ මෙම ප්‍රමාදය පිටුපස පුද්ගලික අංශයේ අවශ්‍යතාවක් තිබේද යන්න පිළිබඳව සැකයක් මතු කරන බවද ඔහු සඳහන් කරයි.
ප්‍රමාදයට හේතු
මෙම යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ පාලන කාලයේ සිටම ප්‍රමාද වූ බවත්, ඒ සම්බන්ධයෙන් එවකට සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාටද චෝදනා එල්ල වූ බව වෛද්‍ය චමල් සංජීව පැවසීය.
වර්තමාන සෞඛ්‍ය ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මෙම යාන්ත්‍රණය කඩිනම් කිරීමට පියවර ගත්තද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව විද්‍යා ඉංජිනේරු ඒකකයේ තාක්ෂණික කමිටුව සහ ඖෂධ නියාමන අධිකාරිය අදාළ උපකරණ වර්ග අනුමත කිරීම ප්‍රමාද කිරීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා එම ආධාර මුදල් මෙරටට අහිමි වීමේ අවදානමක්ද පවතින බව වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් අවධාරණය කළේය.
ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව
මෙරට පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මාසිකව වැඩිවන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන අතර, ගුණාත්මක ප්‍රතිකාර සඳහා නවීන වෛද්‍ය උපකරණ අත්‍යවශ්‍ය වේ.
මේ තත්ත්වය හමුවේ, ජනාධිපතිවරයා වහාම මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමු කර, පිළිකා රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය නව උපකරණ කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගත යුතු බව වෛද්‍ය චමල් සංජීව පවසයි. මෙම ප්‍රමාදයට වගකිව යුත්තන් පිළිබඳව සොයා බැලීම ද අතිශයින් වැදගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.